හය හැවිරිදි වියේ පසු වූ සයිනබ් අන්සාරි දැරිය පසුගිය ජනවාරි 4 වැනිදා පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමා තිබිණ. අපරාධකරු දැරියගේ දේහය කුණුගොඩකට විසි කර දමා තිබුණේය. දේහය සොයා ගැනුණේ ඇගේ අතුරුදන් වීමෙන් සිව් දිනකට පසුවයි.
daily-sun-pakistan
මේ අපරාධයට වගකිව යුතුයැයි සැක පිට ඉම්රාන් අලී නමැති විසිහතර හැවිරිදි පුද්ගලයකු ජනවාරි 23දා අත්අඩංගුවට ගන්නා ලදී. ඉම්රාන් නියම අපරාධකරු බව අනතුරුව කෙරුණු ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු විණ. ඉම්රාන් අලීට පසුගිය පෙබරවාරියේ මරණ දඬුවම නියම වූයේය.
ඒ අනුව ලාහෝර් නුවර කොට් ලඛපැට් බන්ධනාගාරයේදී පසුගිය බදාදා උදෑසන ඉම්රාන් අලීව එල්ලා මරා දමනු ලැබූ බව එහි බලධාරීහු ප්‍රකාශයට පත් කළහ.
දූෂක ඝාතකයා ඉම්රාන් අලි
http://cobess.com
ඉම්රාන් අලී එල්ලා මරා දමන අන්දම දැක බලාගැනීමට සයිනබ් අන්සාරි දැරියගේ පියා සහ ඥාතීන් පැමිණ සිටි බව සඳහන් වේ. ඝාතනයට ලක්වුණු දැරියගේ පියා – අමීන් අන්සාරි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ අපරාධකරුට ලබා දුන් දඬුවමෙන් තමන් සෑහීමකට පත්වන බවකි. අපරාධකරු එල්ලා මරා දමන අන්දම රූපවාහිනිය හරහා මහජනයාට දැක බලා ගන්නට ඉඩ සලසා නොතිබීම සම්බන්ධයෙන් තමන් තුළ පසුතැවීමක් ඇති බව අමීන් අන්සාරි වැඩිදුරටත් පවසා තිබිණ. ඉම්රාන් අලීගේ දඬුවම මහජනයා ඉදිරියේ ක්‍රියත්මක කරන මෙන් ඉල්ලා අමීන් අන්සාරි ලාහෝර් මහාධිකරණයට මෙයට පෙර අභියාචනයක් ද ඉදිරි පත් කර තිබුණේය. එම එල්ලීම නිෂ්ප්‍රභා කෙරිණ.
ඉම්රාන් අලී තවත් දැරියන් හය දෙනෙකු මරා දමා ඇති බව නඩු විභාගය අතරතුරදී අනාවරණය විණ. නිදැල්ලේ හිඳිමින් මේ අන්දමට අපරාධකරුවන්ට හිතුමතයේ කටයුතු කරන්නට ඉඩ ලැබී තිබෙන්නේ පොලිසියේ දුර්වල ක්‍රියාකලාපය නිසයි. සයිනබ් අන්සාරි දැරිය අතුරුදහන් වුණු අවස්ථාවේදී ඒ බැව් පොලිසියට දැනුම් දුන්න ද පොලිසිය ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක් වූ බව ඇගේ ඥාතීහු පවසති. කිසිවකු දැරියව රැගෙන යන බව සටහන් වුණු වීඩියෝ දර්ශන පෙළක් ඥාතීන් සොයා ගත් අතර එය සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රසිද්ධ කෙරිණ. දැරියගේ දේහය කුණුගොඩකට විසි කර දමා තිබියදී සොයා ගැනුණේ මේ අතරතුරදී ය.
පාකිස්තානයේ කාසුර් නගරයේදී ගැහැණු දරුවන් කිහිපදෙනෙකුම ඝාතනය කෙරුණු බව සඳහන් වේ. මේ අපරාධ රැල්ලට එරෙහිව පාකිස්තානයේ ස්ථාන කිහිපයකදීම උද්ඝෝෂණ පැවැත් විණ. උද්ඝෝෂකයන් සඳහන් කළේ මෙවැනි අපරාධවලට ඉඩ සැලසෙන්නේ පොලිසියේ අදක්ෂභාවය සහ මන්දෝත්සාහී බව නිසායැයි කියාය.