ප්‍රහාරක යානා පැදවීමෙහි සක්‍රියව නිරතව සිටි ලොව වයස්ගතම ගුවන් නියමුවා – බලඝණ නායක පිලිප් ෆ්‍රොව්ලේ සිය රැකියාවෙන් පසුගිය දා විශ්‍රාම ගත්තේය. විශ්‍රාම යන විට හැට හය හැවිරිදි වියේ පසු වූ හෙතෙම මුනුබුරු මිනිබිරියන් සිව් දෙනෙකුගේ සීයා කෙනෙකි. හතළිස් නව වසරකට ආසන්න කාලයක් පිලිප්, රාජකීය ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට සේවය කළේය. රාජකීය ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවේ ඉතිහාසය වසර 97කට වඩා නැත. ඒ අනුව පෙනෙන්නේ ඕස්ට්‍රේලියා ගුවන් හමුදා ඉතිහාසයෙන් හරි අඩකට ආසන්න කාලයක් පුරා පිලිප් ෆ්‍රොව්ලේ එහි රැඳී සිටි බවකි. විශ්‍රාම ගැනීමට සැරසී හෙතෙම මාධ්‍යයට මෙසේ පවසා තිබිණ.
“… අද මට සුවිශේෂ දවසක්. කොහොම වුණත් හැම දෙයක්ම අවසානයක් කරා ළඟා වෙනවා. ඒකට තමයි අද මම මුහුණ දීලා ඉන්නේ. එය නිසැකයෙන්ම ආශ්චර්යමත් දෙයක්. …” යනුවෙනි.
විශ්‍රාම යන විට හෙතෙම පැය දස දහසක පියාසර කාලයක් සම්පුර්ණ කර තිබුණේය. එම පියාසර කාලයෙන් පැය 6000ක්ම ඔහු වැයකර තිබුණේ ප්‍රහාරක යානා පැදවීම සඳහායි. එතරම් පියාසර කාලයක් සම්පූර්ණ කරන්නට ගුවන් නියමුවකුට ඉඩක් ලැබෙන්නේ නැති තරම්ය. එයට හේතුව ප්‍රහාරක ගුවන් නියමු කාර්යය බොහෝදෙනෙකු තරුණ වයසෙන්ම අත්හැරීමයි. වයස අවුරුදු හතළිස් ගණන්වල හෝ පනස් ගණන්වල හෝ පසුවන ප්‍රහාරක නියමුවන් හමුවන්නේ ද මේ නිසා බෙහෙවින්ම කලාතුරකිනි.
පිලිප් ෆ්‍රොව්ලේ, රාජකීය ඔස්ට්‍රේලියා ගුවන් හමුදාවට 1969දී බඳුනේ ආධුනික නිළධාරියකු හැටියටය. ඒ ගමන ඔහු පියෙන් පිය ඉදිරියට ගියේ ගුවන් නියමුවකු, උපදේශකවරයකු සහ අණදෙන නිලධාරියකු ලෙස උසස්වීම් ලබමිනි. සේවා කාලය තුළදී ඔහුට විදේශයන්හි සේවයකරන්නටත් ඉඩ ලැබුණේය. එක් අවස්ථාවකදී, ඔහුට වසර පහකට අධික කාලයක් සෞදි අරාබියෙහි සේවය කරන්නට ඉඩ ලැබිණ.
ජීවිතයේ විවිධ අවධිවලදී, එකකට එකක් වෙනස් ගුවන් යානා, පදවන්නට පිලිප් ෆ්‍රොව්ලේට හැකි විය. එය, එක් අතකින් ඔහු ලත් භාග්‍යයකි. හෙතෙම ගුවන් යානා නියමු කටයුත්ත පළමුවෙන්ම ආරම්භ කළේ “Hercules” වශයෙන් හැඳින්වුණු යානා පදවමිනි. ඉන්පසු “Mirages”, “Macchis”, සහ “F/A-18 Hornets” වර්ගයේ යානා පදවන්නට ඔහුට ඉඩ ලැබිණ. මෑත භාගයේදී ඔහු ගුවන් යානා පැදවුම කළේ නවීන තාක්ෂණය යටතේ ගොඩනැඟූ යානා සියතට ගනිමිනි. ඒ කුමන යානයක තිබුණු කවර ආකාරයේ තාක්ෂණයක් වුව පිලිප් ෆ්‍රොව්ලේට අතැඹුලක් විණ.
කොහොම වුණත් පිලිප් වඩාත් කැමති උපදේශකවරයකු හැටියට කළ භූමිකාවට ය. ඔහුම පවසන අන්දමට උපදේශකයකු හැටියට ඔහුට ගුවන් නියමුවන් 500කට අධික පිරිසක් පුහුණු කරන්නට අවස්ථාව ලැබී ඇත. එය, තම සේවා කාලයේ මස්තකප්‍රප්තියක් හැටියට හඳුන්වන්නට ඔහු මැලි වන්නේ නැත.
විශ්‍රාම යන්නට පළමුව පිලිප් ෆ්‍රොව්ලේ අවසන් වරට පැදවූයේ “Hawk 127 Lead-in-fighter” වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයකි. හැට හය හැවිරිදි වියේ පසු වුවද, තරුණ වයසේ පසුවන දක්ෂ ගුවන් නියමුවකුගේ ස්වභාවයන් පිළිබිඹු කරමින් පිලිප් මේ යානය පදවාගෙන ගිය බව වාර්තාවන්හි දැක් වේ.
වයස අවුරුදු හැට හය වනතුරු පිලිප් ෆ්‍රොව්ලේ ගුවන් යානා පැදවීම නිසා එතෙක් වයස්ගතම එහෙත් ක්‍රියාකාරීම ප්‍රහාරක ගුවන් නියමුවා හැටියට ගිනස් වාර්තාවක් තබා සිටි ඊශ්‍රායෙල ජාතිකයාට එම වාර්තාව අහිමි විය. ඊශ්‍රායෙල ගුවන් හමුදාවේ සේවය කළ එම ගුවන් නියමුවා වයස අවුරුදු 60 වනතුරු ප්‍රහාරක ගුවන් යානා එළවුමෙහි නිරතව සිටි බැව් දැක්වේ. එකී නියමුවා එම වාර්තාව තබා තිබෙන්නේ 2012 වසරේදී ය.