×

බිරිඳ ගේ කරමාලය උකස් කර තැනූ ලොව අග්‍රගණ්‍ය සිනමා නිර්මාණය.

ලෝකයේ මෙතෙක් නිර්මාණය වූ විශිෂ්ට චිත‍්‍රපට අතළොස්සෙන් එකක් වූ විශිෂ්ට චිත‍්‍රපටයක්


මෙයට අවුරුදු 60 ගණනකට පෙර බටහිර බෙංගාලයේ කල්කටා නගරයේ උකස් බඩු කඩයකට පැමිණි උස අඩි 6 අඟල් 4 ක් වූ වයස අවුරුදු 30 ක් පමණ වූ තරුණයකු කඩයේ කවුන්ටරය මත ස්ත‍්‍රී කර පළඳනාවක් ඇතුළු රන් ආභරණ කිහිපයක් තබා ඊට ලබා ගත හැකි උපරිම වූ මුදල ඉල්ලා සිටියේය. ඔහුගේ අනෙක් අතෙහි මුදල් නෝට්ටුු කිහිපයක් ගුලි වී තිබිණි. ඒ මීට මොහොතකට පෙර සිය ජීවිත රක්ෂණ ඔප්පුව විකුණා ලබා ගත් මුදලයි. ඔහුගේ මේ ව්‍යායාමය වූ කලී සිය සිනමා සිහිනය සැබෑ කර ගැනීමට ආයෝජනයක් සොයා ගැනීමම විය. සිය සිහිනය ලෝක සිනමාවේ කඩඉමක් සලකුණු කරනු ඇතැයි ඒ මොහොතේ ඔහු දැන සිටියේ නැත. මේ තරුණයා සත්‍යජිත් රායි නම් වූ අතර සිය බිරිඳගේ කණකර උකස් කොට ඔහු නිර්මාණය කළ චිත‍්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘති අතලොස්ස අතරින් එකක් ලෙස අදටත් සැලකේ. මේ විශිෂ්ට සිනමා නිර්මාණය ‘පාතර් පංචලී’ (මාවතේ ගීතය) නම් වූ අතර එකී විශිෂ්ට චිත‍්‍රපටය නිර්මාණය කිරීමට ඔහු කළ අරගලය ද අතිවිශිෂ්ට එකකි.

ඒ වනවිට රායි, විභූතිභූෂන් බන්දෝපාද්‍ය කතුවරයාගේ පාතර් පංචලී නවකතාව කියවා එය රූප රාමු ලෙසින් සිතේ ඇඳගෙන තිබුණේය. ඔහුට ඊ ළඟට අවශ්‍ය වී තිබුණේ එම සිතිවිලි නෙගටිව් පටයට නැඟීමය. රායි මේ සිහිනයේ ගැලී සිටින කාලයේ ප‍්‍රංශ සිනමාකරු ජීන් රෙනුආ කල්කටාවට පැමිණෙන්නේ ඔහුගේ අලූත්ම චිත‍්‍රපටය වූ ‘ද රිවර්’ සඳහා දර්ශන තල සෙවීම පිණිසය. රායි එම ආරංචිය ඇසූ සැණින් රෙනුආ හමුවීමට යන අතර ඔහුට අවශ්‍ය ගම්බද දර්ශනතල සියල්ලම පාහේ සොයා දෙන්නේය. ඒ අතර රායි සිය සිනමා සිහිනය රෙනුආට පවසන්නේය. රෙනුආද මේ උද්‍යෝගිමත් තරුණයා කෙරෙහි පැහැදී සිටි අතර ඊට නොපැකිලව උල්පන්දම් සැපයීය සහ උදව් කිරීමට ද පොරොන්දු විය.

තත්ත්වය මෙසේ පවතිනුයේ 1950 දී රායි ලන්ඩනයේ සිය සේවා ස්ථානයේ මූලස්ථානයට පැමිණෙන්නේ තුන් මසක කාලයක් එහි සේවය කිරීමටය. ඔහුගේ සිනමා උන්මාදය කොතෙක්ද යත් මේ මාස 03 තුළ රායි චිත‍්‍රපට 99 ක් නරඹන්නේය. ඒවා අතර වූ වික්ටෝරියා ඩි සිකාගේ ‘බයිසිකල් තීව්ස්’ ඔහු තුළ මහත් වූ කම්පනයක් ඇති කළේය. රායි පසු කලෙක කීවේ ‘බයිසිකල් තීව්ස්’ නරඹා තමා ශාලාවෙන් එළියට ආවේ කෙසේ හෝ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීමේ අධිෂ්ඨානයෙන් බවය.

විභූතිභූෂන් කතුවරයා ඒ වනවිට මිය ගොස් තිබූ බැවින් රායි ඔහුගේ වැන්දඹු භාර්යාව හමු වී පාතර් පංචලී චිත‍්‍රපටයට නැගීමේ අයිතිය ඉල්ලා සිටියේය. ඒ අනුව ඇගේ අවසරය ලැබුණු අතර ගිවිසුමක්ද සකස් කෙරිණි. එය අයිතිය පැවරීමේ ගිවිසුමක් වූ අතර මූල්‍ය කොන්දේසි කිසිවක් එහි අන්තර්ගතව තිබුණේ නැත. ඉන්පසුව තිර පිටපත සකස් කිරීම ඇරඹිණි. ඇත්ත වශයෙන්ම පාතර් පංචලී චිත‍්‍රපටයට තිර රචනයක් තිබුණේ නැත. රායි විසින් ඒ වෙනුවට රූප සටහන් හා ඒ ආශ‍්‍රිත කෙටි සටහන් සහිත කෙටුම්පතක් සකස් කරන ලද්දේය. (පසු කලක මෙම ඓතිහාසික රූප සටහන් ප‍්‍රංශයේ පැරිස් නුවර p29 3සංරක්ෂණාගාරයක තැන්පත් කරන ලදී.)

වෘත්තියෙන් ග‍්‍රැෆික් සැලසුම් ශිල්පියෙකු වූ රායිට ඒ පිළිබඳ දැනීමක් හා වැඩි කැමැත්තක් තිබිණි. 1950 දී සිය සේවා කටයුත්තක් වෙනුවෙන් ලන්ඩනය බලා යන්නට සිදු වූ අවස්ථාවේ රායි ලන්ඩනයට යන අතරතුරත් ඉන් තුන් මසකට පසු ආපසු එන අතරතුරත් රූප සටහන් සියල්ල ඇඳ නිමා කළේය. (ඔහු ලන්ඩනය බලා ගමන් කළේත් ආපසු පැමිණියේත් නැව් මගින් බැවින් ඊට විශාල කාලයක් ගත විය.) රායිට චිත‍්‍රපටයට ගැලපෙන ලෙස නවකතාව කිහිප තැනක්ම වෙනස් කරන්නට සිදු විය. සමහර චරිත ඉවත් කරන්නට ද සිදු විය. ඉන්දිර්ගේ (මහලූ ගැහැනිය) මරණය සම්බන්ධ සිදුවීම ද එසේ වෙනස් කරන්නට වූ අවස්ථාවක් විය. පොතෙහි එය සිදු වන්නේ ගමේ දේවස්ථානයේදීය. රායි එය එළිමහනට ගෙන එමින් ඉන්දිර් හිඳගත් වනම මියගොස් ඇති බව අපූට හා දුර්ගාට හමුවන්නට සලස්වයි. අපූ හා දුර්ගා දුම්රිය බැලීම පිණිස විවෘත බිම් පෙදෙසක් හරහා දිවයන දර්ශනය අලූතින් එක් කළ දර්ශනයකි. එසේම දුර්ගා මාරාන්තික උණ රෝගයකින් මියයන දර්ශනයට රායි එය ධාරානිපාත මෝසම් වර්ෂාවේ දර්ශන එක්කොට ඊට හේතුවක් සපයයි. නවකතාවේ එය විස්තර කරන්නේ නැත. එසේම පවුල ගම හැරයෑම ද නවකතාවේ අවසානය නොවේ.

රූප සටහන් කෙටුම්පත නිම වීමෙන් පසු නළු නිළියන් තෝරාගැනීම අරඹන ලද්දේය. පළපුරුදු බෙංගාල නළුවෙක් වූ කනු බෙනර්ජි, හරිහර්ගේ චරිතය නිරූපණය කරනු පිණිස තෝරා ගන්නා ලදී. කනු දර්ශනතලයට පළමු දිනම පැමිණියේ සිත්ගන්නා මෝස්තරයකට කොණ්ඩය කපාගෙනය. එය දුටු සැණින් මහත් වූ අවුලකට පත් රායි රූගත කිරීම් අවලංගු කොට කනුව ආපසු යැවීය. නැවත රූගත කිරීම් ආරම්භ කරන ලද්දේ ඔහුගේ කොණ්ඩය හොඳටම වැවුණු පසුය. රායිගේ මිත‍්‍රයෙකුගේ බිරිඳක් වූ කරුණා බෙනර්ජි, හරිහර්ගේ බිරිඳ වූ සර්බජයාගේ චරිතයට තෝරා ගැණිනි. ආධුනික නිළියක් වූ ඇය ඉන්දියානු ජනතා තියටර් ආයතනයේ සාමාජිකාවක් වූවාය. කරුණා මුලදී අකැමති වූයේ ඇයට එම දුගී ගැමි ගැහැනියගේ චරිතය කළ නොහැකි බව කියමිනි. ඇය නගරයේ ඉපදී එහිම හැදී වැඩුණු කාන්තාවක් වූවාය. ගැමි සමාජය පිළිබඳ කිසිදු අත්දැකීමක් ඇයට නොවීය. සම්මුඛ පරීක්ෂණයේදී රායි සෑහීමකට පත්වූ උමා දාස්ගුප්තා දුර්ගාගේ චරිතයට තෝරා ගන්නා ලද්දේය. එහෙත් ප‍්‍රධාන චරිතය වූ අපූගේ චරිතය පිණිස දරුවකු සොයා ගැනීම ගැටලූවක් විය. අවුරුදු පහත් හතත් අතර දරුවකු සොයා ගැනීම පිණිස පළ කළ පුවත්පත් දැන්වීම අනුව සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි කිසිවකු රායිගේ සිත ගත්තේ නැත. සිය ගණනක් දරුවන් සම්මුඛ පරීක්ෂණය පිණිස පැමිණ සිටියහ. ඔවුන්ගේ දෙමව්පියන් විසින් දරුවන්ගේ කොණ්ඩය කපන ලදුව හා උරහිස් දක්වාම පව්ඩර් දමා කැඳවාගෙන පැමිණ සිටියහ. අන්තිමේදී රායිගේ බිරිඳ දැක තිබූ තමන් වෙසෙනා දකුණු කල්කටාවේ කුලී තට්ටු නිවාසයෙහි යාබද තට්ටු නිවාසයක කොන්ක‍්‍රීට් වහල මත සෙල්ලම් කරමින් සිටි අසල්වැසි දරුවකු වූ සුබීර් බෙනර්ජි අපූගේ චරිතය පිණිස තෝරා ගැණිනි. (ප‍්‍රධාන චරිත තුනෙහිම පෙලපත් නාමය බෙනර්ජි නම් වූවද ඔවුන් ඥාතීන් නොවීය.) රායි සුබීර්ගේ පියා හමුවී සිය අදහස පැවසුවද ඔහු තම පුතා චිත‍්‍රපටවල රඟපෑම පිණිස යවන්නට අකැමති විය. එවර රායි, ”අද මා හෝ ඔබේ පුතා බෙංගාලයේ කිසිවකු දන්නේවත් නැහැ. නමුත් මම හදන චිත‍්‍රපටය බෙංගාල සිනමාව වෙනස් කරයි. එදාට මුළු බෙංගාලයම අපට ගෞරව කරයි’’යැයි පැවසුවේය. එම අනාවැකිය එසේම සිදු විය.

දුබල මහලූ ගැහැනිය වූ ඉන්දිර්ගේ චරිතය පිණිස බොහෝ වෙහෙසව සොයාගත් හරිම නිළිය වූයේ පැරණි නිළියක වූ චුනිබාලා දේවි ය. ඉන්දිර් චරිතය පිළිබඳව පොතෙහි විස්තර කොට ඇති සේ හෙවත් අවුරුදු හැත්තෑපහක් පමණ වයස, කුදු ගැසුණු, ලොඹු කටක් ඇති, කම්මුල් ඇතුළට ගිලී ගිය ආදී ලෙසින් වූ ලක්ෂණවලට ඇය හරියටම හරි බව පෙනෙන්නට තිබුණි. අසූ හැවිරිදි ඇය පළපුරුදු නිළියක විය. ඇය හමුවීම පිණිස රායි කල්කටාවේ රතු එළි පළාතට ගියේය. (රතු එළි පළාත් යනු ගණිකාවන්, මැරයන් සුලබ, ලිංගික අපරාධ සාමාන්‍ය දෙයක් වූ සමාජයෙන් කොන් වූ පළාත් සේ හැඳින්වේ.) ඇය සිටි අබල දුබල තත්ත්වය දැක රායි ඇගෙන් උදේ හයට අවදි වන්නට, සැමදාම සැතපුම් පහළොවක් දර්ශනතලය වෙත ගමන් කරන්නට, දවස පුරාම සිටගෙන සිටින්නට හැකිදැයි විමසූ කල්හි ඒවා සුළු කාරණා බව පවසා ඉතා සුළු වැටුපකට චරිතය භාරගත් ඇය අනිවාර්ය කොන්දේසියක් රායිට ඉදිරිපත් කළාය. එය නම් සෑම දිනකම තමන්ට අබිං සලාකයක් සැපයිය යුතු බවය. පසුව එක් දිනක් එය සැපයීමට නිෂ්පාදන අංශයට නොහැකිවී ඇය දර්ශනතලයේ ක්ලාන්තව ඇද වැටුණාය. චිත‍්‍රපටය නිමවන්නට පෙර ඇය මිය යතැයි රායි බිය වී සිටියේය. රූගත කිරීම් නිම කොට වැඩි කලක් ගතවන්නට පෙර 82 හැවිරිදි වියේදී ඉන්ෆ්ලූවෙන්සා රෝගයෙන් ඇය මිය ගියාය. චුනිබාලාගේ වෘත්තීය නිපුනභාවය කෙසේද යත් දර්ශන අඛණ්ඩතාවය පිළිබඳව ඇයට විශ්මිත මතකයක් තිබිණි. ”අර සීන් එකේ මගෙ හැරමිටිය තිබුණේ දකුණු අතේනෙ. මේකෙ මම සරුවාලෙ දාගෙන හිටියෙ මෙහෙමයි. මම දොරේ දකුණු පැත්තෙන් ආවෙ’’ ආදී වශයෙන් ඇය දර්ශන අඛණ්ඩතාවය ගැන රායි හා වාද කළාය. අවසානයේ ඇය නිවැරදි බව රායිට පිළිගන්නට සිදු විය. එහෙත් ඇයට චිත‍්‍රපටය දැක ගන්නට ලැබුණේ නැත. ඇය සිය රඟපෑම වෙනුවෙන් මැනිලා ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඉන්දීය නිළියක් ජාත්‍යන්තර සම්මානයක් ලැබූ ප‍්‍රථම අවස්ථාව එය විය.

නිෂ්පාදන කණ්ඩායමේ බොහෝ දෙනෙකුට චිත‍්‍රපට පිළිබඳ කළින් අත්දැකීම් නොතිබුණි. රායි මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයා වන සුබත‍්‍රා මිත‍්‍රට ද පෙර සිනමා අත්දැකීම් තිබූයේ නැත. 21 හැවිරිදි තරුණයකු වූ සුබත‍්‍රා නිශ්චල ඡුායාරූප ශිල්පියෙක් විය. ඔහු මීට කළින් සිනමා කැමරාවක් අතින්වත් අල්ලා තිබුණේ නැත. කලා අධ්‍යක්ෂවරයා වන බන්සි චන්ද්‍රගුප්තට රෙනුවාගේ ඉන්දියාවේ රූගත කළ ‘ද රිවර්’ චිත‍්‍රපටයේ වැඩ කොට පළපුරුද්දක් තිබිණි.

මූල්‍ය වශයෙන් සහායක් දීමට කිසිවකු නොමැති වුවද මේ ආධුනික තරුණයාට උපදෙස් දීමට බොහෝ දෙනෙකු සිටියහ. චිත‍්‍රාගාර තුළම රූගත කිරීම් සිදු කිරීමට හුරුවී සිටි ඔවුන් එළිමහන් රූගත කිරීම හරියන වැඩක් නොවන බවට රායිට අවවාද කළහ. චිත‍්‍රාගාරයක් තුළ මෙන් නොව එළිමහනේ ස්වභාවික ආලෝකය පාලනය කරන්නේ කෙසේදැයි ඔව්හු ඇසූහ. වැස්සක් රූගත කරන්නේ කෙසේදැයි ඔව්හු ප‍්‍රශ්න කළහ. ඉන් මඳක් සැලූණු රායි සුබත‍්‍ර ද කැටුව මි.මී. 16 කැමරාවක් කුළියට ගෙන ගෝපාල්නර් නම් ගම්මානය වෙත ගියහ. එය වැසි සමයක් විය. රායි සහ සුබත‍්‍ර එක් වැහිබර සැඳෑවක දණ හිස දක්වා මඩෙහි එරීගෙන අඹ ගස් ගොන්නනික් පෙරී එන මලානික ගොම්මං එළියෙන් අඹ අතු අතරින් වැටෙන වැහි පොද රූගත කළහ. පසුව එය ධන පටලයකට මුද්‍රණය කොට බැලූ කල්හි මනරම් සිනමාත්මක දර්ශනයක් විය. රායිගේ සිතෙහි පැවති එකී කුකුස ද දුරු විය. එහෙත් ඔහු කෝකටත් තීරණය කළේ දිවා දර්ශන බොරාල් ගම්මානයේ ද රාත‍්‍රී දර්ශන චිත‍්‍රාගාරය තුළද රූගත කිරීමටය.

රූගත කිරීමේ ප‍්‍රධාන දර්ශනතලය ලෙස කල්කටාවේ දුප්පත් ගම්මානයක් වූ බොරාල් තෝරා ගැණිනි. පාතර් පංචලී පොතෙහි වූ ආකාරයට හරිහර්ගේ නිවස ඇති ගම්මානයේ පොකුණක් ද කුඹුරු යායක් ද දුම්රිය මාර්ගයක් ද ගඟක් ද තිබිය යුතු විය. බොරාල් ගම්මානය කල්කටා නගරයේ සිට කි. මී. 6 ක් දුරින් පිහිටා තිබූ අතර එහි නිවස හා පොකුණ තිබිණි. එහෙත් දුම්රිය මාර්ගය සහිත කුඹුරු යාය තිබුණේ ඊට සැතපුම් සියයක් පමණ ඈතිනි. ගංගාව පිළිබඳ අදහස අත්හැර දමන ලදී. කලා අධ්‍යක්ෂවරයා වන චන්ද්‍රගුප්තට හරිහර්ගේ නිවස දර්ශනතලයේ යම් වෙනස්කම් කිහිපයක් කිරීමට අවශ්‍ය විය. කල්කටාවේ නිවසක ලෙඩ ඇඳක වැතිර සිටි නිවසෙහි අයිතිකරු වූ දුෂ්ට මහල්ලා ඒ සඳහා ඉදිරි අවුරුදු දෙකහමාර සඳහා මසකට රුපියල් පනහ බැගින් කුළියක් ගෙවන ලෙස කොන්දේසියක් පැනවීය. එයට එකඟව දර්ශනතලයේ වෙනස්කම් කිරීම ඇරඹිණි. දැන් බහුල ලෙස භාවිතා කරන බට පැළලි මත බදාම ආලේප කොට බිත්ති තැනීම පළමුවෙන්ම අත්හදා බලන ලද්දේ මෙම දර්ශනතලයේදීය.

1952 ඔක්තෝබර් 27 දින රූගත කිරීම් ආරම්භ කරන ලද්දේය. මුලින්ම රූගත කරන ලද්දේ අපූ හා දුර්ගා දුම්රිය බැලීම පිණිස කැෂි මල් යායක් අතරින් දුවන දර්ශනයයි. (මෙය බොහෝ උසට වැඩෙන කාන්ස් නම් තෘණ යායකි.) එදින රූගත කිරීම අවසන් කොට ඊළඟ ඉරු දින පැමිණෙන විට ගව රංචුවක් විසින් තෘණ බිමේ සෑහෙන කොටසක් කා දමා තිබිණි. රායිට දර්ශනයේ ඉතිරි කොටස රූගත කිරීමට තෘණ වැවී මල් හටගන්නා තුරු මාස ගණනක් බලා සිටින්නට සිදු විය.

වැඩිකල් නොගොස්ම මූල්‍ය අර්බුදය හිස ඔසවන්නට විය. ප‍්‍රසිද්ධ නළු නිළියන්, ගීත හා ක‍්‍රියාදාම දර්ශන නොමැති බැවින් කිසිදු නිෂ්පාදකවරයකු චිත‍්‍රපටයට මුදල් යෙදවීමට කැමති වූයේ නැත. රූගත කිරීම් අතුරතුර ද රායි මුදල් සොයා ගැනීම පිණිස දර්ශනතලයෙන් බැහැරව ගියේය. සිය භාර්යාවගේ රන් ආභරණ උකස් කොට හා සිය ජීවිත රක්ෂණ ඔප්පුව විකුණා ලබාගත් මුදල් ද වේගයෙන් අවසන් වෙමින් තිබුණේය. රායි ඉතා ආශාවෙන් කලක් තිස්සේ එකතු කළ දුර්ලභ ග‍්‍රෑම්ෆෝන් තැටි එකතුව ද විකුණා දැමීය. මුදල් අවසන් වන වාරයක් පාසා රූගත කිරීම නැවතුණි. මුදල් සෙවීම පිණිස රායිට නැවත සිය ග‍්‍රැෆික් සැලසුම් රැුකියාවට යෑමට සිදුවිය. ඒ නිසා රූගත කිරීම් සිදු වූයේ සිය නිවාඩු දිනය වූ ඉරිදා දවසේදී පමණි. වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණි. එහෙත් චිත‍්‍රපටය නිම වූයේ නැත. රායි පසුව පැවසුවේ එම කාලයේ ආශ්චර්යයන් තුනක් සිදු වූ බවය. ”එක අපූගේ කටහඬ වෙනස් නොවීම, දෙක දුර්ගා ශරීරයෙන් නොවැඞීම, තුන මහලූ ඉන්දිර් මිය නොයාම’. අතේ ඇති මුදලින් නෙගටිව් අඩි හාර දහසක් රූගත කොට එය සංස්කරණය කිරීම පිණිස රායි හා සුබත‍්‍ර මිත‍්‍ර ඒවා රසායනාගාරය වෙත සැතපුම් සිය ගණනක් දුර රැුගෙන ගියේ බසයෙනි. අඩි හයකටත් වඩා උස රායිට බසයේ කෙළින් සිට ගැනීමට නොහැකි විය. වෑන් රථයක් කුළියට ගැනීමටවත් මුදල් නොතිබුණි. සංස්කරණය කළ කොටස පෙන්වා නිෂ්පාදකයකු සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

අවසානයේ විසඳුමක් ලැබුණි. චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට උපකාර කරන ලෙස සිය මිතුරෙකු වූ බටහිර බෙංගාල ප‍්‍රධාන ඇමති බිධාන් චන්ද්‍ර රෝයි වෙත රායිගේ මෑණියන් විසින් ඉල්ලීමක් කරන ලද්දේය. සංස්කරණය කරන ලද කොටස නැරඹූ ඇමතිවරයා මෙය බෙංගාල ග‍්‍රාමීය සංවර්ධනය පිළිබඳ වාර්තා චිත‍්‍රපටයක් ලෙස වරදවා වටහා ගත්තේය. ප‍්‍රධාන ඇමතිවරයා ඉල්ලීම සිය නිර්දේශය සහිතව බටහිර බෙංගාල රජයේ අභ්‍යන්තර ප‍්‍රචාර දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද්දේය. එහිදී රායිගේ හා ලෝක සිනමා රසිකයන්ගේ වාසනාව ක‍්‍රියාත්මකව දෙපාර්තමේන්තු නිලධාරීන් පාතර් පංචලී (මාවතේ ගීතය) නම් චිත‍්‍රපටයේ නම ඇසූ පමණින්ම මෙය ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය පිළිබඳ නිපදවන වාර්තා චිත‍්‍රපටයක් ලෙස වරදවා වටහාගෙන වාරික වශයෙන් ප‍්‍රදානය කෙරෙන රුපියල් ලක්ෂ දෙකක ණයක් අනුමත කරන ලද්දේය. එක් වාරිකයක් වියදම් කොට අවසාන වූ පසු එහි සියලූ බිල් දෙපාර්තමේන්තුවට පිය වූ පසු අනෙක් වාරිකය අනුමත කරන ලදී. මෙය බොහෝ කල්ගත වන ක‍්‍රියාවලියක් විය. අවසානයේ රූගත කිරීම් නිමා වනවිට තුන් අවුරුද්දක් ගතවී තිබිණි.

චිත‍්‍රපටය මුලින්ම නිව්යෝක්හි මියුසියම් ඔෆ් මොඩර්න් ආර්ට් උළෙලෙහි ප‍්‍රදර්ශනය කිරීම රායිගේ අරමුණ විය. රූගත කළ දළ සේයා පට බෙංගාලයේ චිත‍්‍රපට රසායනාගාරය වෙත රැුගෙන යනවිට අවසාන දිනයට ඉතිරිව තිබුණේ දවස් 10 ක් පමණි. එය කාලයට එරෙහි දරුණු සටනක් විය. රායි, සංස්කාරක දුලාර් දුත්තා හා සහායකයා සංස්කරණ මැදිරිය තුළ කඳවුරු බැඳගෙන ස්නානයක්, රැුවුල කැපීමක් තබා නින්දක්වත් නොමැතිව එක දිගට දින 7 ක් වැඩ කළහ. දුලාර් පැය භාගයක් නින්දක් ලැබුව ද රායි එසේවත් නිදා ගත්තේ නැත. එක් අවස්ථාවකදී තමාට තවදුරටත් වැඩ කළ නොහැකි යැයි දුලාර් කියා සිටිය ද ඇඞ්රිනලීන් ප‍්‍රතිජීවක ඖෂධය සම්භාව්‍ය නිර්මාණයක වැඩ කිරීමේ උද්යෝගය ඔසවා තැබූයෙන් ඔහු නැවත නොසැලී සිටියේය. 8 වන දින සවස පෑන් ඈම් ගුවන් සේවයට චිත‍්‍රපටය භාර දෙනු පිණිස සේවකයන් පැමිණෙන විට රායි චිත‍්‍රපට කෑන් ඇසිරූ තහඩු පෙට්ටිය උඩ නිදි කිරමින් සිටියේය. ඒ වනවිට ඔහු දින හතකින් නිදාගෙන තිබුණේ නැත. චිත‍්‍රපටය ඉංග‍්‍රීසි උප ශීර්ෂ ගන්වනු තබා රායි අවසාන පිටපත නරඹා තිබුණේවත් නැත.

චිත‍්‍රපටය නැරඹූ විචාරකයන් විශ්මයට පත් වූහ. බෙංගාල දුගී ජන ජීවිතයේ යථාර්ථය මේ තරම් සංවේදීව චිත‍්‍රණය කළ සිනමා පටයක් එතෙක් නිර්මාණය වී තිබුණේ නැත. එය සංවේදී කැමරාකරණයක විජයග‍්‍රහණයකැයි ඔව්හු පැවසූහ. 1955 අගෝස්තු මාසයේදී එය බෙංගාලයේ තිරගත විය. රායි විසින් ප‍්‍රචාරක සැලසුම් සකස් කරන ලදී. අපූ හා දුර්ගා කාෂ් මල් යායේ දිව යන විශාල නියොන් ආලෝක පුවරුවක් කල්කටා කේ සී දාස් වීදියේ සවි කෙරිණි. සියලූ ප‍්‍රචාරක කටයුතු සිදු කෙරුණේ ණයට ය. පළමු සතියේ මන්දගාමී ස්වභාවයක් තිබුණ ද දෙවන සතිය වනවිට සිනමාහල් ඉතිරී යන්නට පේ‍්‍රක්ෂකයන් පිරෙන්නට විය.

‘පාතර් පංචලී’ ජාතික චිත‍්‍රපට උළෙලවල් සෝදා හරින්නට සමත් විය. ඉන්දීය අගමැතිගේ නිර්දේශයෙන් ඉන්දීය නිල සහභාගිත්වය ලෙස එය 1956 කෑන්ස් සිනමා උළෙල නියෝජනය කරන ලද්දේය. උළෙල අවසානයේ චිත‍්‍රපටය විචාරකයන් පිරිසක් ඉදිරියේ තිරගත විය. ඉන්දියානු පිවිසීම පිළිබඳව ගණන් ගැනීමක් හෝ බලාපොරොත්තුවක් නොමැතිව සිටි ඔවුන් පාතර් පංචලී දැකීමෙන් කුමන ප‍්‍රාතිහාර්යක්දැයි විශ්මයෙන් ඇළලී ගියහ. ඉන්දියාව ලෝකය මවිතයට පත් කොට තිබුණි. එයට හොඳම මානව ලේඛන සම්මානය හිමි වූ අතර එය ඉන්දියාව ලැබූ ප‍්‍රථම ජාත්‍යන්තර පිළිගැනීම විය. පාතර් පංචලී පසුව වැන්කුවර්, බර්ලින්, සැන් ෆ‍්‍රැන්සිස්කෝ, මැනිලා ඇතුළු සිනමා උළෙලවල්

ගණනාවකදී හොඳම විත‍්‍රපටය ලෙස ගෞරව සම්මානයට පාත‍්‍ර විය.

පාතර් පංචලීගෙන් ඇරඹි රායිගේ සිනමා චාරිකාව අපරාජිතෝ (1956) සහ අපූර් සංසාර් (1959) ලෙස අපූර් ත‍්‍රිත්වය නිමවා චිත‍්‍රපට 35 ක් දක්වා දිගු එකක් විය. ඉන්දියානු ජාතික සම්මාන 32 ක් ද ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ද 1992 ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේදී නිර්මාණකරුවකුට ජීවිතේ එක් වරක් පමණක් ලබන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය. 1992 දී ඉන්දීය රජය ”භාරත රත්න” නම් ජාතික සම්මානයෙන් ඔහුට ගෞරව කරන ලද්දේය.

සිය බිරිඳගේ කණකර උකස් කොට හා සතර අත ගොස් මුදල් සිඟමින් ආධුනික නළු නිළියන් හා ආධුනික ශිල්පීන් සමඟ ලෝකයේ මෙතෙක් නිර්මාණය වූ විශිෂ්ට චිත‍්‍රපට අතළොස්සෙන් එකක් වූ විශිෂ්ට චිත‍්‍රපටයක් ඔහු නිර්මාණය කරයි යැයි කිසිවකු සිතුවේ නැත. සත්‍යජිත් රායිවත්.

නිමල් ප්‍රැන්සිස්

(දිවයින -2020-05-09)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි