මෙවර G20 සමුළුව මෙහෙයවන්නේ ඉන්දුනීසියාව විසින් වන අතර, එළඹෙන සිකුරාදා දින දක්වා එරට බාලි දූපතේ තානායමක මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර G20 සමුළුවේ දැඩි අවධානයක් යොමුකරනුයේ ගෝලීය වශයෙන් මතුව ඇති ආහාර අර්බුදය වැනි භූදේශපාලනික කරුණු සහ ඊට රුසියානු – යුක්රේන යුද්ධය සිදුකරන බලපෑම පිළිබඳවයි.
බාලි දූපතේ නූසා ඩුවා යන ප්‍රදේශයේ මෙම සමුළුව පැවැත්වෙන අතර, ඊට දැඩි ආරක්ෂක මුරකාවල් ද යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව මෙම සමුළුවට සහභාගී වීමට පෙර පටන්ම ජර්මනියේ විදේශ අමාත්‍ය ඇනාලෙනා බර්බොක් පවසා සිටියේ G20 සමුළුවට සහභාගී වීමට රුසියාවට ඉඩ ලබා නොදිය යුතු බවයි. ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සහ ඊට අනුකූලව කටයුතු කිරීම මෙවර සමුළුවේ පොදු සාධකය බැවින් රුසියාවට G20 සමුළුවට සහභාගී වීමට රුසියාවට ඉඩ ලබා නොදිය යුතු බවයි ජර්මානු විදේශ අමාත්‍යවරිය අවධාරණය කරන්නේ.
මෙවර G20 සමුළුවට සහභාගී වන නියෝජිතයන් පිරිසෙන් බහුතරයක් රුසියාවේ ක්‍රියාමාර්ග සෘජුවේ විවේචනය කරන අය වන අතර, ඔවුන් මේ රුසියාවේ විදේශ අමාත්‍යවරයා සමඟ මුහුණට මුහුණ වාඩි වී කතා කරන්නේ පළමු වරටයි.
ජර්මානු විදේශ අමාත්‍ය බර්බොක් ට අමතරව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වන ඇන්ටනි බ්ලින්කන් ද රුසියානු විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
G20 සාමාජික රටවල් අතර බටහිර රටවල් සියල්ලම පාහේ රුසියාවට විරුද්ධව කටයුතු කරන අතර, චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි අනෙකුත් සාමාජික රටවල් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.