×

නව ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍ර ගමනේ – දේශසීමා වැසෙයි

ලෝක‌යේ බහුතර රටවල් ඩෙල්ටා කෝවිඩ් වසංගතය සමග පොර බදමින් සිටින අතරවාරයේ හිස එසවූ ඔමික්‍රෝන් ප්‍රභේදය, සීඝ්‍ර වේගයෙන් දේශසීමා බාධක නොතකා ව්‍යාප්ත වෙමින් තිබේ.


මේ අනුව රටවල් ගණනාවක දේශසීමාවන් විදේශිකයන් සඳහා ඉදිරියේදී වසා දැමීමට නියමිත ය.

හෙට සිට එනම් සෙනසුරාදා දිනයේ පටන්, ප්‍රංශය බ්‍රිතාන්‍ය සංචාරකයන්ට තහනම් කලාපයක් වනු ඇති. අතිශයින් බලපෑම් සහගත හේතුවක් නොවේ නම්, බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රංශයට ඇතුළු නොවිය යුතු බව ට නව නීති පනවා තිබෙන්නේ ඊයේ දිනයේ, එනම් බ්‍රහස්පතින්දා සිට ය.

මේ අතර, ප්‍රංශ ජාතිකයන් බ්‍රිතාන්‍යය බලා යාමට සැලසුම් කරන්නේ නම් එම ගමන් කල් දමන ලෙසට ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊශ්‍රායලයේ රතු ලැයිස්තුව

මේ අතර, ඊශ්‍රායලය විසින් ඔමික්‍රෝන් හි හිස එසවීමත් සමග රතු ලැයිස්තුවක් පිළියෙළ කරමින් සිටියි.

ඒ අනුව පසුගිය බදාදා දිනයේ ප්‍රංශය එම රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කළේය. මෙම ‘අධි අවදානම් රටවල් ලැයිස්තුව’ට ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අයර්ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය සහ ස්වීඩනය ද අයත් වේ.

ජර්මනියේ උද්ඝෝෂණ

ජර්මනියේ මියුනික් නුවර දැන් සති කිහිපයක් පුරා උද්ඝෝෂණ දැකගත හැකිය. එයට ප්‍රධාන හේතුවක් බවට පත් ව තිබෙන්නේ මෙතෙක් එන්නත් නොගත් අය සම්බන්ධයෙන් ජර්මානු රජය විසින් පනවා තිබෙන සීමාවන් සහ එන්නත්කරණය අනිවාර්ය කිරීමයි.

ඊයේ දිනයේ මියුනික් නුවර පැවති උද්ඝෝෂණ උණුසුම් මුහුණුවරක් ගත්තේ, පොලිස් නිලධාරීන්ට ද විරෝධතාකරුවන් විසින් පහර දීම නිසා ය. ඒ අනුව, පුද්ගලයන් 28 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. මියුනික් පොලිසියට අනුව, 3,700 දෙනෙක් මේ උද්ඝෝෂණ සඳහා එක් ව සිටියහ.

ඇමරිකාව ඊයේ පැවසුවේ, ඇමරිකානු ජනතාව ඩෙල්ටා සමග සටන් වැද සිටින අතරවාරයේ, ඔමික්‍රෝන් නිසා දැඩි අපහසුතාවයකට පත් ව සිටින බවයි.

මුළු ලෝකයම එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව ගැන විමසිල්ලෙන්

අතිශය වේගයෙන් පැතිරෙමින් තිබෙන ඔමික්‍රෝන් ප්‍රභේදය මුලින්ම වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙනි. මෙම ජාන විකෘතිකරණයට ලක් වූ කොරෝනා වෛරසය මද කෝවිඩ් ලක්ෂණ පමණක් ඇති කරන්නේ ද යන්න ගැන තවමත් අවසන් නිගමනයක් නැත. නමුත් එය ඩෙල්ටා ප්‍ර භේදයටත් වඩා වේගයෙන් පැතිරෙන බව සොයාගෙන තිබේ.

දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකෙන්ම පසුගිය බදාදා වාර්තා වූයේ වසංගත සමය තුළ දැකගත හැකි වූ වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාවයි.

මේ වන විට ලන්ඩනය තුළ බහුලවම ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය වන්නේ ද ඔමික්‍රෝන් ය. මේ තත්වය දැකගත හැකි වන්නේ, පළමු ඔමික්‍රොන් රෝගියා වාර්තා වී දින කිහිපයකට පසුව බව සැලකිය යුතු කාරණයකි.

මේ අතර, ලන්ඩනයේ ඊයේ දිනයේ ද බූස්ටරය ලබාගැනීම සඳහා ජනතාව පෙළගැසී සිටින ආකාරය දැකගත හැකි විය.

දකුණු අප්‍රිකාවේ පසුගිය මාසයේ මුල් වරට ඔමික්‍රෝන් ප්‍ර භේදය වාර්තා වුවත්, එරටින් රෝහල්ගත වීම් වාර්තා වන්නේ අඩුවෙනි. එයට හේතුවක් විය හැක්කේ නොදැනුවත්භාවය සහ අඩු රෝහල් පහසුකම් ය.

ඔමික්‍රෝන්වලට මේ හැටි වේගයක් ඇයි?

ඔමික්‍රෝන් වෛරසයේ විශේෂත්වය වන්නේ ද ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමට ඇති හැකියාවයි. වෛරස් අංශුවක් සාමාන්‍ය යෙන් ධාරක සෛලයක් සමග බැඳෙන්නේ එහි මතුපිට ඇති යගදා බඳු ‘ස්පයික් ප්‍රෝටීන’ වලිනි. මුල් කොරෝනා වෛරසයෙන් විකරණය වූ එනම් වෙනස් වූ හෙවත් විකෘති වූ ජාන මෙම ස්පයික් ප්‍රෝටීන තුළ පිහිටයි. අනතුරුව එය ධාරක සෛලයේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයම අඩපණ කර දමමින් වේගයෙන් පැතිර යාමට සමත් වෙයි.

සාමාන්‍යයෙන් විය යුතුව තිබෙන්නේ වැක්සින්කරණයට ලක් වූ රෝගියාගේ මෙම ධාරක සෛල ප්‍ර වේශය අකර්මණ්‍ය වීම වුවත් එය එසේ සිදුවන්නේ නැත. එයට හේතුව ද විකෘති ඇති කරගැනීමේ හැකියාවයි.

පහත රූප සටහනෙන් දැක්වෙන්නේ මිනිස් සෛලයක් සමග වෛරසය බැඳී, විකෘති ඇති කරමින් සිරුර සෛල මට්ටමේදී ආක්‍රමණය කරන ආකාරයයි.

ඔමික්‍රෝන් ඔස්ට්‍රේලියාවටත්

මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය ගිනිකොණ දිග රටවලට සහ ඔස්ට්‍රේලියාවට ද ව්‍යාප්ත වෙමින් තිබේ.

ඉන්දුනීසියාව සහ නවසීලන්තයෙන් ද පසුගියදා පළමු ඔමික්‍රොන් රෝගීන් වාර්තා විය. දකුණු කොරියාව නැවත වරක් සමාජ දුරස්ථකරණ සීමාවන් දැඩි කර තිබේ. ග්‍රේටර් සියොල් කලාපයේදී පුද්ගලයන් 4 දෙනෙකුට වඩා සහ, වෙනත් පෙදෙස්වලදී පුද්ගලයන් 8 දෙනෙකුට වඩා එකම ස්ථානයකදී මුණ ගැසීම ඒ අනුව තහනම් ය.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ජනපදයේ ඉතා වේගයෙන් රෝගය පැතිරෙමින් තිබෙන්නේ, නත්තල පසුවන තෙක් උත්සව ආදිය පැවැත්වීම ගැන ‘බරපතළ ලෙස සැලකිලිමත් වන ලෙස’ දැඩි අවවාද නොතකා ය.

එකම පිළිතුර බූස්ටරය විය හැකිය

ඇමරිකානු පර්යේෂකයන්ට අනුව එන්නත් මෙම ප්‍ර භේදය සඳහා පිළිතුරක් නොවන නමුත්, බූස්ටරය මගින් ප්‍රතිශක්තිකරණය ප්‍රතිස්ථාපනය කළ හැකි වනු ඇත. සැලකිය යුතු පමණින් එය සිදුවන බව කියැවේ.

ඒ නිසා ලෝකය දැන් දිව යා යුතුව තිබෙන්නේ ‘එන්නත් තරගය’ට පසුව ආ ‘බූස්ටර් රේස්’ එකේ ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි