×

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාකිස්ථාන මහමැතිවරණයේ ජය හිමිවන ලකුණු

මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් වාර්තා කරමින් ඊයේ (25) පැවති පාකිස්ථාන මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරේ.


දැනට ප්‍රකාශිත 50%කට වඩා අධික ඡන්ද ප්‍රතිඵල අනුව, මේ වන විට ඉදිරියෙන් සිටිනේනේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන Tehreek-e-Insaf (PTI) හෙවත් යුක්තිය සඳහා පාකිස්ථාන ව්‍යාපාරය වෙත ය.

ප්‍රචණ්ඩ ක්‍රියා සහ මරාගෙන මැරෙන බෝම්බ පිළිබඳ තර්ජනය හේතුවෙන් අටලක්ෂයක (800000) ක පොලිස් හා හමුදා බලකායක් සක්‍රියව මැතිවරණ රාජකාරිය සඳහා අනියුක්ත කර තිබේ.

දීර්ඝ කාලයක් හමුදා පාලනයක් පැවති පාකිස්ථානයේ 70 වසරක ඉතිහාසය තුළ සිවිල් ආණ්ඩුවකින් තවත් සිවිල් ආණ්ඩුවක් වෙත බලය හුවමාරු වන, ඉතිහාසයේ දෙවැනි අවස්ථාව මෙයයි.

ඡන්ද දායකයන් මිලියන 106 ක් දෙනා මෙවර ඡන්දය සඳහා ලියාපදිංචි වී ඇති අතර දේශපාලන පක්ෂ 30 ක් සහ අපේක්ෂකයන් 12,570 ක් මෙහිදී තරග වදිති.

‘කුවාමි ඇසෙම්බ්ලි‘ හෙවත් ‘කුවාමි සභාව‘ යනුවෙන් හැඳින්වෙන පාකිස්ථාන ව්‍යවස්ථාදායකය (පාකිස්ථාන ජාතික සභාව) ආසන 342 කින් සමන්විත අතර, එයින් ආසන 60 ක් වෙන් කර තිබෙන්නේ කාන්තාවන් වෙනුවෙනි. වාර්ගික සුළුතරයන් සඳහා වෙන් කර ඇති ආසන ගණන 10 කි.

මෙවර පාකිස්තාන මහමැතිවරණයේ ජය ඉම්රාන් ඛාන්ගේ තෙරීක්-ඉ-ඉන්සාෆ් පක්ෂයට ලැබීමට හේතුව වශයෙන් බොහෝ දෙනෙක් දක්වන්නේ රට තුළ තවමත් ප්‍රබල දේශපාලකයෙක් වශයෙන් සැලකෙන හිටපු අග්‍රමාත්‍ය නවාස් ෂරීෆ්, සිය රට බලා පැමිණීමෙන් අනතුරුව සිරභාරයට පත්වීමයි.

දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ඔහුගේ පක්ෂය වන පීඑම්එල්එන් පක්ෂය දෙවැනි තැනටද , ඝාතනයට ලක් වූ අගමැතිනී බෙනාසීර් භූතෝගේ පුත්‍රයා වන බිලාවල් සර්දාරි ගේ පාකිස්ථාන ජනතා පෙරමුණ තෙවැනි තැනට ද පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි