×

තවත් රහස් ඔත්තුකාර යුවළක් නොවිචොක් ප්‍රහාරයට බිලි

නොවිචොක් ප්‍රහාරය යැයි සැකකෙරෙන ස්නායු අඩපණ කාරකයට ඔවුන් ගොදුරු වූයේ කෙසේදැයි තවම නිශ්චිත වශයෙන් දැනගන්නට ලැබී නැත.


එංගලන්තයේ විල්ෂයර් ප්‍රදේශයේදී තවත් රුසියානු රහස් ඔත්තුකරුවන් යුවළක්, පසුගිය මාර්තු මාසයේ සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය යුලියා ගොදුරු වූ අන්දමින්ම නොවිචොක් ස්නායු විෂ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බව හෙළි වේ.

45 හැවිරිදි චාලි රොව්ලි සහ 44 හැවිරිදි ඩාන් ස්ටෘෘග්‍රෙස් සිහිසුන් ව සිටියදී සොයා ගැනුණේ ඇම්ස්බරි හි පිහිටා ඇති නිවසකදී ය. ඔවුන්ගේ තත්වය බරපතළ බව ද වාර්තා වේ. මුලින් ඩාන් ස්ටෘෘග්‍රෙස් සිහිසුන් වී ඇති අතර, ඇය රෝගී වූ ආකාරයටම සවස් භාගය වන විට චාලි රොව්ලිගේ ද සෞඛ්‍ය තත්වය පිරිහුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මුලින් විශ්වාස කෙරුණේ මෙම යුවළ හෙරොයින් හෝ විෂ සහිත මත්ද්‍රව්‍යයක් නිසා මෙම තත්වයට ගොදුරු වූ බවයි. නමුත් ඔවුන්ගේ රෝග ලක්ෂණ එයට වඩා වෙනස් බව පසුව පැහැදිලි විය.

කෙසේ නමුත් නොවිචොක් ප්‍රහාරය යැයි සැකකෙරෙන ස්නායු අඩපණ කාරකයට ඔවුන් ගොදුරු වූයේ කෙසේදැයි තවම නිශ්චිත වශයෙන් දැනගන්නට ලැබී නැත. පොලිසිය පවසන්නේ තමන් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරන බවයි.

සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය යුලියා රෝගී වූයේ, එනම් ඔවුන් නොවිචොක් ප්‍රහාරයට ගොදුරු වී තිබුණේ සැලිස්බරි හිදී ය. සැලිස්බරි සහ, නව සිදුවීම වාර්තා වන විල්ෂයර් හි ඇම්ස්බරි පිහිටා තිබෙන්නේ එකිනෙකට කිලෝමීටර කිහිපයක් නුදුරිනි. එනම් සැතපුම් 8 ක දුරකි. එසේම රොව්ලි සහ ඩාන් යුවළ මෑතකදී සැලිස්බරි වෙත ගොස් ඇති බව ද සොයාගෙන තිබේ.

අසාධ්‍ය තත්වයෙන් මෙම යුවළ ප්‍රතිකාර ලබමින් සිටින්නේ ද සැලිස්බරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය.

මේ වන විට මෙම ප්‍රෙද්ශ දෙකෙහිම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය යොදවා තිබේ. එසේම ඇතැම් ෆාමසි අද දිනයේ වසා දමා තිබෙන ආකාරය ද දක්නට ලැබේ.

මාර්තු මාසයේ නොවිචොක් ප්‍රහාරය සඳහා පිළියෙළ කළ රසායනික අමුද්‍රව්‍ය සැලිස්බරි හෝ ඒ අවට ප්‍රෙද්ශවල තවමත් ඉතිරි වී තිබිය හැකි බවටත් සැක පළ වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි