×

හිරු නොබසින අධිරාජ්‍යයේ මිලින වූ රෝස කුසුම… ඩයනා

ලොවක් වසඟ කළ රූ සපුවක් සේම පිවිතුරු හදවතක් ඇති ඇය නමින් ඩයනා ෆ්‍රැන්සස් ස්පෙන්සර් ය.


ලොවක් වසඟ කළ රූ සපුවක් සේම පිවිතුරු හදවතක් ඇති ඇය නමින් ඩයනා ෆ්‍රැන්සස් ස්පෙන්සර් ය, නැතහොත් Princess Of Wales යන අන්වර්ථ නාමයෙන් ඈ හඳුන්වයි. 1961 වර්ෂයේදී ජූලි 01 වන දින උපත ලද ඇය 1997 අගෝස්තු 31 දින මෙලොවින් සමුගත්තාය. එතැන් සිට 2022 අගෝස්තු 31 දිනට ඇය අප අතරින් වෙන්ව ගොස් විසි පස් වසරකි. ඇය ලොවක් හඬවා සුසුම් හෙලූ එම දිනය කෙසේ නම් අමතක කරන්න ද යන්න ගැටලුවකි.

ඇය ගැන බිඳක්;
1961, එංගලන්තයේ සැන්ග්‍රින්හම් හි ෆ්‍රැන්සස් ‍ට සහ ජෝන් ස්පෙන්සර් ට දාව බිහිවූ ඇය, ඔබ අපගේ ආදරණීය ඩයනා කුමරිය යි. ඇයට සාරා සහ ජේන් නම් සහෝදරියන් දෙදෙනෙක් සහ චාර්ල්ස් නම් සහෝදරයෙක් සිටියහ. ඇය පෙර පාසල් අවදිය ගත කළේ Diss හි Riddlesworth Hall නම් පෙර පාසලෙහි ය. ඇය පාසල් යන සමයෙහි පියානෝ වාදනය, නර්තනය වගේම ගෘහස්ථ ක්‍රියාකාරකම් සඳහා ද දක්ශතා පෙන්වූ චරිතයකි. බොහෝ මිතුරු මිතුරියන් සමඟ සුහදව කටයුතු කළ ඇය කුඩා කල සිටම කාටත් සුහද අයෙකි. පසුව ඇය 1977 දී ස්විට්සර්ලන්තයේ Alpin Videmanette අධ්‍යාපන ආයතනයේ ද ඉගෙනුම ලබා බාලාංශ ගුරුවරියක් ලෙසද සේවය කළා ය.

විවාහ ජීවිතය පිළිබඳ හැරී බැලීමේදී ඇය නිකන්ම නිකන් විවාහ වූ කතක් නොව ලොවක් දන්නා රජ පෙළපතක කුමරෙකුගේ අගමෙහෙසිය යි. ඇය නිකන්ම නිකන් ඩයනා නොව ඩයනා කුමරිය ලෙස අභිසෙස් ලැබූ ලඳකි. 1981 පෙබරවාරි 24 දින රජ පවුලේ විවාහය ජනතාවට නිළ වශයෙන් ප්‍රකාශ කළේ ඩයනා කුමරිය ඔටුන්න හිමි කුමරු හෙවත් චාර්ල්ස් කුමරු ව විවාහ කර ගැනීමෙන් පසුව ය. ඩයනා සහ චාර්ල්ස් ට දාව විලියම් කුමරු සහ හැරී කුමරු උප්පත්තිය ලැබීය. පවුල් ජීවිතයේ නොයෙකුත් සන්ධිස්ථාන පසු කරමින් ඔවුන් 1992 දෙසැම්බර් මස තම දික්කසාද ජීවිතය තෝරා ගනී. මේ පිළිබඳව ඩයනා කුමරිය නම් සඳහන් කළේ ඇය තම පෞද්ගලික ජීවිතය පිළිබඳ එතරම් සතුටකින් පසු නොවූ බවකි.

Fashion Designs එහෙමත් නැතිනම් නොයෙකුත් විලාසිතාවන් සඳහා දැඩි ඇල්මක් දැක්වූ ඇය විලාසිතා ලෝකයට වඩා වැඩි නැඹුරුවක් දැක්වූයේ සමාජ සේවයට ය. ඇය කළ කී දෑ අප්‍රමාණ ය. ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ආයතන 100කට අධික ප්‍රමාණයක සභාපති ධූර සහ අනුශාසක ධූර දැරී ය. නිවාස නොමැතිව පීඩා විඳින්නන්, කුඩා ළමුන්, ආබාධිත වූවන් පමණක් ගැන නොව සමාජයෙන් පිළිසරණක් නොමැති HIV/AIDS ආසාදනය වූ පුද්ගලයන් හට ද උපකාර කිරීමට නොපසුබට විය. ඇය 1989 දී නිව්යෝර්ක් හි සංචාරයක ගිය අවස්ථාවක HIV/AIDS සමඟ ජීවත් වන පුද්ගලයන් බැලීමට ගිය බව ද ස සඳහන් ය. රජ ගෙදර කුමරියක වූවත් ඇය දුප්පතාගේ හිතවතිය යන විරුදාවලිය ලැබීමට මහත් සුදුසුකමක් ඇත්තියකි.

ඇය තමන්ගේ 36 වන ජන්ම දිනය සැමරුවේ ටේට් ගැලරියේ 100 වන සංවත්සරයට සහභාගී වෙමින් වීම ද විශේෂත්වයකි. ඇය අවසන් වශයෙන් සහභාගී වූ නිළ ගිවිස ගැනීම ද 1997 ජූලි 21 වන දින ලන්ඩනයේ නෝර්ත්වික් පාර්ක් නම් රෝහලෙහි ය. එය ද ළමා හදිසි ප්‍රතිකාර ඒකකයකි.

මෙකී නොකී ඇයගේ ගුණයන් සමඟ ඇය මෙලොව හැර යන්නේ ඉතාමත් දරුණු කිසිදාක නොපැතූ අයුරිනි. ඒ 1997 අගෝස්තු 31 වන දින මැදියම් රැයේ ප්‍රංශයේ පැරිස් නගරය හෙවත් ආදරවන්තයන්ගේ නගරයෙහි දී ය. එය අධික වේගය නිසා සිදු වූ හදිසි රිය අනතුරකි. නමුත් එය අද ඊයේ සිදුවූවාක් මෙන් හැඟෙන්නේ අදටත් ඇය අප හද තුළ ජීවමාන වන නිසාවෙනි. ඇය මියයන විට ගැබ්ගෙන සිටි බවත් එම දරුවා ඇයගේ පෙම්වතාගේ බවත් එය රජ පවුලට අවමානයක් ලෙස දැනගෙන මෙය හිතාමතා කළ අනතුරක් ද යන්න ජනප්‍රවාද සහ කුමන්ත්‍රණ න්‍යායාචාර්‍යවරුන් (conspiracy theorists) මත පළකරන අතර, සැබවින්ම එය තවමත් අභිරහසකි.

2021 ජූලි 01 වන දිනට ඩයනා කුමරියගේ 60 වන ජන්ම දිනය නිමිති කරගෙන ලෝකප්‍රකට මූර්ති නිර්මාණ ශිල්පී Lan Rank – Broadley විසින් Kensington හි උද්‍යානයක ඇයගේ පිළිරුවක් නිර්මාණය කර තිබිණි. එය විලියම් කුමරු සහ හැරී කුමරු අතින් නිරාවරණය කර ඇත.


එමෙන්ම ඩයනා කුමරියගේ ජීවිත කතාව සහ චාර්ල්ස්-ඩයනා විවාහය දෙදරා යාම පාදක කර ගනිමින් “ස්පෙන්සර්” (Spencer) නම් සිනමා සිත්තමක් 2021 වර්ෂයේදී තිරගත විය. මෙහි ඩයනා කුමරියගේ චරිතයට පණ පොවන්නේ Kristen Stewart ය. එය ඇය ලද භාග්‍යයකි. එපමණක් නොව බ්‍රිතාන්‍යය සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණයන්ට උරුමකම් කී ශ්‍රීමත් එල්ටන් ජෝන් ගේ ” Candle In The Wind” නම් ගීතයෙහි පදමාලා 1997 දී( ඇය මියගිය වර්ෂය) ඩයනා කුමරිය උදෙසා වෙනස් කරමින් එයට නැවුම් මුහුණුවරක් දීමට ද ඔහු ක්‍රියා කළේය.

ඩයනා… හිරු නොබසින අධිරාජ්‍යයේ රූමතිය! ඔබ මෙලොවින් ගොස් වසර 25 ක් වුව ද ඔබ සියලු සිත් සතන් තුළ අමරණීය කුමරියකි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි