×

මරා දැමූ මෝල්ටා මාධ්‍යවේදිනියගේ පුතුට මාධ්‍ය නිදහස පිළිබඳ ලොව ඉහළම සම්මානයක්

2018 RSF මාධ්‍ය නිදහස පිළිබඳ සම්මාන පිරිනැමේ


මාධ්‍ය නිදහස සුරක්ෂණය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී සිටින Reporters Without Borders හෙවත් RSF සංවිධානය විසින් මාධ්‍ය නිදහස උදෙසා කැප වූ ලොව පුරා මාධ්‍යවේදීන්ට සම්මාන පිරිනැමීම නොවැම්බර් 8 වැනිදා ලන්ඩනයේදී සිදුවිය.

එහිදී ධෛර්යය (Courage), බලපෑම (Impact) සහ ස්වාධීනත්වය (Independence) වෙනුවෙන් පිරිනැමුණු ඉහළම සම්මානය ත්‍රිත්වය දිනාගැනීමට සමත් වූයේ පිළිවෙළින් ඉන්දියාවේ ස්වාති චතුර්වේදි (Swati Chaturvedi), මෝල්ටාවේ මැතිව් කරුවානා ගැලීෂියා (Matthew Caruana Galizia) සහ පිලිපීනයේ ඉන්දේ එස්පිනා-වැරෝනා (Inday Espina-Varona) හට ය.

බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් සිදුකළ ගවේෂණාත්මක මෙහෙවර අගය කිරීම සඳහා එක්සත් රාජධානියේ මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂයෙන් පිරිනැමෙන ‘L’esprit de RSF’ prize ‘ද ඔබ්සවර්‘ හි කැරොල් කැඩ්වොල්ඩර් (Carole Cadwalladr) හට පිරිනැමීම ද එහිදී සිදුවිය.

සම්මාන පිරිනැමීම සිදුවූයේ චැනල් 4 හි අන්තර්ජාතික වාර්තාකරණ අංශයේ ප්‍රධානියා වන ලින්ඩ්සේ හිල්සම් (Lindsey Hilsum) විසිනි.

සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ගේ ඝාතනයත් සමග ලොව පුරා නිදහස් මාධ්‍ය මුහුණ දී සිටින අවදානම පිළිබඳව ද මෙම සම්මාන උළෙලේදී විශේෂ කතා බහකට ලක් විය.

මැතිව් කරුවානා ගැලීෂියා- මවගේ උරුමය සමග

මෝල්ටා රාජ්‍යයේ දේශපාලන තන්ත්‍රය ප්‍රමුඛ කරගෙන ක්‍රියාත්මක වන අල්ලස හා දූෂණයට විරුද්ධව නොබියව සිය බ්ලොග් අඩවිය හා මාධ්‍ය හරහා පෑන මෙහෙයවූ ඩැෆ්නි කරුවානා ගැලීෂියා (Daphne Caruana Galizia) 2017 ඔක්තෝබර් 16 වැනිදා ඇය ගමන් ගත් මෝටර් රියට බෝම්බ සවි කිරීම මගින් කිසිවෙකු විසින් මරා දැමුණි. ඇය යමින් සිටියේ සිය පුතුගේ සුවදුක් බැලීම පිණිස ය. එම පුතු වන මැතිව් කරුවානා ගැලීෂියා ද මෝල්ටාවෙන් බිහිවූ දක්ෂ ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකි. ඔහු අන්තර්ජාතික ගවේෂණාත්මක වාර්තාකරුවන්ගේ කොන්සෝටියමේ (International Consortium of Investigative Journalists (ICIJ)) වසර 5 ක් කටයුතු කළ අයෙක් වන අතර, එහි දත්ත හා පර්යේෂණ අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ කිහිප දෙනොගෙන් එක් අයෙකි.

සිය මවගේ අයුක්තිසහගත හා සාක්ෂි නොමැති ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා මැතිව් පසුගිය වසරක කාලය තුළ මහත් සේ වෙහෙසුණේය. ඇය විසින් හෙළිදරව් කළ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයේ තවදුරටත් යෙදීමට ද ඒ අතරම ඔහු අමතක නොකළේ මවගේ උරුමය තවදුරටත් ජීවමාන කරමිනි. අද වන විට මැතිව් කරුවානා ගැලීෂියා මාධ්‍ය නිදහස, ස්වාධීනත්වය සහ මාධ්‍යයේ බහුවිධත්වය වෙනුවෙන් පෙනී සිටින, ඒ පිළිබඳ ලෝකයේ දැනුවත් භාවය වැඩි කිරීමට වෙහෙසෙමින් සිටින අන්තර්ජාතික ක්‍රියාකාරියෙකු ද වේ.

ස්වාති චතුර්වේදි සහ මෝදිගේ ඩිජිටල් හමුදාව

මේ අතර, මාධ්‍යවේදීන්ගේ අප්‍රතිහත ධෛර්යය වෙනුවෙන් පිදෙන ධෛර්යයේ සම්මානය මෙවර පිරිනැමුණු ඉන්දියාවේ ස්වාති චතුර්වේදි ද සුවිශේෂී චරිතයකි. ඇය වෘත්තිමය වශයෙන් NDTV මාධ්‍ය ආයතනයේ තීරු ලිපි රචිකාවකි.

ඇය, ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි විසින් සිය දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් හොර රහසේ සහ සංකීර්ණ ලෙස සංවිධානය කළ ඩිජිටල් හමුදාව සහ එහි බලපෑම ගවේෂණාත්මකව වාර්තාකළ මාධ්‍ය වේදිනියයි. මෝදිගේ අධි තාක්ෂණික ජාලය විසින් ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ නැංවීම පිණිසත්, ප්‍රතිවාදීන් පහත හෙළීම පිණිසත් ‘ට්‍රොල් හමුදා‘ (Troll) යෙදවීමේ තාක්ෂණික යුද්ධය පිළිබඳවත් ඇය තීරණාත්මක තොරතුරු රැසක් හෙළි කළාය. එසේම ඇය මේ සම්බන්ධයෙන් ‘‘මම භාරතීය ජනතා පක්ෂයේ රහසිගත ඩිජිටල් හමුදාවේ ට්‍රොල් එකක් වෙමි“ “I am a Troll: Inside the Secret World of the BJP’s Digital Army.” යනුවෙන් මෙම කරුණු එක්තැන් කර පොතක් ද පළ කළාය.

ඉන්දියාවේ පවතින ක්‍රමයට එරෙහිව කතා කරන බොහෝ මාධ්‍යවේදීන්ට මෙන්ම මෙන් ඇයට ද සිය මෙහෙවරේ යෙදීමේදී දරුණු ඔන්ලයින් හිරිහැරවලට ලක්වීමට සිදුවිය.

ස්වාධීනත්වය පිළිබඳ RSF මාධ්‍ය සම්මානය දිනාගත් පිලිපීනයේ ඉන්දේ එස්පිනා-වැරෝනා, පිලිපීනයේ #MeToo සිවිල් ව්‍යාපාරය ලෙස සැලකෙන #BabaeAko සිවිල් ව්‍යාපාරය සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළ අයෙකි. එසේම පිලිපීන ආඥාදායක ඩුටර්ටිගේ දරුණු මර්දනකාරී පාලන තන්ත්‍රයට එරෙහිව ඇය තවදුරටත් සිය හඬ අවදි කරමින් සිටින්නීය.

1992 වසරේ පටන් ආරම්භ කළ Reporters Without Borders මාධ්‍ය නිදහස පිළිබඳ සම්මාන උළෙලවලදී මීට පෙර සම්මාන පිරිනැමුණු අය අතර, චීන විසම්මුතික ලූ සියාබෝ, සිරගත කළ සෞදි බ්ලොග් රචක රායිෆ් බදාවි, ධෛර්යසම්පන්න සිරියානු මාධ්‍යෙව්දී සයිනා එර්හායිම් ද වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි