×

ජමාල් ඝාතනයෙන් පසු සෞදි ආණ්ඩුවේ පුටු මාරුවක්

සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි අමානුෂික ලෙස ඝාතනය වීමත් සමග ඇති වූ අන්තර්ජාතික පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබියේ සල්මන් රජු විසින් ආණ්ඩුවේ වැදගත් නිලයන් කිහිපයක් වෙනස් කර ඇත්තේ විශේෂ නියෝගයක් නිකුත් කිරීම මගිනි.


මේ අනුව විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ වැදගත් ආරක්ෂක සහ දේශපාලන චරිත ගණනාවක් එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

නමුත් නව විදේශ ඇමතිවරයා ලෙස පත්කර තිබෙන්නේ, දූෂණ චෝදනා හේතුවන් පසුගිය වසරේදී රඳවා තබා තිබූ හිටපු මුදල් අමාත්‍යවරයා වන ඉබ්‍රාහිම් අල්-අසාෆ් ය. ඔහු ජමාල් ඝාතන චෝදනා සම්බන්ධයෙන් සෞදියේ හොඳ නම ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තර බලවේග සමග ගැටුණු අයෙකි.

මෙම විසුරුවා හැරීම් සහ තෝරාපත් කිරීම් සිදුකර ඇත්තේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී බව ද කියැවේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව, තොරතුරු හා අධ්‍යාපනය යන අමාත්‍යාංශවලට මෙන්ම අජටාකාශ ඒන්සියට ද නව ප්‍රධානීන් පත් කර ඇත. ආර්ථිකය සම්බන්ධ අමාත්‍යාංශවල පමණක් කිසිදු වෙනසක් සිදුකර නැත.

අජටාකාශ ඒජන්සියේ නව ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන්නේ සල්මන් රජුගේ පුතෙකු මෙන්ම අජටාකාශගාමියෙකු ද වන අබ්දුල්ලා බින් බන්දාර් කුමරු ය.

රාජ්‍ය හිතැති රොටානා පුවත් සේවයේ ප්‍රධානියා එම තනතුරින් ඉවත් කර, ඔහුට රාජකීය අධිකරණයේ උපදේශක තනතුරක් පිරිනමා ඇත.

එසේම, ජමාල් ඛෂෝගි ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකුණු ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් ගේ තත්වයේ කිසිදු වෙනසක් සිදුනොකිරීමට ද සල්මන් රජු වගබලාගෙන ඇත. රාජධානිය ඉතිහාසයේ නරකම අර්බුදයට ඇද දැමූ බින් සල්මාන් කුමරු, ඔක්තෝබර් මස පටන් දැඩි අන්තර්ජාතික සුපරික්ෂාවකට ලක් වේ. නමුත් නව තනතුරුවලට රජ අණින් පත් වී සිටින්නේ ඔහුගේ හිතෛෂීන් බැවින්, සල්මන් කුමරුගේ බලය තවදුරටත් ඉහළ යනු ඇති බවට ද මතයක් ඇත. දැනටමත් සෞදි රාජධානියේ නිල නොලත් (ඩි ෆැක්ටෝ) පාලකයා ලෙස සැලකෙන්නේ සල්මන් කුමරු ය.

මේ නිසා සෞදි පාලන තන්ත්‍රය තුළ සිදුවූ නව වෙනස්කම්, හුදෙක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වන පීඩනය සමනය කර ගැනීමට යෙදූ උපක්‍රමයක් බව ද විචාරකයෝ පෙන්වා දෙති.

ප්‍රධාන ඡායාරූපය: Asia Times

පෙර ලිපි සියල්ල මෙතැනින් කියවන්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි