×

ලොව පුරා දරුඵල අඩු වෙලා!

ගෝලීය වශයෙන් සාඵල්‍යතාවය හෙවත් දරුඵලවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.


ඔවුන් මෙය විස්තර කරන්නේ, ‘‘මුණුබුරු මිණිබිරියන්ට වඩා සීයලා ආච්චිලා පිරී ඇති ලෝකයක්‘ බවට අනාගත ලෝකය පත්වෙමින් තිබෙන බවට නියත සලකුණක් ලෙස ය.

එසේම ඔවුන්ගේ වාර්තාවෙන් තවත් විශේෂිත කරුණක් ද නිරීක්ෂණය වේ. එනම්, ලොව පුරා කාන්තාවන්ට මව්වරුන් බවට පත්වීමට ඇති ශක්තිය පිරිහී ඇති අතර, ලෝකයේ රටවල්වලින් භාගයකට පමණ, ජනගහනයට දරාගත නොහැකි පරිදි දරුවන් බිහිවීම ද ගැටළුවක් බවට පත්වෙමින් තිබෙන බවයි. එය ‘මහත් පුදුමයක්‘ බව ද පර්යේෂකයෝ පවසති.

Lancet (ලැන්සෙට්) ජර්නලයේ පළවූ මෙම පර්යේෂණයට, වසර 1950 සිට 2017 දක්වා ලෝකයේ සෑම රටකම සිදුවී තිබෙන දරු උපත් ප්‍රමාණය හා ඒවායේ ස්වභාවය පර්යේෂකයන්ගේ සැලකිල්ලට ලක් වේ.

උදාහරණයක් වශයෙන් 1950 වසරේදී ස්ත්‍රියකට සිය ජීවිත කාලය තුළ සිටින දරුවන් සංඛ්‍යාව 4.7 කි. එනම් දළ වශයෙන් දරුවන් 4 දෙනෙක් හෝ 5 දෙනෙකුගේ මවක් වීමට සෑම කාන්තාවකටම හැකි විය. නමුත් මෙම සාඵල්‍යතාවය එසේත් නැතිනම් සරු බව, 2017 වසර වන විට සමස්ත ලෝකයම සැලකූ විට 2.4 දක්වා අඩු වී ඇත.

නමුත් මෙය ලෝකයේ රටවල් අතර විශාල විෂමතාවයකින් යුතුව සිදුවන්නකි.

උදාහරණයක් වශයෙන් බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේදී ස්ත්‍රියකගේ දරුවන් ලැබීමේ හැකියාව 7.1 කි. නමුත් මධ්‍යධරණී කලාපයට අයත් සයිප්‍රස් හිදී ස්ත්‍රියකට සිටින්නේ සාමාන්‍ය වශයෙන් එක් දරුවෙකු පමණයි.

එසේම මේ වන විට ලෝකයේ ඉහළ සාඵල්‍යතා ප්‍රතිශතයක් හිමි රටවල ළදරු මරණ සංඛ්‍යාවද ඉහළ අගයක් ගනියි. එයින් පෙනී යන්නේ උපත් පාලන ක්‍රම නොමැති වීම සහ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ එවැනි දුප්පත් රටවල පැහැදිලිවම ප්‍රශ්නයක් පවතින බවයි.

බලපෑම කෙසේ වේවිද?

මේ අන්දමින් රටක ජනගහනයේ සාඵල්‍යතා වේගය 2.1ට වඩා අඩු වී තිබේ නම් ඒ රටේ ජනගහනය වේගයෙන් පහළ බැසීමකට හෙවත් ‘හැකිළීමකට‘ ලක් වන බව විද්වතුන්ගේ මතයයි. 1950 වසරේදී මෙවැනි ‘හැකිළීමට‘ ලක්වන ජාතියක් ලෝකයේ කොතැනකවත් සිටියේ නැත.

වොෂින්ටන් සරසවියේ Health Metrics and Evaluation ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ක්‍රිස්ටෝපර් මරේ බීබීසී පුවත්සේවයට මෙසේ කියා තිබේ. ‘‘ගතවූ වසර 50 තුළ මෙම සාඵල්‍යතා වේගය නැවත යථා තත්වයට පත් කළ නොහැකි අන්දමින් පිරිහී තිබෙනවා. ඒ නිසා මේ රටවල් මේ වෙනුවෙන් යම් දෙයක් නොකළහොත්, ඉදිරියේදී ජනගහන වේගය අන්තරායකාරී ලෙස අඩුවන තැනකට පත් වේවි.“

අඩුම දරුඵල සහිත රටවල්

පර්යේෂණය පෙන්වා දෙන්නේ යුරෝපය ඇතුළත්ව සංවර්ධිත රටවල්, ඇමරිකාව, දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව මෙම අඩු සාඵල්‍යතාවය නමැති නූතන ගැටළුවට දැඩි සේ මුහුණ පා සිටින බවයි.

නමුත් මේ රටවල ජනගහනය අඩු වෙමින් පවතින බවට මෙම සාධකය පමණක් පදනම් කරගෙන කිව නොහැක්කේ, උපත් අනුපාතිකය මෙන්ම මරණ අනුපාතිකය සහ සංක්‍රමණික අනුපාතිකය ද මේ රටවලදී මේ කාරණය සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු නිසා ය.

ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණම මේ වන විට දරුවන් ප්‍රමාණවත් අන්දමින් බිහිකරමින් සිටියත්, සංවර්ධිත රටවල එම තත්වය පැහැදිලිවම පිරිහී ගොස් ඇත.

දරු ඵල අඩුවන්නේ ඇයි?

දරු ඵල අඩුවීම ගැන කතා කරන විට සිතට නැගෙන මාතෘකා වන්නේ ශුක්‍රාණුවල සරු බව හෝ මාතෘ සෞඛ්‍යයේ ඇති ගැටළුකාරී තත්වයන් ය.

නමුත් යථාර්ථය එය නොවන බව මෙම පර්යේෂණය පෙන්වා දෙයි.

එයට අනුව මේ සඳහා වැඩි වශයෙන්ම බලපා තිබෙන්නේ පහත කාරණා තුන ය.

1. ළදරු මරණ අනුපාතිකය අඩු වීම නිසා කාන්තාවන් වැඩිපුර දරුවන් බිහි කිරීමට යොමු නොවීම
2. උපත් පාලන ක්‍රම දැඩි සේ ව්‍යාප්ත වී තිබීම
3. බොහෝ කාන්තාවන් සිය ජීවිතය තුළ අධ්‍යාපනය හෝ රැකියාව සඳහා කැප වී සිටීම.

අවසානයේ කුමක් සිදුවනු ඇතිද?

ජනගහනය හැකිළීමේ අවදානමට ලක් වී සිටින රටවල අනාගතයේ ජනගහනය අඩු නොවීම සඳහා බලපාන ප්‍රධානතම හේතුව බවට පත්වනු ඇත්තේ සංක්‍රමණිකයන් ය. වෙනත් වචනවලින් කියනවා නම්, දියුණු රටවල ජනගහනය සතුටුදායක අන්දමින් පවත්වාගෙන යාමට නම් සංක්‍රමණිකයන්ට දොර හැරීම කළ යුතුම දෙයක් බවට පත්වනු ඇත.

මේ වනවිට සකල සමාජයම භූගෝලීය වශයෙන් සම්මිශ්‍රණය වෙමින් පවතින බැවින්, සහ එය නරක දෙයක් නොවන බැවින්, ඉදිරියේදී මෙම ගැටළුවට එක්ව මුහුණ දීමට ලෝකයට සිදුවනු ඇත.

සේවාස්ථානවල පරිසරය ද දරුඵල අඩුවීමේ ගැටළුව සම්බන්ධයෙන් සංවේදී විය යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානියේදී විශ්‍රාම වයස අවුරුදු 68 වැනි ඉහළ තලයක පැවතීම, දරු ඵල සඳහා සෘණාත්මක ලෙස බලපායි.

ලෝකයේ වැඩිම වයස්ගත ජනගහනයක් සිටින රටක් බවට පත්ව ඇති ජපානය මේ ගැටළුව සම්බන්ධයෙන් තවත් උදාහරණයක් සපයයි. මේ වන විට නූතන ජපන් සමාජය ලිංගික සබඳතා පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසක් නොවේ. ඒ අනුව ඔවුන් දරුවන් බිහිකිරීම, ජීවිතයේ වැදගත් කමෙන් අඩු කටයුත්තක් ලෙස සලකමින් සිටිති. මෙවැනි සමාජයීය හා ආකල්පමය කාරණා ද මේ පර්යේෂණයේදී සැලකිල්ලට බඳුන් විය.

චීනය තවත් වැදගත් උදාහරණයක් සපයන රටකි. 1950 දශකයේ පටන් චීනය විශාල ජනගහන වර්ධන වේගයක් වාර්තා කළේය. එය බිලියන 0.5 ක සිට බිලියන 1.4 ක් දක්වා වර්ධනය විය. නමුත් එක් දරු සංකල්පය හඳුන්වා දීමෙන් පසු එම තත්වය දරුණු ලෙස පහළ වැටුණේය. එසේම ‘සෙක්ස් සිලෙක්ෂන් ඇබෝෂන්‘ හෙවත් ‘ලිංගිකත්වය මත තෝරාගැනීම් සිදුකරමින් ගබ්සාවන් සිදුකිරීම‘ චීනයේ දැඩි සේ ඇති වී තිබෙන තත්වයකි. මේ වන විට චීනයේ ගැහැණු දරුවන් 100 දෙනෙක් උපදින විට පිරිමි දරුවෝ 117 දෙනෙක් උපත ලබති.

මූලාශ්‍රය – BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි