×

ඡන්ද මධ්‍යස්ථානවලින් එළවා දැමුණු පාකිස්ථානයේ ‘X කණ්ඩායම‘

පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානවලින් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් පන්නා දැමීම පිටුපස ඇති කතාව


ඡන්දය මිනිසාගේ මූලික අයිතියක් යැයි කියනු ලැබේ. සමහර කාලවලදී සල්ලි දීලත් දමාගැනීමට නොහැකි ඡන්දය, සමහර කාලවලදී රෝද පුටුවලින් පවා ගොස් දැමීමට තරම් උනන්දුවක් ඇති කරවන්නකි. ආහාර, නිවාස, ඖෂධ, රැකවරණය යනාදිය මූලික මිනිස් අවශ්‍යතා යැයි පැවසූවද, ඡන්දය තරම් මූලික මිනිස් අයිතිවාසිකමක් තවත් නැත. එයට හේතුව පෙරකී මූලික මිනිස් අයිතිවාසිකම් ටික පවා තීරණය කරන්නේ අප විසින් ඡන්දය ලබාදී පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන ඇත්තන් වන නිසාය. කෙසේ නමුත්, මහජන ප්‍රජාතන්ත්‍රවාදයේ අවිය ලෙස සැලකෙන ඡන්දය ලබාදීමේ අයිතිය වැඩිහිටි සෑම මනුෂ්‍යයෙකුටම හිමිවිය යුතුය. ලෝක‍යේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සිටින සෑම රටක් පාහේ තම රටේ පාලකයින් තෝරා පත්කර ගන්නේ මහජන ඡන්දය මගිනි. පවත්නා සම්මතයට අනුව වැඩිහිටිභාවයට පත් ඕනෑම කෙනෙකු, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව ඇත්නම් ඔහු හෝ ඇය ඡන්දය දැමීමට සුදුස්සෙකු වේ. ඒ සඳහා ඔබ ඔබගේ අනන්‍යතාවය ඔප්පු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඇතුළු බොහෝ රටවල මේ සඳහා යොදාගන්නේ පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පතයි. එසේත් නැතහොත් ඊට සමාන නීතිමය ලියවිල්ලකි. ජාතික හැඳුනුම්පතෙහි ඇති නම, ලිපිනය හා ඡායාරූපය හැඳුනුම්පත ඉදිරිපත් කරන තැනැත්තා හා ගැලපේ නම් ඔබට ඡන්දය පරිහරණය කළ හැකිය.

එහෙත්, හැඳුනුම්පතක පුරුෂ නමක් සඳහන්ව තිබියදී, කාන්තාවක් මෙන් සැරසුනු, කාන්තා ඇඳුම් ඇඳගත් පුද්ගලයෙකු ඡන්දය දැමීමට පැමිණියහොත් කුමක් සිදුවේවිද? ඇයට තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා කුමක් කිරීමට සිදුවේවිද? මේ පසුගිය සතියේ පාකිස්ථානයේ පැවති මහ මැතිවරණයේදී අසන්නට ලැබුණ කතාන්දරයකි. පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථාන බොහෝමයකින් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් එලවා දමා තිබුණි. ඒ හැඳුනුම්පතේ සඳහන් පුද්ගලයා හා ඡන්දය දැමීමට පැමිණි පුද්ගලයා එකිනෙක නොගැලපීම නිසාය. එසේත් නැතහොත් මුහුණුවර සමාන වුවද හැඳුනුම්පතේ හෝ ඡන්ද ලේඛනයේ ඇති උපත අනුව ලිංගිකත්වය නොව විරුද්ධ ලිංගිකයින් ලෙස ඇඳුම් ඇඳගෙන සිටි බැවිණි. මෙය එක් පැත්තකින් සියලුම දෙනාගේ ඡන්දය දැමීමේ අයිතිය උල්ලංඝණය වන අවස්ථාවක් පමණක්ම නොව සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට ඔවුන්ගේ රට තුළ හිමි තත්ත්වය හා ඔවුන්ගේ රට තුළ ඔවුන්ගේ නියෝජනයට ඇති වැදගත්කමේ තරමද පෙන්වා දෙන්නකි.

පාකිස්ථානයේ ජීවත්වෙන සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට ඔවුන්ගේ හැඳුනුම්පත් හා මූලික අනන්‍යතා සහතික වෙනස් කර ගැනීමට එරට රජය විසින් අවස්ථාව ලබාදී තිබේ. තමන් උපතින් ලැබූ ලිංගික අනන්‍යතාවය මත පිහිටා සකස් කළ උප්පැන්න සහතිකය හා අනන්‍යතා සහතික යනාදිය තමන්ගේ සැබෑ අනන්‍යතාවයට අනුව සකස් කිරීමට ඔවුන්ට හැකිය. එහෙත් සියලුම සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට මෙම අවස්ථාව ලබාගැනීම අසීරුය. එයට හේතුව බොහෝ දෙනා ඔවුන් සංක්‍රාන්ති වීම හේතුවෙන් නිවෙස්වලින් පන්නා දැමූවන් වන අතර, ඒ නිසාම ඔවුන්ගේ අනන්‍යතාවය වෙනස් කර ගැනීමට අදාළ මූලික ලිය කියවිලි ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වීමයි. එමෙන්ම බොහෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින්ට තමන්ගේ හැඳුනුම්පත් වෙනස් කිරීමට තමන්ගේ උපන් ගමට යාම අසීරු වන අතර, බොහෝ අය ලාහෝර් හෝ කරච්චියේ නගරාසන්න මුඩුක්කු පරිසරවල එදිනෙදා කුලී කරමින් ජීවත් වන වන නිසා ප්‍රත්‍යන්තයේ පිහිටි ඔවුන්ගේ මුල් ගම්වලට යාම අසීරු වීමයි.

සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී වන සංවිධාන පවසන ආකාරයට පාකිස්ථානයේ සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවගේ අනන්‍යතා සහතික වෙනස් කෙරෙන්නේ “වෙනත් ” නැතහොත් X යන කාණ්ඩය යටතේය. මේ නිසා ඔවුන් යනු ලිංගික අනන්‍යතාවය වෙනස් කරගත් පුද්ගලයින්ය යන්න සමාජයට දැනගැනීමට පහසු වේ. පසුගිය මැතිවරණයේදී ඡන්දය ලබාදීමට ඉදිරිපත් වූ එලෙස අනන්‍යතා සහතික සකස් කරගත් සමහරුන්ට පවා ඡන්දය ලබාදීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබුණි. ඔවුන් පවසන ආකාරයට ඔවුන්ට ඡන්දය ලබාදීමට හැකිද නැද්ද යන්න තීරණය කරන්නේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරීවරයා විසින් වන අතර, ඔහු හෝ ඇය සංක්‍රාන්ති භීතිකාවෙන් පෙළෙන්නෙක් නම් කුමන හෝ හේතුවක් මත පදනම්ව ඡන්දය ලබාදීම වැළැක්වීමට කටයුතු කර ඇත.

පසුගිය කාල සීමාව පුරාම සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින්ගේ අවශ්‍යතා හා හඞනැඟීම්වලට කන් දුන් පාකිස්ථාන රජය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින්ට පුරුෂ හෝ ස්ත්‍රී වර්ගීකරණයෙන් බැහැරව වෙනත් යන වර්ගීකරණය යටතේ අනන්‍යතා සහතික, විදේශ ගමන් බලපත්‍ර සකස් කරගැනීමේ අවස්ථාව උදා කර දී තිබේ. මෙවැනි තත්ත්වයක් පවතිද්දීත්, තවමත් සමාජය සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් කෙරෙහි පවතින නිශේධනාත්මක ආකල්පය, ඔවුන්ට ඡන්දය ලබාදීම වැළැක්වීමේ ක්‍රියාකාරකම්වලින් පෙනී යයි. මෙය වඩාත් උපහාසාත්මක වන්නේ මෙවර පැවති මහමැතිවරණයට තරඟ වැදීමට සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව නියෝජනය කරන අපේක්ෂකයින් පස් දෙනෙකුද ඉදිරිපත්ව තිබියදීය.

2018 මැයි මාසයේදී පාකිස්ථාන රජය සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවගේ රැකියා අයිතිය, සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අයිතිය හා පොදු ප්‍රවාහන පහසුකම් හිරිහැරයකින් තොරව ලබාගැනීමේ අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ඓතිහාසික පියවරක් ගනු ලැබීය. එපමණක් නොව එමගින් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව යනු ‘සොයුරියන්ය, සොහොයුරන්ය, මිතුරන්ය:, පමණක් නොව සියලු දෙනාම භුක්ති විඳින සමාජ සම්පත්වලට හිමිකම් කියන රටේ පුරවැසියන්ය යන පණිවිඩයද ලබාදුන්නේය. එසේ පැවතියදීත් පාකිස්ථානය තුළ තවමත් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව මරාදැමීමේ, හිරිහැරයට ලක්කිරීමේ, අපහාසයට හා වෙනත් ආකාරයෙන් නොසලකා හැරීමේ ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතී. පාකිස්ථානු මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ අල්මාගිර් මරියා පවසන ආකාරයට ඇය මරා දැමීමට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඇයගේ පවුලේ අය විසින්ය.

මෙවැනි පසුබිමක් පැවතියද, මූලධර්මවාදී ආගමික හා ජන කණ්ඩායම් බොහෝ ප්‍රමාණයක් සිටින පාකිස්ථානය තුළ සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පැසසිය යුතුවේ. කිසිවක්ම නැතුව ජීවත් වනවාට වඩා, කුමන හෝ දෙයක් ඇතුව ජීවත්වීම ඔවුන්ට වටිනවා විය හැකිය. සමහරවිට ඒ ඔවුන්ගේ බඩගින්නට ආහාර හෝ, ජීවත් වීමට නවාතැනකට වඩා එහා ගිය ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා අභිමානය සම්බන්ධ දෙයක් ද විය හැකිය.

පාකිස්ථානය විසින් අපට ලබාදෙන පාඩම ශ්‍රී ලංකාවට අදාළ කරගත හැක්කේ කෙසේද යන්න විමසා බැලීම වටී. පසුගිය 2016 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවටද ඔවුන්ගේ මූලික අනන්‍යතා සහතික ඔවුන් විසින් පෙනී සිටින හා ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවට ගැලපෙන ආකාරයට සකස් කර ගැනීමට රජය විසින් අවස්ථාව උදාකර දී තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමය එක්ව සිදුකරන ලද සාකච්ඡා වට බොහෝ ප්‍රමාණයක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේදී සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට තමන්ගේ අනන්‍යතා සහතික වෙනස් කරගත හැකිය. වඩාත් සාධනීය කරුණ වන්නේ පාකිස්ථානයේ, ඉන්දියාවේ හා නේපාලයේ මෙන් ඔවුන් තෙවන ලිංගිකත්වයක් හෝ වෙනත් යන කාණ්ඩය යටතේ නොසැලකෙන අතර, ඔවුන් පුරුෂ හෝ ස්ත්‍රී යන කාණ්ඩයට ඇතුළත් කිරීමයි. මෙය මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව විසින් තරණය කළ ජයග්‍රාහී පිම්මක් වන අතර, එය අභිමානය, ගෞරවය යනාදී සියල්ල එක් වූ ජයග්‍රහණයක් වීම විශේෂිත වේ. අනන්‍යතා සහතික වෙනස් කරගැනීමට තමන්ගේ මුල් ගම්වලට ගොස් ග්‍රාම සේවා නිලධාරීවරුන්ගේ විවිධ නොපණත්කම්වලට මුහුණ දීමට සිදු වුවද, තමන් පන්නා දැමූ ගම්වලට නැවත වෙනස් පුද්ගලයෙකු ලෙස යාමේදී විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවුවද, කෙසේ හෝ තමන්ගේ සහතික සකස් කරගැනීම රැකියාවක් කිරීමට, විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරගැනීමට හා වෙනත් සමාජ සුබසාධන කාර්යයන්වලට ප්‍රවේශවීමට අතිශයින් වැදගත් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි