×

දෙපිටකාට්ටු ඔත්තුකාරයා – ස්ටාලින්ගේ ජේම්ස් බොන්ඩ්

ජර්මානු පියෙකුට සහ සෝවියට් මවකට දාව උපන් මේ මිනිසා දෙවන ලෝක යුද්ධයේදී කළ අපූර්වතම දෙය නම්, ජර්මනියට එරෙහිව සෝවියට් දේශයට ඔත්තු සැපයීමයි.


ලෝක යුද්ධවලදී රිචඞ් සෝර්ජ් කළ කාර්යභාරය සමාන කළ හැක්කේ සාමාන්‍ය ඔත්තුකරුවන් දස දෙනෙකු කළ රාජකාරිවල එකතුවට ය.

යම් හෙයකින් ජෝසප් ස්ටාලින් ඔහු කී දෙය ගණන් ගත්තේ නම්, ජර්මනියට කිසිදා සෝවියට් සංගමය ආක‍්‍රමණය කිරීමට හැකි වන්නේ නැත.

දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් බුද්ධි අංශය වෙනුවෙන් ඔත්තු බැලූ ඔහු, පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් කළේය. දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර ගැනීමෙන් අනතුරුව ඔහුගේ සිත ඇදී ගියේ සමාජවාදය දෙසට ය. ඔහු ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයට බැඳුණේය. 1930 දශකයේදී ජපානයට ගිය පසු ඔහු මාධ්‍යවේදියෙක් ලෙස පෙනී සිටියේය. දෙවන ලෝක යුද්ධයේදී ජපානය, ජර්මනියේ මිතුරෙක් වූ නිසා ජර්මානු ජාතිකයෙක් වශයෙන් ඔහුට අති දැවැන්ත වරප‍්‍රසාද ප‍්‍රමාණයක් හිමිවිය. ජර්මානුවන් ඔහුට ලබාදී තිබූ කේත නාමය වූයේ ‘රැම්සේ’ ය.

Richard Sorge

නූතන අසර්බයිජානයට අයත් බාකු ප‍්‍රදේශයේ දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස රිචඞ් සෝර්ජ් උපන්නේය. කාල් මාක්ස්ගේද ෆෙඞ්රික් එංගල්ස්ගේ ද සමකාලීනයෙකු වූ ෆෙඞ්රික් ඇඩොල්ෆ් සෝර්ජඞ් ඔහුගේ මාමා කෙනෙකි. ඔහුගේ පියා වූ ජර්මන් ජාතික විල්හෙලම්, කොකේසියානු තෙල් සමාගමේ ඉංජිනේරුවෙකි. ඔහු විවාපත් ව සිටියේ රුසියානු රූමතියක වූ නීනා සෙමියොනොව්නා සමග ය. එහෙත් වසර කිහිපක ඇවෑමෙන් පියාගේ තෙල් සමාගම් කොන්ත‍්‍රාත්තුව අවසන් වූයෙන්, ඔවුන්ට නැවත ජර්මනියට යාමට සිදුවිය.

පළමු ලෝක යුද්ධ සමයේදී ශිෂ්‍ය බලකායට බැඳුණු රිචඞ් බටහිර යුධ පෙරමුණේදී දරුණු තුවාළ ලැබුවේය. ඇ`ගිලි තුනක් අහිමි වීමට අමතරව ඔහුගේ දෙපයම බිඳී ගියේය. ජීවිත කාලය පුරාම පැවති නොන්ඩියක් සමග ඔහු යුධ පෙරමුණෙන් මුදා හරිනු ලැබුවේ උසස් වීමක් සහ නිර්භීත බව සඳහා පිදෙන ‘අයෝමය කුරුසිය’ පදක්කම ද සමග ය. කෙසේ වෙතත්, සමාජවාදී අදහස් ද සමග වැඩි කලක් ජර්මනියේ රැුඳී සිටීමට ඔහු සමත් වූයේ නැත. විනෝදාංශයක් වශයෙන් කළ ගුරු වෘත්තියත් ගල්අගුරු ආකර කැණීමත් යන දෙකම මේ නිසා අහිමි වූ විට ඔහු තීරණය කළේ නැවතත් කොකේසස් කඳුකරයටම පළා යන්නට ය. අනතුරුව මොස්කව් බලා ගිය හෙතෙම, එහි කණිෂ්ට බුද්ධි අංශ නිලධාරියෙක් බවට පත්විය.

අනතුරුව පැවති කාලය ගෙවී ගියේ යුරෝපියානු රටවල අනාගතයේදී කොමියුනිස්ට් විප්ලව ඇතිවීමට තිබෙන ඉඩකඩ ගැන සොයාබලන්නට ය. ඒ අනුව මාධ්‍යවේදියෙකු ලෙස බර්ලින් හා ෆ‍්‍රැන්ක්ෆර්ට් නගරවල කලින් කලට ජීවත් වීමට ද ඔහුට හැකි විය. බි‍්‍රතාන්‍යයේ දී ඔහුට සොයාබැලීමට නියම වූයේ එහි කම්කරු ව්‍යාපාරය සහ අනාගත කොමියුනිස්ට් නැගී සිටීමකට තිබෙන හැකියාව ගැන ය. 1924 වන විට සිය බිරිඳ කි‍්‍රස්ටිනා ද සමග නැවත ඔහු මොස්කව් නුවර බලා ගියේ රතු හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු වීමේ බලාපොරොත්තුවෙනි. එයින් වසර 5 කට පසු නැවත බර්ලින් නුවර බලා ගිය විට ඔහුට උපදෙස් ලැබී තිබුණේ කිසිදු වාමාංශික ව්‍යාපාරයක් පිළිබඳ උනන්දු නොවී නාසි පක්ෂයේ සාමාජිකයෙකු බවට පත්වන ලෙස ය.

අනන්‍යතාවය සැගවීම සඳහා ඔහුට ජර්මානු පුවත්පතක කර්තෘ ධුරයක් ද පිරිනැමුණි.

අනතුරුව 1930 දී ඔහු චීනයේ ෂැංහයි බලා ගියේ ජර්මානු පුවත් සේවාවක කතුවරයා ලෙස  ය. තවත් ප‍්‍රකට ජර්මානු සෝවියට් රහස් ඔත්තුකාරියක වන උර්සුලා ද ඔහුට එහිදී මුණගැසිණි. රිචඞ් ට සිය ජපන් පේ‍්‍රමිය වූ හනාකෝ ඉෂී මුණගැසුණේ ද එම ගමනේදී ය. කෙටි කලක් ඇතුළත චීන ගෘහ නිර්මාණශිල්පය පිළිබඳ හසළ දැනුමක් ඇති කර ගැනීමට ද චීන කොමියුනිස්ට් පක්ෂය සමග සබඳතා ඇතිකර ගැනීමටද ඔහු සමත් විය. ෂැංහයි හි වීදිවල චීන හා ජපන් භටඛණ්ඩ ගැටුම් ඇති කරගන්නා බව මොස්කව් වෙත  දැනුම්දීමෙන් අනතුරුව ඔහු ව වහාම සිය රට කැඳවිණි. මොස්කව් බලා ගිය ඔහු චීන කෘෂිකර්මය ගැන පොතක් ලීවේය. තවද යෙකතෙරිනා මැක්සිමෝවා නොහොත් ‘කත්යා’ නමැති චීනයේදී මුණගැසුණු රුසියානු කාන්තාව සමග විවාපත් විය.

ජපානය පිළිබඳ ඉතා වැදගත් ඔත්තු සැපයීමට රිචඞ් රැම්සේ සෝර්ජ් හට හැකිවූ බව පෙනේ. ඔහු සෝවියට් කොමදෝරුවන්ට කියා සිටියේ නුදුරු අනාගතයේදී සෝවියට් සංගමය ආක‍්‍රමණය කිරීමට ජපානය සතුව අදහසක් නැති බවයි. යුධ ටැංකි 1700 ක් සහ ගුවන්යානා 1500 ක් ඈත පෙරදිගින් හා සයිබීරියාවෙන් ඉවත් කර ගෙන වඩා තීරණාත්මක මර්මස්ථානවල රැකවල් තරකිරීම සඳහා ඒවා යොදාගැනීමට සෝවියට් සංගමයට හැකි වූයේ මේ ඔත්තුව නිසාය.

මේ අතර 1941 වසරේදී ඔහුට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබුණේ ‘ඔපරේෂන් බාබරෝසා’’ යනුවෙන් සඳහන් හමුදා මෙහෙයුම මගින් ඇඩොල්ෆ් හිට්ලර්, සෝවියට් සමූහාණ්ඩුව ආක‍්‍රමණය කිරීමට සූදානම් වන බව ය. නමුත් කිසියම් අවාසනාවකට සෝවියට් නායක ජෝසප් ස්ටාලින් මේ ඔත්තුව ගණන් ගත්තේ නැත. මේ අතර කිසියම් මාර්ගයකින් ජර්මනියේ හිතමිතුරු ජපානයට, රිචඞ් සෝර්ජ් ගේ දෙපිටකාට්ටුකම ගැන ඉව වැටුණේය. සති කිහිපයක් ඇතුළත ජපන් බුද්ධි අංශ සාමාජිකයන් අතට ඔහු පත් විය.

අවසානයේ 1944 නොවැම්බර් 7 වැනිදා ඔහු ව මරා දැමිණි. ඒ වන විට ඔහුගේ වයස අවුුරුදු 49 ක් පමණක් විය.

සෝවියට් සමූහාණ්ඩුව කිසිදා ඔහු ගේ වීරකම අමතක කළේ නැත. ඔවුහු 1964 වසරේදී ඔහුට ‘සෝවියට් සංගම් වීරයා’ පදක්කම පිරිනැමූහ. ලෙනින් පදක්කම ද ඔහුට හිමිවිය. මේ අතර ජපානය ද කිසිදා ඔහුගේ ද්‍රෝහිකම අමතක කළේ නැත. ‘ස්පයි සෝර්ජ්’ නමින් ජපානය 2003 වසරේදී චිත‍්‍රපටයක් නිර්මාණය කළේය. ලෝකය අද  ඔහු ව හඳුන්වන්නේ ‘ස්ටාලින්ගේ ජේම්ස් බොන්ඞ්’ යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි