වා ලෝන් (Wa Lone) සහ ක්යාව් සෝ ඌ (Kyaw Soe Oo) යන Reuters මාධ්‍යවේදීන් දෙදෙනා 2017 දෙසැම්බරයේ පටන් බන්ධනාගාර ගත කර තිබිණි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් 32 හැවිරිදි සහ 28 හැවිරිදි මියැන්මාර ජාතිකයන් වේ. දෙදෙනාම විවාහක අතර, ඔවුන්ට දරුවන් ද සිටියි. ඔවුන් අතරින් වා ලෝන්ගේ බිරිඳ ඔවුන් බන්ධනාගාර ගතකර සිටින අතරවාරයේ මීළඟ දරුවා ද බිහිකර තිබිණි.
නඩු විභාගයේදී ඔවුන්ට දඬුවම් කරනු ලැබුවේ රහස්‍යතා නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි. මේ සම්බන්ධයෙන් තමන් අහිංසක බවත්, එය පොලිසිය විසින් සිදුකරනු ලබන ව්‍යාජ චෝදනාවක් බවත් ඔවුහු කියා සිටියහ. ‘‘මම බය නැහැ. මම කිසිම වැරැද්දක් කළේ නැහැ. මම යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස විශ්වාස කරනවා“ යැයි වා ලෝන් නඩු විභාගයේදී කියාසිටියේය. නඩු තීන්දුව කියවන අවස්ථාවේදී ක්යාව් සෝ ගේ බිරිඳ මහ හඬින් වැළපෙන ආකාරය ද දැකගත හැකි විය.
යැන්ගුන් අධිකරණයේ විනිසුරු යේ ල්වින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, රාජ්‍යයේ අභිලාෂයන්ට හානි කරමින් ඔවුන් විසින් රහස්‍යතා නීතිය උල්ලංඝනය කළ බව ය. එම විනිසුරුවරයා අසනීප තත්වයෙන් පසුවන බැවින් මීට පෙර එක් වතාවක නඩුව කල්දැමීම ද සිදුවී තිබිණි.
මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සැබවින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ උතුරුදිග රඛීන් ප්‍රාන්තයේ ඉන්ඩින් ගම්මානයේදී මියැන්මාර හමුදාව විසින් රොහින්ගියා පිරිමින් 10 දෙනෙකු පෙළ ගස්වා මරාදැමීම සම්බන්ධයෙන් සාක්ෂි එකතු කරමින් සිටියදී ය.
පසුව දැඩි ජාත්‍යන්තර පීඩනය හමුවේ මියැන්මාර බලධාරීන් ද මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වූ අතර, එම සංහාරය සැබවින්ම සිදුවූ බව ඒ අනුව සනාථ විය. එසේම එහි වරදකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද මියැන්මාර බලධාරීන් කියා තිබේ. මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට සිර දඬුවම් නියම වූයේ එවැනි තත්වයක් පැවතියදී ය.
මෙම නඩු තීන්දුව සැලකෙන්නේ මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් වශයෙනි. එසේම මියැන්මාර ප්‍රජාතන්ත්‍රවාදයේ පසුගාමී බව තවදුරටත් සලකුණු කිරීමක් වශයෙන් ද මෙය සැලකේ. ‘බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව‘ වශයෙන් එකල නම් දැරූ අවුන් සාන් සුකී නිදහස් මැතිවරණයෙන් බලයට පැමිණ වසර 3කට පසුවත් මියැන්මාරයේ තත්වය මෙය වීම ශෝචනීය බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති. ලොව පුරා මියැන්මාරය වෙනුවෙන් පත් කර තිබෙන තානාපතිවරු ද මෙම නඩුතීන්දුව කෙරෙහි සිය බලවත් විරෝධය පළ කරමින් සිටිති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ නේවාසික සම්බන්ධීකාරක ක්නුට් ඔස්ට්බි පැවසුවේ, ‘‘මෙම මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කර දෙන මෙන් තමන් විසින් දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බවයි. ‘‘නිදහස් මාධ්‍ය සාමය, යුක්තිය හා මානව හිමිකම් සඳහා අත්‍යාවශ්‍ය අංගයකි‘‘ යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.
මියැන්මාරයේ රඛීන් ප්‍රාන්තය තුළට තවමත් මාධ්‍ය වලට යාමට ඉඩක් නැත. එනිසා එම පළාත තුළ සිදුවන්නේ කුමක්ද යන්න බාහිර ලෝකය වෙත මේ වන විට සන්නිවේදනය නොවන තරම් ය.