×

වසර 123 පැරණි ඇත් දළ පියානෝවක් කෞතුකාගාරයට ගිය හැටි!

පියානෝවෙන් ගලවා ගත් ඇත් දළ යතුරුෙපෙළ, සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දමන්නට සැරසෙන්නේ වඳ වී යන ශාක සහ තත්ව විශේෂ ආරක්ෂා කරගැනීමේ නීතියට අනුවය.


ඇත් දළවලින් නිම කරන ලද යතුරු සහිත පියානෝවකින් එම යතුරු ගැලවීම නිසා නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීහු මහත් අසීරුතාවයකට මුහුණ දෙති. වඳ වී යන සත්ත්ව සහ ශාක විශේෂ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නවසීලන්තය තුළ පවත්නා නීති ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ඔවුන් මේ ගැටලුවට මැදිව ඇත. මේ නිසා ඔවුන් ගැන ජාත්‍යන්තර මාධ්‍ය තුළ වාර්තා පළවන තරමේ ප්‍රබල තත්ත්වයක් ද මතුව තිබේ.

අර්බුධය පැන නැඟුණේ ඉංග්‍රීසි ජාතික මහාචාර්ය ජුලියන් පැටොන් පසුගිය වසරේදී බ්‍රිතාන්‍යයේ සිට නවසීලන්තය බලා පැමිණි අවස්ථාවේදී ය. ඔහු, ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ නවසීලන්තයට සංක්‍රමණය වුණේ තමන් බ්‍රිතාන්‍යයේදී එකතු කරගත් විවිධ තරාතිරමේ බඩු බාහිරාදිය ද රැගෙනයි. ඒ බඩු බාහිරාදිය අතර යට කී පියානෝවත් තිබිණ. එය වසර 123ක් පමණ පැරණි පියානෝවකි. පියානෝවෙහි යතුරු, ඇත් දළවලින් කළ ඒවා විණ. මහාචාර්යවරයා මේ පියානෝව මිලදීගෙන තිබුණේ මෙයට වසර 30කට පමණ පළමුවයි. ඒ, සිය බිරියගේ උපන් දිනයකදී තිළිණ කිරීමේ අරමුණෙනි. ගතවුණු තිස් වසරක කාලය තුළ පියානෝව තිබුණේ ජුලියන් පැටොන් සහ ඔවුගේ බිරිය භාරයේ ය. ඒ සමයේදී ඔවුන්ගේ දරුවෝ එය භාවිතයට ගෙන පියානෝ වාදනයත් උගත්හ.

බ්‍රිතාන්‍යයේ සිට නවසීලන්තයට සංක්‍රමණය වන අවස්ථාවේදී මේ පියානෝව බ්‍රිතාන්‍යයෙන් බැහැර කිරීමටත්, නවසීලන්තය තුළට රැගෙන ඒමටත් හැකි අන්දමේ නීති රීතිවලට යටත්ව පැටොන් යුවළ කටයුතු කළහ. එහෙත් ඔවුන්ට එක් දෙයක් මඟ හැරිණ. එනම්, වඳ වී යන ශාක සහ සත්ත්ව විශේෂ ආරක්ෂා කරගැනීමේ නීතිය යටතේ එම පියානෝව නිදහස් කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නවසීලන්තයෙන් ලබා ගැනීමයි. මේ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු බව පැටොන් යුවළ දැන සිටි බවක් ද පළ නොවේ. මහාචාර්ය පැටොන් පවසන්නේ පියානෝ පිළිබඳ විශේෂඥයකු ගෙන්වා තම පියානෝව ගැන විභාග කර බලන්නට තමන් බ්‍රිතාන්‍යයයේදී පියවර ගත් බවකි. එම විශේෂඥයා සකස් කරන ලද වාර්තාවක් නවසිලන්ත ආගමන විගමන බලධාරීන් වෙත ලබා දෙන්නටත් තමන් කටයුතු කළේ යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.

“… අපි එවක කාර්යය බහුලව වෙලා හිටියේ. පියානෝව නවසීලන්තයට ආනයනය කරන්න අවශ්‍යය නෛතික පසුබිම අපි හරියටම අනුගමනය කළා. අපි මොන යම් විධියක හෝ වැරදි වැඩක් කළාය කියා කියන කතාව බොරුවක්. …” යනුවෙන් මහාචාර්ය පැටොන් මාධ්‍යයට පවසා තිබිණ.

අවාසනාව ඇරඹුණේ පියානෝව නවසීලන්තයට ළඟාවීමත් සමඟ ය. එය, නවසිලන්ත නිළධාරින් භාරයට පත්විණ. පියානෝව නිදහස් කිරීම සඳහා එම නිළධාරීන් ඉල්ලා සිටින බලපත්‍රය ලබාගන්නට පැටොන් දැන් ප්‍රමාද වැඩිය. ඒ නිසා පියානෝව නවසීලන්තයට රැගෙන ඒමෙන් මහාචාර්ය පැටොන් අන්තිමට කර තිබුණේ නිත්‍යානුකූල නොවන කටයුත්තකි.

ඇත් දළ වෙළඳාමට හෝ ඒ ආශ්‍රිත අන් කිසිවකට හෝ මැදිහත් වන්නට මහාචාර්ය පැටොන් තුළ කැමැත්තක් නැත. එසේ වුවත් මේ ගැටලුවේදී නවසීලන්තය අනුගමනය කරන නිළධාරීවාදය සම්බන්ධයෙනුත් ඔහු තුළ සතුටක් නැත.

පියානෝව රැකගන්නට මහාචාර්ය පැටොන් එවක් පටන් පුළුල් වැඩපිළිවෙලක් දියත් කළේය. ඇති වී තිබෙන තත්ත්වය ඔහු නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සමඟ බේරුම් කරගන්නට උත්සාහ කළේය. සංරක්ෂණ විෂයය භාර ඇමතිනී ඉයුජිනී සාගේටත් මහාචාර්ය පැටොන් කරුණු පැහැදිලි කළේය. නමුත් ඒ කිසිවකින් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැත.

පියානෝවෙන් ගලවා ගත් ඇත් දළ යතුරු පෙළ, නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුව වල දමන්නට සැරසේ. ඔවුන් එය සිදු කරන්නට යන්නේ වඳ වී යන ශාක සහ තත්ව විශේෂ ආරක්ෂා කරගැනීමේ නීතියට අනුකූලව, ඇත් දළවලින් කළ කිසිවක් තබාගන්නට ඉඩක් නොවන්නේය යන්න ඉදිරියට රැගෙන එමිනි. යතුරු ගලවා ඉවත් කෙරුණු පියානෝව රැගෙන යන ලෙසත් නවසිලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීහු මහාචාර්ය පැටොන්ට උපදෙස් ලබා දී තිබේ.

නවසීලන්ත බලධාරීන් මේ වටිනා පියානෝව සම්බන්ධයෙන් ගෙන යන අන්තගාමී පිළිවෙත ගැන අදහස් දක්වන මහාචාර්ය පැටොන් කියන්නේ එය තුවාලයක් මත ලුණු ගැලවීමට සමාන කාර්යයක් බවයි.

CNN ඇසුරෙනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි