×

තෝර්ගේ ‘අකුණු මිටිය‘ ගැන සැබෑ පුරාවෘත්තය

‘අකුණු මිටිය‘ යනුවෙන් හඳුන්වන ‘තෝර්ගේ මිටිය‘ ගැන බොහෝ අය දන්නවා. තෝර් ජීවත් වෙන්නේ ඇස්ගාඩ් කියන දිව්‍ය ලෝකයේ. මේ ලෝකයේ යුද්ධයක් හට ගන්නවා. මේ ඇසුරෙන් කොමික් කොන් සීරීස් චිත්‍රපට රාශියක් හොලිවුඩයෙ බිහිවෙලා තිබෙනවා. ආදායම් වාර්තා තබමින් තිරගත වූ ඇවෙන්ජර් චිත්‍රපටය එයින් එකක් පමණයි. නමුත් බොහෝ අය තෝර්ගෙ මිටිය පිළිබඳ පුරාණ දේව කතාව, එහෙමත් නැතිනම් සැබෑ පුරාවෘත්තය දන්නේ නැහැ.


The Norse Legend of Thor- අකුණු සැර සහ ගිගුරුම්වලට අධිපති තෝර්

පුරාවෘත්තයේ පසුබිම

අයිස්ලන්ත පුරාවෘත්තයක් යන්නෙහි අරුත එය උතුරු යුරෝපීය පුරාවෘත්තයක් ද වන බවයි. ක්‍රිස්තු වර්ෂ 13 වන ශත වර්ෂයෙහි අයිස්ලන්තයේ පැතිර පැවති නෝර්ස් පුරාවෘත්තවලින් කියැවෙන්නේ මානුෂවාදී පෞරුෂයන් පිළිඹිබු කරන දෙවියන්, ඔවුන්ගේ පෙළඹවීම් සහ හැඟීම් පිළිබඳවය. නොවැළැක්විය හැකි ඉරණම් සහ මරණවලට ඔවුන් ගොදුරු වූයේ මනුෂ්‍යයින් පරිද්දෙනි. එහෙත් ඔවුන් මිය ගියේ විරුවන් ලෙසය. ඉන්දීය මිථ්‍යා කතාවල ආකාරයටම නොර්සෙයි හි ප්‍රකාශිත දෙවියන් ද යක්ෂයන්, පිශාචයින් හා යෝධයින් සමග සටන් කළ නමුත් අවසානයේ නොර්ස් දෙවියෝ, පරාජය ලබා යෝධයින්ගේ දෑත් මත මිය යති. දෙවියන්ගේ පාලකයා වන ඔඩින් ද මෙම අවස්ථාවේ අසරණ බවට පත්වෙයි. දැවැන්තයින් ඉදිරියේ ඔහුද බල රහිත වන බැවිනි.

අකුණු සැර සහ ගිගුරුම්වලට අධිපති තෝර්

නෝර්ස් පුරාවෘත්තවලට අනුව සුපිරිතම නොර්ස් දෙවියා ඔඩින්ය. ෆ්‍රිග් දෙවඟන ඔහුගේ බිරිඳ වූ අතර අකුණු සැර හා ගිගුරුම්වලට අධිපති දෙවි තෝර් ඔවුන්ගේ පුත්‍රයාය. දෙවියන්ගේ වාසභවනය ඇස්ගාර්ඩ් ලෙස හැඳින් වූ අතර පෘථිවි දරුවන් හෙවත් මිනිසුන්ගේ වාසභවනය මිඩ්ගාර්ඩ් ද දැවැන්තයින්ගේ වාස භවනය ජොන්ටුන්හෙයිම් ද ලෙස හැඳින්වීය.

සුපිරි ඔඩින්ට හා ඔහුගේ බිරිඳ ෆ්‍රිග් හට තෝර්ට අමතරව තවත් දරුවෝ සිව්දෙනෙක් සිටියහ. ඔවුන් නම් බැල්ඩුර්, හෝඩුර්, හර්මෝඩ් සහ බ්‍රාගිය. ඉඩුන්, බ්‍රාගිගේ භාර්යාව වූවාය. දෙවියන්ගේ සදාකාලික තාරුණ්‍යය රැක දෙනු වස් ඔවුන්ට බෙදා දෙන ස්වර්ණමය ඇපල් භාරව සිටියේ ඇයයි. සශ්‍රීකත්වයට අධිපති හා සයුරට සහ සුළඟට අධිපති දෙවියා වූයේ න්ජෝර්ඩ්ය. ඔහුට ෆ්‍රෙයි නමින් පුතෙක් ද, ෆ්‍රෙයා නමින් දියණියක ද වූහ. සූර්යයා හා වර්ෂාවට අධිපති දෙවි ලෙස ෆ්‍රෙයි කටයුතු කරද්දී ආදරය සම්බන්ධ ගැටලු පිළිබඳව උපදෙස් දෙන මව් දෙවඟන ෆ්‍රෙයා වූවාය. අයිස්ලන්ත දෙවියන්ගේ මුරභටයා ලෙස ක්‍රියා කරන දෙවියෙකු ද සිටියි. ඔහු නම් හෙයිම්ඩෝල් ය. එසේම දැවැන්තයින් දෙදෙනෙකුගේම පියා වූ ලෝකි දෙවියා දෙව් පරපුර වෙත දුක්ඛිත බව සහ ප්‍රශ්න විද්දේය. ඔහුගේ දියණිය වූ අතිදුෂ්ට ගති ඇති හෙල්, පාතාලයේ පිහිටි නිෆ්ල්හෙයිම් ලෝකයේ මරණයට අධිපතිනිය වූවාය.

maxresdefault

ජොටුන්හෙයිම්හේ වාසය කළ තජාසි සහ ත්‍රිම් නමැති හිමෙන් මිදුණු දැවැන්තයින් දෙදෙනෙකු පිළිබඳ නෝර්සේ දේව කතාවන්හි නිතර පාහේ විස්තර වෙයි. ත්‍රිම්, මව් දෙවඟන වූ ෆ්‍රෙයාට රහසින් පෙම් කළ අතර ඇගේ ආදරය දිනා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තෝර්ගේ ප්‍රධානතම ආයුධය සොරකම් කරයි. ඔහු සහ ඔහුගේ පරපුර වෙත විනාශය ගෙන එන්නේ ම්ජෝල්නිර් නමැති එම දිව්‍යමය මිටියයි.

මිටිය නැතිවෙන හැටි

නොර්ස් පුරාවෘත්තයේ සුපර්මෑන් හෙවත් සුපිරි තැනැත්තා තෝර් ය. එක් දිනක් තෝර් දුටුවේ තම ප්‍රධාන අනගිතම මිටිය නැති වී බවයි. එය සෑම තැනම සෝදිසි කළ ද සොයා ගැනීමට නොහැකි වූ තැන ඔහු තම බලාපොරොත්තු කඩකර ගත්තේය. හදිසියේම ඔහුට දෙව් වැසියන් වෙත ප්‍රශ්න විදින ලෝකි දෙවියාගෙන් මේ පිළිබඳ විමසීමට සිතිණි. මිටියට කුමක්වීද සහ එය සොරකම් කළේ කවුරුන් ද යන්න වටහා ගැනීමට ලෝකි හට අපහසු වූයේ නැත. කෙටිම කාලයක දී මිටිය සොයා එය යළි තෝර් අතට පත් කරන්නෙමැයි ලෝකි ප්‍රතිඥා දුන්නේය. ඔහු තෝර්ද සමග ෆ්‍රෙයාගේ වාසස්ථානයට ගියේය. තෝර්ගේ නැති වූ අනගි මිටිය සොයා ගනු වස් ජොන්ටුම්හෙයිම් ලොවට පියාසර කිරීම සඳහා ඇගේ පිහාටු ඇල්ලූ අනගි සාළුව අවශ්‍ය බව කියා එය ඉල්ලා සිටියේය. එසේම එය යම් කිසි යෝධයෙකු විසින් සොරකම් කරන්නට ඇතැයි තමන්ට හොඳටම විශ්වාස යැයි ඇයට කියන්නට ද ලෝකි පසුබට නොවූයේය.

ෆ්‍රෙයා ඉතා කැමැත්තෙන් ම තම සළුව ලෝකිට දුන්නේය. එහි නැගුණ ලෝකි තනිවම දැවැන්තයින්ගේ ලොව වූ ජොන්ටුම්හෙයින් බලා පියාසර කරන්නට විය. හිම මිදුණු දැවැන්තයා වූ ත්‍රිම් වාසය කළේද එහි වූ ගුහාවකය. ලෝකි දුටු සැණින් ෆ්‍රෙයා ඔහුගෙන් විමසුවේ දෙවියන්ගේ හා සුරූපී දෙවඟනන්ගේ ආගිය තොරතුරුය එයට පිළිතුරු බස් දෙමින් ලෝකි කීවේ ඔහුට අවශ්‍ය දෙයයි. තෝර්ගේ ම්ජොලිනිර් මිටිය යමෙකු විසින් සොරකම් කරනු ලැබීම නිසා මුළු දෙව් ලොවම කලබලයට පත්වී සිටින බවයි.

ත්‍රිම් විපිලිසර සිතින් ලෝකි දෙස බැලීය. මිටිය සොරකම් කළ ඔහු එය භූගර්භයේ ගැඹුරුම ස්ථානයක එය තැන්පත් කර තිබිණි. ත්‍රිම් උපායක් කල්බනා කර මෙසේ කීවේය. ඔඩින් හා ෆ්‍රිග්ගේ මිනිපිරිය වූ ෆ්‍රෙයා දෙවඟන තමාට විවාහ කර දීමෙන් මිස, වෙනත් ආකාරයකින් දෙව් ලොව වැසියන්ට තෝර්ගේ මිටිය යළි ලබාගත නොහැකි වනු ඇත.

ලෝකි නැවත වරක් උකුසු පෙඳින් නිමකළ සළුව දිග හැරියේය. සුළඟේ වේගයෙන් ගමන් කරමින් තත්පර කිහිපයක් ඇතුළත ඇස්ගාර්ඩ් ලොව වෙත පැමිණියේය. ගොඩබැසි සැණින් තෝර් පැමිණ ඔහු හමුවී මිටිය සොයාගන්නට ලැබුණාදැයි ඇසුවේය. සිදුවූ දෙය ඔහු කෙටියෙන් තෝර් අමතා කීවේය. ෆ්‍රෙයා ත්‍රිම්ට විවාහ කරදුනහොත් පමණක් මිටිය ආපසු ලැබෙනු ඇතැයි දැනගත් විට ඔහු ලෝකි ද සමග ෆ්‍රෙයාගේ මාලිගයට යන්නට පටන් ගති. ත්‍රිම් සමග සටන් වැදීමට තෝර් තීරණය නොකළේ හේතු දෙකක් මුල්කරගෙනය. පළමුවැන්න ත්‍රිම් සොරකම් කර තිබෙන්නේ තෝර්ගේ බලගතුම ආයුධය වන හෙයින් එය නොමැතිව තෝර් දුබලයෙකි. දෙවැනුව සුවපහසු ජීවිත ගෙවන ඇස්ගාඩ් වාසී දෙවියන්ට වඩා දැවැන්තයින් කලහ කිරීමට දක්ෂයින් බවද ඔහු දැන සිටියේය. ම්ජොල්නිර් මිටිය තමා සන්තකයේ තිබුණා නම් එය ප්‍රශ්නයක් නොවේ. දැන් කිරීමට ඉතිරිව ඇති එකම දෙය ෆ්‍රෙයා සහ ත්‍රිම් අතර විවාහය කර දීමට දේව ගණයා කැමැති කරවා ගැනීමයි.

ලෝකිගේ යෝජනාව අසා ෆ්‍රෙයා කෝපාවිෂ්ට වූවාය. ඒ වන විටද ඇය ඔඩර් දෙවියා සමග විවාහ වී සිටි අතර, දැවැන්තයෙකු තම සැමියා බවට පත් කරගෙන ඔඩර් හට විනාශය ගෙන දීමට ඇයට කිසිම ආකාරයකින් අවශ්‍ය නොවීය. තෝර් ඇගේ මෙම ප්‍රතිචාරයෙන් සතුටට පත් විය. ඔහු කෙළින්ම ගොස් සුපිරි දෙවි ඔඩින් හමුවිය. ඔඩින් අවස්ථාවේ වැදගත්කම සලකා බලා දේව ගණයාගේ හදිසි රැස්වීමක් කැඳවීය. බුද්ධිමත්ම දෙවියා වන හෙයිම්ඩෝල් දේව සභාවට උපදෙස් ලබා දීමට ඉදිරිපත් විය. ඔහු යෝජනා කළේ තෝර් මනමාලියක ලෙස හැඳගෙන වේල්පටින් මුහුණ ආවරණය කරගෙන ත්‍රිම් සමග විවාහ විය යුතු බවයි. තෝර් මෙම යෝජනාව නිසා මුසපත් නොවූවා පමණි. එහෙත් කළ යුත්තේ එයම බැව් කියා, ලෝකි සහ හෙයිම්ඩෝල් ඔහු ධෛර්යවත් කළහ. ඒ අනුව ෆ්‍රෙයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා වූ සියලු රූප ලක්ෂණ ඒ ආකාරයෙන්ම පිටතට පෙනෙන පරිදි ඇගේ ඇඳුම් හා ඇගේම ආභරණවලින් තෝර් දෙවියා සරසන ලදී. ජොටුන්හෙයිම්වලට තෝර් සමග යාමට ලෝකි ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් විය. ෆ්‍රෙයාගේ උදව්කාරිය ලෙස ඇය සරසන ලදී. තම කරත්තයෙන් අහසට නැග විදුලි වේගයෙන් ත්‍රිම්ගේ පොළොව යට පිහිටි මාලිගයට ගිය තෝර් ත්‍රිම් සහ ඔහුගේ සගයින් විසින් ඉතා හරසරින් පිළිගන්නා ලදී.

හිරු නැගෙන්නට තැනනුවේය. මුලින් තම මනාලිය මියුරු දිව්‍යමය භෝජන සංග්‍රහයකින් තෘප්තිමත් කළ යුතු යැයි ත්‍රිම් සිතුවේය. මංගල මේසය මත ඒල් සුරා බඳුන්ද රස මසවුළු රැසක් ද තබන ලදි. ෆ්‍රෙයා ලෙස සැරසී සිටි තෝර්ගේ කටට කෙළ උනා ආවේය. ඔහු සම්පූර්ණ ගවයෙක්ද, සැමන් මසුන් මහත් රාශියක් ද ඒල් සුරා බඳුන් තොගයක් ද ගිල දැමීමට පටන් ගති. තමා ෆ්‍රෙයා දෙවඟන ලෙස රඟපාමින් සිටින බවද ඔහුට අමතකව ගොසිනි. මනාලියගේ බඩජහරිකම දෙස ත්‍රිම් සහ ඔහුගේ මිතුරන් බලා සිටියේ මහත් පුදුමයෙනි. ෆ්‍රෙයාගේ අතවැසි කාන්තාව ලෙස සැරසී සිටි ලෝකි, තෝර් වෙත මදක් නැඹුරුව සිදුවීමට යනු විපත්තිය පිළිබඳ ඔහුට ඉඟි කළේය. ලෝකි පිරිස අමතා පැවසුවේ මෙම අනපේක්ෂිත විවාහය නිසා අතිශයින්ම මානසික සිත් තැවුලට පත්ව සිටියෙන් ෆ්‍රෙයා දෙවඟන දින අටක් මුළුල්ලේම අබ ඇටයක තරම් දෙයක්වත් ආහාරයට නොගත් බවයි. ත්‍රිම් ලෝකිගේ වදන් අසි සිට තම මනාලියට කුළුදුල් හාද්ද පුද කරනු වස් තෝර් (ෆ්‍රෙයා) වෙත ගොස් මුහුණුපට ඉවත් කළේය. තෝර්ගේ කෝපයෙන් දිදුළන දෙනෙත දුටු ත්‍රිම් භාන්ත විය. නැවත වරක් ලෝකි ඉදිරියට පැමිණියේය. තම ස්වාමිදුවගේ දෙනෙත ඒ ආකාරයෙන් අස්වාභාවික ලෙස දිලිසීමට හේතුව ඇසිපියා නොහෙලා නිදිවරාගෙන තම මනාලයා හමුවන මොහොත පිළිබඳ කල්පනා කරමින් පසුවූ නිසාය.

ෆ්‍රෙයා තමා වෙත දක්වන ආදරය ගැන ඇසීමෙන් ත්‍රිම්ගේ සිතිවිලි යලි උණුසුම් විය. අනාගත සුබ සිද්ධියේ සංකේතයක් ලෙස හා ආශිර්වාදයේ සලකුණක් ලෙස තෝර්ගේ මිටිය තම මනාලියගේ අත්ල මතින් තබන්නැයි ඔහු මිතුරන්ට ඇරයුම් කළේය. දැන් පැමිණ තිබුණේ තෝර්ගේ වාරයයි. යාවජීව ආයුධය දෙඅත මත තිබෙනු දුටු තෝර් ඉමහත් ප්‍රීතියට පත් විය. ක්ෂණිකව මිටිය ඔසවා ගත් තෝර්, ත්‍රිම්ගේ හිස දෙපළු වන ලෙස එයින් පහර දුනි. ඊළඟ මිනිත්තු කිහිපය ඇතුළත ත්‍රිම්ගේ මිත්‍රයෝද ඒ ආකාරයෙන්ම බලගතු මිටි පහරවලට ලක්ව මිය ගියහ. තෝර් නැවත ඇස්ගාඩ් ලෝකයට ගියේ ලෝකිද පසෙකින් තබාගෙන තම කරත්තයේ නැගී වීරයෙකු පරිද්දෙනි.

තෝර්ගේ දේව කතා පුරාණයන්හි දැවැන්තයින් පරදවා දෙවියන් ජයගත් විරළ ගණයේ අවස්ථාවක් ලෙස මෙය සටහන්ව තිබේ. පැහැදිලිවම අවස්ථානෝචිතව හා උපක්‍රමශීලී ලෙස ක්‍රියා කළ හෙයිම්ඩෝල් දෙවියා නොසිටින්නට මෙම නොර්ස් පුරාවෘත්තය අවසන් ඡේදය ද ලියවෙනු ඇත්තේ සුපුරුදු ආකාරයටම ය.

THOR: THE DARK WORLD

[embedyt] https://www.youtube.com/watch?v=x28eh_kiYcg[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි