×

බස් රියැදුරාගේ ලේකම් පුතා – සජීඩ් ජාවිඩ් අමිහිරි මතකය අවදි කරයි.

‘‘ආසියාතිකයෙකු වීම නිසා මට පාසලේදී හිරිහැර කළා..“ - සජීඩ් ජාවිඩ්


තමන්ට වයස අවුරුදු 11 දී ආසියාතිකයෙකු වීම නිසා පාසලේදී පහර කෑමට ලක් වූ බව එක්සත් රාජධානියේ අභ්‍යන්තර කටයුතු ලේකම් සජීඩ් ජාවිඩ් හෙළි කළේය.

ඒ මතකයන් තවමත් තමන්ගේ සිතේ වේදනාකාරී ලෙස දෝංකාර දෙන බව ද ඔහු පැවසුවේය.

PA

PA

වර්ගවාදී හිංසනයට එරෙහිව ඔහු සිය අත්දැකීම් මෙසේ බෙදාගත්තේ, පසුගිය සතියේ මහත් ආන්දෝලනයට තුඩු දුන්, 15 හැවිරිදි සිරියානු දරුවෙකු බටහිර යෝර්ක්ෂයරයේදී පහර කන අන්දම ඇතුළත් වීඩියෝ පටයක් නිකුත් වීමත් සමග ය.

එංගලන්තයේදී එසේ පහර කෑමට ලක්වී සිටියේ සිරියානු සරණාගත දරුවෙකි. පුවත්පත් වාර්තාවලට අනුව ඔහුගේ නම ජමාල් ය. එම වීඩියෝවේ පැහැදිලිව දැක්වෙන අන්දමට ඔහුව බිම හොවා, ඔහුගේ මුහුණට ජලය වත් කිරීම සිදුකරනු ලබයි. මෙම වීඩියෝව මේ වන විට සමාජ ජාලවල වේගයෙන් සංසරණය වේ. එය ඔක්තෝබර් 25 වැනිදා හඩර්ස්ෆීල්ඩ් හි ප්‍රජා පාසලක දිවා ආහාර විවේකයේදී රූගත කරන ලද්දකි. මේ වන විට ඒ කෙරෙහි එක්සත් රාජධානි අගමැතිනී තෙරේසා මේ සහ විපක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ද අවධානය යොමු වී තිබේ.

Video shows "assault" on boy at Huddersfield school

Video shows “assault” on boy at Huddersfield school

‘‘ඒ දරුවාට එය දැනෙන ආකාරය මට සිතාගන්නට පුළුවන්‘‘ යැයි ජාවිඩ් බීබීසී රේඩියෝ 4 සේවයට එක් වෙමින් පැවසීය.

ඩච් බැංකුවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන කොන්සවේටිව් පක්ෂ දේශපාලනඥ සජීඩ් ජාවිඩ් ඉපදී තිබෙන්නේ එක්සත් රාජධානියේ වුවද, ඔහුගේ දෙමාපියන් පාකිස්ථාන ජාතිකයන් ය. ඔහුගේ පියා පාකිස්ථානයේ බස් රියැදුරෙකි. බස් ඩ්‍රයිවර් කෙනෙකුගේ පුතෙකු වශයෙන් උපන් අයෙකුට එංගලන්තය වැනි ලිබරල් රටකදී අභ්‍යන්තර කටයුතු ලේකම් ධුරය දක්වා යා හැකි වුවද, බහුතර සමාජය තවමත් වර්ගවාදයෙන් ආතුර වී සිටින බවට සජීඩ් ජාවිඩ්ගේ කතාව හොඳ උදාහරණයකි.

‘‘අවුරුදු 40කට කලින් මා අත්දුටු වර්ගවාදී, ජාතිවාදී ප්‍රචණ්ඩත්වය තවමත් සමාජයේ තිබෙනවා..“ යැයි සජීඩ් ජාවිඩ් පවසයි. ‘‘ඒ වීඩියෝව දුටු විට වයස අවුරුදු 11 දී මා මුහුණ දුන් ඒ අමිහිරි අත්දැකීම මගේ සිහියට නැගුණා. ඒ දරුවාට එය කෙසේ දැනෙන්නට ඇත්දැයි මට සිතුණා..“ යැයි ඔහු පැවසීය. ‘‘මට මේ සිදුවීම දුටුවිට මුලින්ම සිතට නැගුණු හැඟීම වුණේ – ‘‘මගේ රටේ තවමත් මෙහෙම දේවල් සිද්ධ වෙන්නෙ කොහොමද‘ කියන එකයි“ යැයි ද ඔහු පවසයි.

මේ වන විට එම සිරියානු දරුවා වෙනුවෙන් අන්තර්ජාලය හරහා පවුම් 50,000 ක අරමුදලක් ද එක්රැස්ව තිබේ. එම 15 හැවිරිදි සිරියානු සරණාගතයාට පහර දුන් 16 හැවිරිදි දරුවා මේ වන විට නීතිය ඉදිරියට පමුණුවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි