×

දකුණු අප්‍රිකානු ජනාධිපති රාමාෆෝසා දිව්රුම් දෙයි!

සැමට "බලාපොරොත්තුව හා නවීකරණයක්" ලබා දෙන මැයෙන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමාෆෝසා පිටෝරියා අගනුවරදී තම ධූරයේ දිව්රුම් දුන්නේය.


දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමාෆෝසා පිටෝරියා අගනුවරදී තම ධූරයේ දිව්රුම් දුන්නේය.

සැමට “බලාපොරොත්තුව හා නවීකරණයක්” ලබා දෙන මැයෙන් දිව්රුම් දුන් දකුණු අප්‍රිකානු ජනාධිපති රාමාෆෝසා පසුගිය දකුණු අප්‍රිකානු ජනාධිපතිවරණයෙන් 57.5% ක ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළේය. ඔහු නියෝජනය කළ අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂය (ANC) රට තුළ බලයට පැමිණ වසර 25 කාලයක් මේ වන විට ගතවී ඇති අතර, මෙම ප්‍රතිශතය එම පක්ෂය ඉතිහාසයේ වාර්තා කළ කුඩාම ප්‍රතිශතය බවට සඳහන් වේ.

දකුණු අප්‍රිකාවේ පිටෝරියා අගනුවරදී තම ධූරයේ දිව්රුම් දුන් ජනාධිපති රාමාෆෝසා පවසා සිටියේ තම රටවැසියන්ට බලාපොරොත්තුව හා නවීකරණයක් ලබා දෙන බවත්, දූෂණය මැඬපවත්වන බවත්, කඩාහැලෙන ආර්ථිකය යලි ගොඩ නංවන බවත්ය.  

2018 වර්ෂයේ පෙබරවාරි මස වන තුරු දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ජේකොබ් සූමා දූෂණ හා අක්‍රමිකතා වලට චෝදනා ලැබූවකු වන අතර, රාමාෆෝසා තනතුරට පත්වන්නේ ඔහුගෙන් පසුවය. 1994 වර්ෂයේ වර්ණභේදය අවසාන වීමත් සමඟ රාමාෆෝසා එරට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයනකින් තේරී පත්වන පස්වන ජනාධිපති වේ.

“අද දින අප වන් කුඩා ජාතියකට විශේෂ අවස්ථාවකි, තම මූලික අවශ්‍යතා ලබාගත නොහැකිව දුක් විඳින කිසිවකුත් මින් මතුවට මේ පොළවේ නොසිටිනු ඇත,” රාමාෆෝසා පිටෝරියා අගනුවර 32,000 ක් පමණ වූ ජනකායක් එක්රැස් වී සිටි රග්බි ක්‍රීඩාංගනය අමතමින් පවසා සිටියේය.

රටවල් 40 කට අධික රාජ්‍ය නායකයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර, නව ජනාධිපති රාමාෆෝසා තම දේශයේ විමුක්තිය ඇතිකරලීම සඳහා ඔවුන් ලබාදුන් අප්‍රතිහත දායකත්වය ඇගයීමට ලක්කළේය.

වසර 25 කට පෙර එරට පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනපති වූ නෙල්සන් මැන්ඩෙලා ද අනුස්මරණය කරමින් රාමාෆෝසා පවසා සිටියේ, ඒ සිට මේ දක්වා කාලය තුළදී දේශය මුහුණපෑ හිඟ තත්ත්වය පිළිබඳ ඉතා හොඳ වැටහීමක් රටට පවතින බවයි.  

“මෙරට බොහෝ දෙනෙකු තවමත් නිදාගන්නේ කුසගින්නේ, ප්‍රතිකාර කළ හැකි රෝග වලට පවා ගොදුරු වනවා.. දරාගත නොහැකි මට්ටමේ ජීවිත ප්‍රවෘත්තියක් ගත කරන්නේ.. ” එතුමා පිළිගත්තේය. දකුණු අප්‍රිකාවේ 27% පමණ ප්‍රතිශතයක් වූ තරුණ රැකියා වියුක්තිය අමතමින් රාමාෆෝසා ප්‍රකාශ කර සිටියේ බහුතරයක් පුද්ගලයින්, විශේෂයෙන් තරුණ ප්‍රජාව, රැකියා වල නිරත නොවන බවයි.  

මෙරට පවතින ගැටළු “සැබෑ” මුත් “නොවිසඳිය හැකි” ගැටළු නොවන බවට රාමාෆෝසා තම කතාවේදී අවධාරණය කළේය.

ඉදිරි දින කිහිපය තුළ නව ජනාධිපති රාමාෆෝසාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පත්වනු ඇති බවට වාර්තා වේ. දැනටමත් කල්ලි ගැසීමේ උවදුරට මුහුණ දුන් ANC පක්ෂය තුළ කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීම ඔහුට අභියෝගාත්මක වනු ඇති බවට විද්වත්හු පෙන්වා දෙති.

මීට අමතරව, රාමාෆෝසාගේ දිව්රුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති සූමා සහභාගී නොවූ බවද වාර්තා වේ. දූෂණ චෝදනා සම්බන්ධව පසුගිය සිකුරාදා දින පීටර්මරිට්ස්බර්ග් නගරයේ අධිකරණය හමුවේ සූමා පෙනි සිටි බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි