ඛනොන් ෂාමන් (‘QAnon shaman’) නමින් හඳුන්වා ගත් ඉකුත් ජනවාරි මස එක්සත් ජනපදයේ කැපිටල් හිල් කෝලාහලය තුළ ෂාමන්වරයකු මෙන් හැඳගෙන කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා ඉදිරියටත් බන්ධනාගාර ගත කර තැබිය යුතු බවට අධිකරණ තීන්දුවක් ලබා දී තිබේ.
ඉකුත් සඳු (09) දින මෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, ඛනොන් ෂාමන් නිදහස් කිරීම බෙහෙවින් අවදානම්කාරී බවත්, ඔහුට අදාළ නඩුකටයුත්ත අවසාන වනතුරු සිරගත කොට තැබීම යෝග්‍ය බවත් එහිදී කියවිණි.
ජේකොබ් චැන්ස්ලි යැයි නම් දරන මෙම සැකකරුවා ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණය පරාජයට පත්වීම හමුවේ කුපිත වී වොෂිංටනයේ කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු ට්‍රම්ප්භක්තිකයින් අතර සිටි කැපී පෙනෙන පුද්ගලයෙකි.
ෂාමන්වරයකු පිළිඹිමු වන අන්දමේ ඇඳුමකින් සැරසී ලෝහ තලයක් සවිකල හීයක් ද රැගෙන මොහු ඛනොන් ෂාමන් නමින් කැපිටල් හිල් ගොඩනැගිල්ල තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අන්දම කැමරාකාචයේ සටහන් වී තිබිණි.
ඉහත අධිකරණ තීන්දුව ලබා දුන් විනිසුරු රොයිස් ලැම්බර්ත් අවධාරණය කර සිටියේ මුවහත් තලයක් සහිත හීයක් ද රැගෙන කැපිටල් ගොඩනැගිල්ල තුළ ඔහු දැක්වූ හැසිරීම සාමකාමී හා හානිකර නොවේ යැයි චැන්ස්ලි කරුණු දැක්වීම තුළින් පෙනී යන්නේ මොහු “ප්‍රකෘතියෙන් ගිලහී” ජීවත් වන පුද්ගලයකු බවයි.
ඉකුත් ජනවාරි කැපිටල් හිල් කෝලාහලය එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජයට ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් අතර ද අන්ධ භක්තික ට්‍රම්ප්වාදීන් විසින් සිදුකළ සෘජු තර්ජනයක් වන සන්දර්භයක චැන්ස්ලි වැනි පුද්ගලයින් නිදහස් කොට තැබීම බෙහෙවින් ම අවදානම්කාරී බවයි එම අධිකරණ තීන්දුව තුලින් පෙන්වා දුන්නේ.
චැන්ස්ලි අධිකරණය ඉදිරියේ තමාව හඳුන්වා දුන්නේ පොලිස් නිලධාරීන්ගේ පිළිගැනීමෙන් ද යුක්තව කැපිටල් හිල් ගොඩනැගිල්ලට සාමකාමී අන්දමින් පැමිණි ෂාමන්වරයකු ලෙසයි.
එමෙන්ම ඉකුත් ජනවාරි 6 වන දින හටගත් කෝලාහලයේ සැබෑ වින්දිතයා කොංග්‍රසය හෝ ඇමරිකානු පුරවැසියන් නොව තමා බවද චැන්ස්ලි කරුණු දක්වා තිබිණි.
කෙසේවෙතත්, චැන්ස්ලි හෙවත් ඛනොන් ෂාමන් ඉදිරිපත් කළ විත්තියේ කරුණු කිසිවක් අධිකරණය සෑහීමකට පත්කිරීමට සමත් නොවීය.
චැන්ස්ලි රැගෙන හා මුවහත් තලයක් සහිත හීය කොඩි ගසක් බවට ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයා තර්ක කර තිබිණි. කෙසේ වෙතත් අධිකරණය විසින් මෙම තර්කය බැහැර කළ අතර, එය භයානක ආයුධයක් සේ යොදාගත හැකි හීයක් බවට නිගමනය කර තිබිණි.
ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චැන්ස්ලි ගේ නඩු කටයුතු අවසාන වන තුරු ඔහු බන්ධනාගාර ගත කර තැබීමට ඉල්ලුම් කර තිබූ අතර, විනිසුරු ලැම්බර්ත් ගේ විනිශ්චයට අනුව එය සිදුවනු ඇති.
කෙසේවෙතත්, ඉකුත් කැපිටල් හිල් කෝලාහලය තුළ කිසිදු පුද්ගලයකු ට පහර දුන් බවට චැන්ස්ලිට චෝදනා ගොනුවී නොමැත.