×

මැගින්ඩනාඕ සංහාරයේ මහමොළකරුවන් කොටු කර ගනී!

පිලිපීනයේ පවුල්වාදයට එරෙහි අධිකරණයෙන් කඩුහරඹ..


2009 වර්ෂයේදී පිලිපීනයේ මැගින්ඩනාඕ ප්‍රාන්තයේදී සිදුවූ සමූහ ඝාතන සිදුවීමකට අදාල පුද්ගලයින් වරදකරුවන් ලෙස එරට අධිකරණයක් විසින් තීන්දු කොට තිබේ.

මැගින්ඩනාඕ සංහාරය (Maguindanao Massacre) නමින් ප්‍රසිද්ධ මෙම සිදුවීම දේශපාලන අරමුණු මත පුද්ගලයින් 57 දෙනෙකු ඝාතනයට ලක්වීම හා සම්බන්ධ වේ. එය එරට ඉතිහාසයේ වාර්තා වූ සාහසිකම සමූල මිනිස් ඝාතනය හා දරුණුතම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව බවට වාර්තා වී තිබිණි.

පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රධාන අධිකරණයෙන් ලබා දුන් තීන්දුවක් පරිදි 2009 වර්ෂයේ දකුණුදිග මැගින්ඩනාවෝ ප්‍රාන්තයේදී දේශපාලන අරමුණු මත ප්‍රතිවාදියකු ගේ රථයකට පහර දී පුද්ගලයින් 57 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල මහමොලකරුවන් වශයෙන් එරට ප්‍රභල දේශපාලනික පවුලක් වන අම්පටුවාන් පවුලේ සාමාජිකයින් වරදකරුවන් ලෙස හඳුනා ගෙන තිබේ.

මෙම සමූල ඝාතනය තුළ මරණයට පත්වූ පුද්ගලයින් 32 දෙනෙකු ම මාධ්‍යවේදීන් බව වාර්තා වේ.

දූෂණය, ප්‍රචණ්ඩත්වය හා බිය වැද්දීම් තුළින් පාලන බලය තහවුරු කර ගන්නා රටක් බවට ප්‍රසිද්ධ පිලිපීනයේ මෙකී අම්පටුවාන් පවුලේ පරම්පරා තුනක සාමාජිකයින් මෙම සමූල ඝාතනයට අදාල විත්තිකරුවන් අතරේ සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාල සිදුවීමට අදාල විත්තිකරුවන් 101 දෙනෙකු නම් කොට තිබේ.

මැගින්ඩනාඕ ප්‍රාන්තයේ පළාත් පාලන මැතිවරණය පාදක කොට ගනිමින් සිදුවූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව තුළ සිය ප්‍රතිවාදී දේශපාලන පක්ෂ සාමාජිකයකු ගමන් ගත් රථයකට සැඟවී සිට පහර දීමට කටයුතු කළ බවට එකී පවුලේ පරම්පරා තුනක සාමාජිකයින් 12 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුවී තිබිණි. සිදුවීම අවසන් වූයේ මහා ලේ විලක් කැමරා කාචයේ සටහන් කරමින් බව එකළ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

පහර දීම තුළ වෙඩි තැබීමක් සිදුවී ඇති අතර, ඉන් මරණයට පත් වූ පිරිස අතර, ප්‍රතිවාදී දේශපාලන අපේක්ෂකයාගේ බිරිඳ, ඥාතීන්, නීතීඥයින් හා මාධ්‍යවේදීන් සිටි බවට වාර්තා වේ. පහර දීමෙන් මරණයට පත්වූ පුද්ගලයින් හා රථය පොළවේ වල දමා තිබූ ආකාරයද වාර්තා වී තිබිණි. සිදුවීමට අදාල සැකකරුවන් 197 දෙනෙකු නම්කර තිබුණු අතර ඔවුන් ගෙන් 80 දෙනෙකු ම පලා ගොස් ඇති බව වාර්තා වී තිබිණි. නඩුවට අදාලව සාක්ෂිකරුවන් 357 දෙනෙකු ඉදිරිපත් වී තිබිණි. අම්පටුවාන් පවුලේ කුලදෙටු ඇන්ඩල් අම්පටුවාන් 2015 වර්ෂයේදී හෘදයාබාධයකින් මිය ගිය බවද වාර්තා වේ.

මේ වන විට අම්පටුවාන් පවුලේ සත් දෙනෙකු වරදකරුවන් ලෙස නම් කොට ඇති අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම තීන්දුවක් ලැබෙන තුරු අධිකරණය හමුවේ පෙනී සිටින බවට වාර්තාවේ. මෙම සමූල ඝාතනයට වග කිව යුතු සියළු පාර්ශව නීතිය ඉදිරියට ගෙන ඒමට පිලිපීනය කටයුතු කරන්නේ නම්, එය පිලිපීනයේ ගරා වැටුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි පණ ගැන්වීමක් වනු ඇති බවට නීති විශාරදයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, එරට අධිකරණය මේ සම්බන්ධව ප්‍රගතිශීලී තීන්දුවක් මේ වන විට ලබා දී තිබීම පැසසිය යුතු කරුණකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි