×

වෙනිසියුලාවට අමාරුයි – දොස්තර වැඩේට චීනය එයි

"පීස්‌ ආර්ක්" (Peace Ark) චීන රෝහල් නෞකාව සුව සේවා රැසක් රැගෙන වෙනිසියුලාවට ළඟා වෙයි.


දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින වෙනිසියුලාවට වෛද්‍යමය සහනාධාර රැගෙන “පීස්‌ ආර්ක්‌” Peace Ark නෞකාව එහි ළඟා වූ බව සඳහන් වේ. එය චීනයේ නාවුක හමුදාවට අයත් නෞකාවකි.

නෞකාව වෙනිසියුලාවේ ලා ගුවයිරා (La Guaira ) වරායට සේන්දු වුණු අවස්ථාවේදී එහි කාර්යය මණ්ඩලය පිළිගත්තේ වෙනිසියුලා ආරක්ෂක අමාත්‍ය ව්ලැද්මියර් පැඩ්‍රිනෝ ලොපෙස් ය. ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා මාධ්‍යට කියා තිබුණේ වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ පසුගිය සතියේදී චීනයේ සංචාරයක යෙදෙමින් චීන බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නෞකාව එහි ළඟා වූ බවකි.

චීන සංචාරයේදී ජනාධිපති මදුරෝ චීනයට තෙල් අපනයනය කිරීම තවදුරටත් වැඩි කිරීමට එකඟ වී තිබිණ. ඒ අනුව දිනකට අපනයනය කෙරෙන බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 1 දක්වා වැඩි කිරීමට මදුරෝ කැමැත්ත පළ කළේය. තම රට යළි ගොඩනැඟීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන මෙන් මදුරෝ චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් වේ. චීනය සහ වෙනිසියුලාව අතර වෙළඳ හා ආයෝජන ගිවිසුම් 28කටත් නායකයෝ දෙදෙනා අත්සන් තැබූහ. චීනය, ඇමෙරිකා ඩොලර් බිලියන 5ක් වෙනිසියුලාවේ ආයෝජනය කිරීමට එකඟ වී ඇත.

මේ පසුබිම තුළ “පීස් ආර්ක්” නෞකාව වෙනිසියුලාවට ළඟාවීම කෙරෙහි බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත. චීන නෞකාව තම රටට ළඟාවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ රට තුළ මානුෂිය අර්බුධ තවදුරටත් පුළුල්වෙමින් පවත්නා බවයැයි කියා වෙනිසියුලා විරුද්ධ පක්ෂ නායකයෝ පවසති.

වෙනිසියුලා ජාතිකයන් මිලියන 2.3කට ආසන්න සංඛ්‍යාවක් 2014 සිට 2018 දක්වා වූ කාල පරිච්ඡේදය තුළදී සිය රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි. ඔවුන් වෙනිසියුලාව හැර ගොස් තිබෙන්නේ එහි පවත්නා ආර්ථික අවපාතය හේතුවෙනි. ආහාර සහ වෛද්‍ය පහසුකම්වල උග්‍ර හිඟයකුත්, පොදු පහසුකම්වල කඩා වැටීමකුත් වෙනිසියුලාවේ මේ වනවිට දක්නට පුළුවන. එසේ වුවත් වෙනිසියුලා රජය චෝදනා නඟන්නේ ඇමෙරිකාව, වෙනිසියුලාව සම්බන්ධයෙන් අසත්‍යය මතයක් අන්තර්ජාතික ප්‍රජාව අතර ඇති කර ඇතැයි කියාය. මදුරෝ ඒකාධිපතියකු බවත් දේශපාලන විරුද්ධ පාක්ෂිකයන්ට වධ හිංසන පමුණුවමින් මරා දමමින් සිටින බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් අවස්ථා රැසකදී පෙන්වා දී තිබේ.

වෙනිසියුලාවට ළඟා වුණු “පීස් ආර්ක්” නෞකාව ඇඳන් 300කින්, නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 8කින්, හෙලිකොප්ටර් යානයකින් සහ තවත් අංගෝපාංග රැසකින් සමන්විත ය. නෞකාව රටවල් 40කට ආසන්න සංඛ්‍යාවකට මේ වනවිට ගමන් කර ඇත. එමඟින් ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 180,000කට අධිකය. “පීස් ආර්ක්” රෝහල් නෞකාව ගිලනුන්ට වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට යොදවනු ලැබුවේ 2008 වසරේදී ය.

වෙනිසියුලාව ගැන පෙර ලිපි සියල්ල මෙතැනින් කියවන්න…

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි