×

දකුණු අප්‍රිකානු අධිකරණය කංසා නීතිගත කරයි.

වැඩිහිටියන්ට පෞද්ගලික ස්ථානවලදී කංසා භාවිත කිරීමට දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාමය අධිකරණය අවසරය ලබාදෙයි.


පෞද්ගලික පරිහරණය සඳහා කංසා වැවීම නිත්‍යානුකූල බවත් විනිශ්චයෙහි සඳහන් වේ.

නියෝජ්‍ය අග්‍රා විනිශ්චයකාර රේමන්ඩ් සොන්ඩෝ සිය විනිශ්චයේ සඳහන් කර තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයකු කංසා භාවිත කිරීම හෝ තමන්ගේ පරිහරණය සඳහා ළඟ තබා ගැනීම හෝ තවදුරටත් අපරාධ වරදක් ලෙස නොසලකන බවයි. එසේ වුවත් පොදු ස්ථානවලදී කංසා භාවිතය, විකිණීම සහ සැපයුම තවදුරටත් නිත්‍යානුකූල නොවන බව තීන්දුවෙහි සඳහන් වේ. පුද්ගලයකුට සිය පෞද්ගලික ස්ථානයකදී ළඟ තබාගත හැකි හෝ වැවිය හැකි හෝ කංසා ප්‍රමාණය කෙතෙක්ද යන්න ගැන අධිකරණය තීන්දුවේ කිසිවක් සඳහන් නොවේ. එය පාර්ලිමේන්තුවෙන් තීරණය කළයුතු බව අධිකරණය පෙන්වා දී ඇත.

මාස 24ක කාලයක් තුළදී මෙම විනිශ්චය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නීතිගත කර ක්‍රියාත්මක වනු ඇති බවට මත පළ වේ.

BBC

BBC

දකුණු අප්‍රිකා ව්‍යවස්ථාව මඟින් පුද්ගල නිදහස දැඩි සේ ආරක්ෂා කෙරේ. දකුණු අප්‍රිකා රජය කංසා සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත හේතුවෙන් පුද්ගල නිදහසට බාධා පැමිණෙන බවට මතයක් ඇති වී තිබේ. එනිසා රජය කංසා සම්බන්ධයෙන් දරණ මතය අභිබවායමින් මේ තීන්දුව ලබා දී ඇති බව ලෝක මාධ්‍ය සේවාවන් පෙන්වා දෙයි.

කංසා ආදිය පුද්ගල සෞඛ්‍යයට හානිදායක බව දකුණු අප්‍රිකා රජය තදින්ම පෙන්වා දෙයි. මේ නිසා මෙම නීතිගත කිරීම සම්බන්ධයෙන් එරට රජය තුළ ඇත්තේ බලවත් විරෝධයකි.

අධිකරණය ලබාදුන් උක්ත තීන්දුව සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන දකුණු අප්‍රිකා කංසා සංවර්ධන කවුන්සිලය පවසන්නේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමට වැරදිකරුවන් වන අයගෙන් අයකරන දඩ මුදලත් අඩු කළ යුතු බවකි.

නව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම කංසා භාවිතයට ගන්නන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරියෝ උද්දාමයට පත්ව සිටිති. එවැනි ව්‍යාපාරයක නායකයකු වන ජෙරමි ඇක්ටන් පවසන්නේ මරිජුවානා ආදිය පොදු ස්ථානවලට රැගෙන ඒමට පවා නීතියෙන් අවසරය හිමිවිය යුතු බවකි.

කංසා භාවිතය නීතිගත ගත කළ පළමු අප්‍රිකා රාජ්‍යය දකුණු අප්‍රිකාව නොවේ. පසුගිය අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ රාජ්‍යයත් මෙවැනිම නීතියක් සම්මත කර ගත්තේය. වෛද්‍යමය අවශ්‍යතා සඳහා මරිජුවානා භාවිතයට ගැනීම ලෙසොතෝ රාජ්‍යය නීතිගත කළේ එයටත් පළමුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි