ඇමරිකා එක්සත් ජනපදය විසින් රඳවා තබාගෙන සිටින මරියා බුටිනා (Maria Butina) නමැති රුසියානු ඔත්තු සේවා නිලධාරිනිය නිදහස් කරන ලෙසට රුසියාවෙන් ඇමරිකාවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
‘සරාගී ඔත්තුකාරිය‘ ලෙස ඇතැම් මාධ්‍ය විසින් හැඳින්වූ මරියා බුටිනා 29 හැවිරිදි රුසියානු දේශපාලන ක්‍රියාකාරිනියකි. එසේම Right to Bear Arms නමැති රුසියානු ගිනි අවි සංවිධානයේ නිර්මාතෘවරිය ද ඇය වේ. ඇමරිකාවේ විශාලතම ආයුධ සංවිධානය ලෙස සැලකෙන ජාතික රයිෆල සම්මේලනයට සම්බන්ධ වී රිපබ්ලිකන් නියෝජිතයන් සහ රුසියානු නිලධාරීන් අතර සම්බන්ධතා ජාලයක් ගොඩ නැගූ බව ට මේ වන විට සැක කෙරේ.
2018 ජූලි මාසයේදී වොෂින්ටන් නගරයේදී අත්අඩංගුවට පත් වන විට ඇය ඇමරිකාවේ පදිංචිකාරියක ද වූවාය. ඇයට එරෙහිව තිබෙන චෝදනා පැහැදිලි නැතත්, ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් රහස් ඔත්තු සේවය පවසන්නේ වසර ගණනක් මුළුල්ලේ ඇය විසින් රුසියාව වෙනුවෙන් ඔත්තු සේවා සපයා ඇති බවයි. එනම්, රුසියාව වෙනුවෙන් ලියාපදිංචි නොවූ ‘අන්ඩකවර් ඒජන්තවරියක‘ ලෙස කටයුතු කළ බවයි.
ඇය නිදහස් කර ගැනීම අරමුණු කර ගනිමින් මොස්කව් පාලනය මේ වන විට වෙනම ට්විටර් කැම්පේන් එකක් ද ආරම්භ කර ඇති බව පැවසේ.