×

අවදානම් සහගත විකිරණශීලී මෙවලමක් මැලේසියාවේදී අතුරුදන්

iridium-192 සමස්ථානිකය සහිත අවදානම් සහගත විකිිරණශීලී මෙවලමක් මැලේසියාවේ ට්‍රක් රථයක ගෙන යමින් සිටියදී අතුරුදන් ව තිබේ.


පිකප් රථයක ගෙන යමින් තිබියදී නැති වූ බව කියන විකිරණශීලී මෙවලමක් (radioactive device) සොයා මැලේසියාව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

කිලෝ 23 ක් (රාත්තල් 50ක්) බරැති වස්තුවක් වන මෙය, ඉරිඩියම් – 192 සමස්ථානිකය (iridium-192) සහිත ය.

බලධාරීන් පවසන්නේ මෙතුළ ඇති විකිරණශීලීත්වය හේතුවෙන්, මෙම මෙවලම ආරක්ෂිත ලෙස පරිසරයට බැහැර නොකළහොත් එය මහත් සේ අනතුරුදායක විය හැකි බවයි.

එසේම එය ආයුධයක කොටසක් ලෙස යොදාගැනීමේ අවදානමක් ද ඇති බව ඔවුහු පවසති. වැරදි අත්වලට හසු වුවහොත් එය dirty bomb බවට පත් වීමට ඉඩ තිබේ.

මෙම නැති වූ විකිරණශීලී මෙවලම පාවිච්චි කර තිබෙන්නේ කාර්මික විකිරණ රේඛණය සඳහා ය. තෙල් සහ වායු කර්මාන්තය ආශ්‍රිතව පරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සඳහා එය යොදාගෙන ඇත.

අන්තර්ජාතික පරමාණුක බල ශක්ති ඒජන්සියේ අවධානය ද මේ වන විට මෙම ගැටළුව වෙත යොමු වී තිබේ. ඔවුන් පවසන්නේ ඉරිඩියම් – 192 සමස්ථානිකයට නිරාවරණය වීම මාරක ප්‍රතිඵල ඇති කළ හැකි බවයි.

මේ අතර මැලේසියානු පොලිස් ප්‍රධානියා අපූරු කතාවක් කියයි. පොලිස්පති මොහොමඩ් ෆුසි හරුන් පවසන්නේ මේ හා සමාන සිදුවීමක් පසුගිය වසරේ ද සිදුවූ නමුත් අද දක්වා ද එම මෙවලම ගැන හෝ එයින් සිදුවූ හානිය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි.

මේ අතර මැලේසියානු මාධ්‍ය වාර්තා මගින් ක්වාලාලම්පූර් නුවර මෙම අවදානම් සහගත විකිරණශීලී සමස්ථානිකය ට්‍රක් රථයක් මගින් ප්‍රවාහනය කළ අන්දම පිළිබඳව ද විවිධ කරුණු හෙළිදරව් කරමින් සිටියි. එක්කෝ මෙය සොරකම් කර ඇති බව, එසේත් නැතිනම් ට්‍රක් රථයෙන් පතිත වන්නට ඇති බව ඔවුහු පෙන්වා දෙති. එසේම මෙතරම් භයානක බලපෑමක් කළ හැකි මෙවලමක්, මේ තරම් නොසැලකිලිමත් ලෙස ප්‍රවාහනය කිරීම පිළිබඳව ද බලධාරීන් වෙත විශාල විවේචනයක් එල්ල වී ඇත.

මෙය නැති වී ඇති බව ට්‍රක් රථයේ රියැදුරන් දැනගෙන තිබෙන්නේ ක්වාලාලම්පූර් නුවරින් පිටත් වූ ට්‍රක් රථය නගරයෙන් පිටත වූ ගමනාන්තය වෙත පැමිණි පසුව ය.

මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ වී ඇති බව කියතත්, වැඩිදුර විස්තර ලබාදීමෙන් ද මැලේසියානු බලධාරීහු වැළකී සිටිති. පුද්ගලයන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගෙන පසුව නිදහස් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි