×

ජපානයෙන් ග්‍රාහකයක් මතට රොබෝවක්

ජපානය මිනිසුන් රහිත යානාවක්, නිවැරදිවම කියන්නේ නම් රොබෝවක් ග්‍රාහකයක් මතට ගොඩ බැස්සවීමට සැලසුම් කරයි.


ලබන මාසයේ මෙම ගොඩබැස්සවීම සිදුකිරීමට නියමිතව තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 300 ක් ඈතින් පිහිටා තිබෙන රයිගු (Ryugu) නමැති ඇස්ටරොයිඩය මතට ය. එය දියමන්ති හැඩයේ ග්‍රාහකයකි. මෙම රොබෝමය අභ්‍යවකාශ යානාවේ නම ‘හයිබුසා -2“ (Hayabusa-2) ය.

ජපන් අභ්‍යවකාශ ඒජන්සිය විසින් එය අභ්‍යවකාශ ගත කළේ මෙයට වසර තුනහමාරකට පෙර ය.

සැප්තැම්බර් 21 වැනිදා ඇස්ටරොයිඩය මතට එය ගොඩබෑමට නියමිතව තිබෙන්නේ නියැදි එක්රැස් කිරීම සහ පර්යේෂණ සිදුකිරීම සඳහා ය. අනතුරුව පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන කුඩා ආවාටයක් එය මත ඇති කිරීමෙන් පසුව ග්‍රාහකයේ කබොලට යටින් පිහිටි පාෂාණ සංයුතිය එය විසින් අධ්‍යයනය කරනු ඇත.

ජපන් අජටාකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) ප්‍රකාශ කරන්නේ මෙම උත්සාහය සාර්ථක වුවහොත්, එය ‘ සී හැඩයේ ඇස්ටරොයිඩයකින් (C-type asteroid) නියැදි එක් රැස් කරගන්නා ලෝකයේ ප්‍රථම වතාව බවට පත්වනු ඇති බවයි.

C-type asteroid යනු, ඇස්ටරොයිඩවල සුලබතම ආකාරයයි. මේවා ප්‍රධාන වශයෙන් කාබන්වලින් සුසැදී ඇත. ඇස්ටරොයිඩවල සෙසු ආකාර දෙක වන්නේ ලෝහමය S සහ M ආකාරයේ ඇස්ටරොයිඩයන් ය.

ජැක්සා විසින් ගොඩබෑමට සැලසුම් කර තිබෙන මෙම ඇස්ටරොයිඩය මීටර 900 ක් පමණ පළල පාෂාණයකි. මෙම ඉලක්කය කොතරම් සියුම් ද යන්න ජපන් අජටාකාශ විද්‍යාඥයන් පැහැදිලි කර දෙන්නේ මේ අන්දමිනි. ‘‘මෙය හරියට, කිලෝමීටර 20000 ක දුර ඉඳන් සෙන්ටිමීටර 6 ක විශ්කම්භයක් ඇති වස්තුවකට ඉලක්කය ගන්නවා වගේ වැඩක්!“

සිය මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව හයිබුසා 2 යානය නැවත පෘථිවිය බලා ළඟා වන්නේ වසර 2020 දී ය. මේ අතර නාසා ආයතනය විසින් ද මෙවැනිම මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එම යානාව පෘථිවිය බලා ඒමට නියමිත ව තිබෙන්නේ වසර 2023 දී ය.

හයිබුසා 2 මෙහෙයුම, ජපානය මේ වන විට ඇමරිකාවේ නාසා ආයතනය සමග අභ්‍යවකාශ තරණයේ තියුණු තරගයක යෙදී සිටින බව පැහැදිලිවම පෙන්වා දෙන්නකි.

පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම ගැන ලෝකය මෙතෙක් නොදත් රහස් රැසක්, ඇස්ටරොයිඩ තුළ සැඟවී ඇතැයි මිනිසා විශ්වාස කරයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි