ඔහු වඩාත් ප්‍රකට වූයේ 2008 වසරේ ඇමරිකානු ජනපතිවරණයේ බැරැක් ඔබාමා ගේ ප්‍රතිවාදියා වූ හෙයිනි. ඇමරිකානු සෙනෙට් මණ්ඩල ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු වූ ජෝන් මැකේන් නොබියව ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට අභියෝග කළ ප්‍රධාන පෙළේ රිපබ්ලිකන් සාමාජිකයෙකි. පසුගියදා පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවති සමුළුවේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති පුටින් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගිලන් සයනයේ සිටිය ද ඔහුගේ දැඩි විවේචනයට ලක් විය. ඒ සම්බන්ධයෙන් ඔහු ට්වීට් කර තිබුණේ, ‘‘ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඉතිහාසයේ දැක්වූ කැතම හැසිරීම්වලින් එකක්“ ( “One of the most disgraceful performances by an American president in memory,”) යනුවෙනි.
මිය යන විට වයස අවුරුදු 81ක් වූ ඔහුගේ මරණයට හේතු වී තිබුණේ මොළෙයේ පිළිකාවකි.
John McCain| Boston Herald
ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ සාමාජිකයෙක් වන්නට පෙර ජෝන් මැකේන් ඇමරිකානු නාවික හමුදාවට වසර1954 සිට 1981 දක්වා සේවය කළේය. එහිදී බෝම්බ ප්‍රහාරක යානාවක නියමුවෙකු වූ ඔහු, වියට්නාම් යුධ සිරකරුවෙකු බවටද පත්විය. එය සිදුවී තිබුණේ වියට්නාම් යුධ සමයේ ඔහු පැදවූ ගුවන් යානාවට උතුරු දිග වියට්නාම් ගරිල්ලන් විසින් වෙඩි තැබීමෙන් පසු, බිමට කඩාගෙන වැටෙන ගුවන් යානාවෙන් ඔහු බිමට පැනීම හේතුවෙනි. හැනෝයි විල මතට ඔහු පතිතව තිබුණේ අත් දෙකම සහ දකුණු දණහිස බිඳී යමිනි. පුරා වසර 5 ක් වධහිංසා මැද වියට්නාම් යුද සිරකරුවෙකු බවට පත්ව සිටි ජෝන් මැකේන්, ඇමරිකාවේ ආරක්ෂාව සහ ත්‍රස්තවාදය පිළිබඳ මාතෘකාවේදී මහත් සැලකිල්ලෙන් යුතුව කටයුතු කළේය. තවද ඇමරිකාවේ ප්‍රබල ආයතනයක් වන සන්නද්ධ සේවා කමිටුවේ ද ඔහු සභාපතිවරයා විය.
ජෝන් මැකේන් සිය දියණිය සමග | gettyimages
ජෝන් මැකේන් හට මොළෙයේ පිළිකාවක් වැළඳී ඇති බව සොයාගැනුණේ 2017 ජූලි මාසයේදී ය. එතැන් පටන් ඇරිසෝනාහි සිය නිවසේ බිරිඳ සමග කල් ගත කළ ඔහු, මරණය අත ළඟ බව දැන දැනම රෝගයට මහත් දිරියෙන් මුහුණ දුන්නේය. දින දෙකකට පෙර ඔහු ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම නතර කර දැමුවේය.