×

රුසියාව බල්ලන්ට – පූසන්ටත් වැක්සිනය දීම අරඹයි

රුසියාව කොරෝනා වෛරසයට එරෙහිව සතුන් එන්නත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.


මාර්තු මාසයේදී මුලින්ම හෙළිකර ආකාරයට මෙය, ලෝකයේ සතුන් ඉලක්කකරගෙන සිදුකරන පළමු එන්නත්කරණ වැඩපිළිවෙළයි.

මේ සතියේ රුසියාවේ පළාත් ගණනාවකම සත්ව සායනවලදී මෙම එන්නත්කරණය ආරම්භ විය. ඉබාගාතේ යන සතුන් සඳහා ද මෙම එන්නත ලබාදීමට රුසියාව නිර්දේශ කර ඇත.

මිනිසුන් සඳහා ‘ස්පුට්නික්‘ එන්නත නිපදවූ රුසියාව, සතුන් සඳහා නිපදවා ඇත්තේ ‘කර්නිවැක්‘ එන්නතයි. මෙය Carnivak-Cov යන නිල නාමයෙන් හැඳින්වේ.

බල්ලන්, බළලුන්, වානර ගණයේ සතුන් සහ මින්ක් සතුන්ට කෝවිඩ් ආසාදනය විය හැකි බවට යම් සාක්ෂි මේ වන විට ලැබී තිබුණත්, එම සතුන්ගෙන් මිනිසුන් ට රෝගය සම්ප්‍රේෂණය වන බව ලෝකයේ කිසිදු ස්ථානයක තවම නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර නැත.

නමුත් කර්නිවැක් එන්නත ලබාදෙන්නේ පෙර සූදානමක් වශයෙන් බව රුසියාව පවසයි. ඩෙන්මාර්කයේ මින්ක් සතුන් මිලියන ගණනක් මරා දැමීමේ සිද්ධිය ද කර්නිවැක් එන්නත නිපදවීම සඳහා පෙළඹීමක් කර ඇති බව කියැවේ.

කර්නිවැක් එන්නත ලබාදීමෙන් මාස 6 ක කාලයකට පසුව ප්‍රතිශක්තිය ඇති වන බව ද රුසියාව කියයි.

තවද මෙම එන්නත සඳහා යුරෝපා සංගමය, ආර්ජන්ටිනාව, දකුණු කොරියාව සහ ජපානයෙන් දැඩි උනන්දුවක් පළ වී ඇති බවට ද වාර්තා වේ.

මේ අතර ඇමරිකාවේ ඖෂධ සමාගමක් වන Zoetis මගින් ද මෙයට සමාන, සතුන්ට ලබාදෙන කෝවිඩ් එන්නතක් නිපදවා ඇති බවට ද වාර්තා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි