×

වීදුරුවක් කුඩු වූ විට කුඩු නොවන වීදුරුවක් සොයාගත් බෙනඩික්ටස් – නිපැයුම් පුරාණය – 3

මෝටර් රථ අනතුරක දී වීදුරු දහස් ගණක් කැබලිවලට කැඩෙනවා. නමුත් ඒවා කුඩු වෙන්නේ නැහැ ඒ වෙනුවට ඒවා පුංචි වීදුරු කැට බවට පත් වෙනවා. මේ ක්‍රමය මගින්, එම වීදුරු නිසා සිදු වෙන්නට පුළුවන් අනතුර, අවදානම පහළ වැටෙනවා.


මේ විදිහට කැට බවට පත් වෙන වීදුරු හඳුන්වන්නේ මෝටර්රථ සඳහා යොදගන්නා ආරක්ෂිත වීදුරු කියලයි. එහෙම නොවුණා නම් මේ ලෝකයේ මෝටර් රථ අනතුරුවලින් කොයි තරම් නම් ලේ කඳක් ගලාගෙන යන්න ඉඩ තිබෙනවද? හදිසි අනතුරු නිසා සිදුවන ජීවිත හානි ගණනත් මීට වඩා ගොඩක්ම වැඩි වෙන්න ඉඩ තියෙනවා.

මේ නිසා වීදුරු එක්ක වැඩ කරන ලෝකය, ගොඩක් වෙලාවට ඒවා නිර්මාණය කරන්නේ ආරක්ෂිත වීදුරුවලින්. වින්ඩ්ස්ක්‍රීන්, පැති ජනේල ආදී බොහොමයක් නිෂ්පාදනවල අනුගමනය කරන්නේ මේ ක්‍රමයයි.

ආරක්ෂිත වීදුරු, එහෙමත් නැතිනම් සේෆ්ටි ග්ලාසස් හොයාගත්තේ ප්‍රංශ ජාතික එඩ්වඩ් බෙනඩික්ටස්. ඔහු රසායනාගාර විද්‍යාඥයෙක්. ඒ වගේම ඉතාම ප්‍රායෝගික මිනිසෙක්. ලේඛකයෙක්, චිත්‍ර ශිල්පියෙක් වගේම සංගීතඥයෙක්. කොහොම නමුත් මේ සොයාගැනීම, ඔහු තුන් හිතකින්වත් හොයලා, අවුරුදු ගණන් පර්යේෂණ කරලා සිදුකරපු සොයාගැනීමක් නෙවෙයි.

මේ නව නිපැයුමට මග පෑදෙන්නේ අහම්බෙන්.

ඒ 1903 වර්ෂය. දවසක් දා බෙනඩික්ටස් තමන්ගෙ විද්‍යාගාරයේ ඉණිමගක් දිගේ නැගලා, ඉහළ රාක්කයක තිබුණු රසායනික ද්‍රව්‍යයක් ගන්න උත්සාහ කළා. එක සැරේටම ඔහුට වීදුරු කුඩු වෙන සද්දයක් ඇහුණා. ඒත් ඒ සද්දයේ යම් අමුත්තක් තිබුණා.

බිම බැලුවාම ඔහු දැක්කේ, මේසය උඩ තිබුණු සෙලියුලෝස් නයිට්‍රේට් අඩංගු ප්ලාස්කුවක් බිම වැටිල බිඳිල ගිහින් තියෙන විදිහයි. ඒත් ඒ බිඳී ගිහින් තියෙන රටාවෙ යම් වෙනසක් තිබුණා. මේක ඔහු අතින් රසායනාගාරයෙදි වීදුරුවක් බිඳුණු පළවෙනි අවස්ථාව නෙවෙයි. ඒත් වෙනදා කුඩු වෙලා යන වීදුරුව වෙනුවට මෙදා සැරේ වීදුරුව කැට කැට වලට බිඳී ගිහින් තිබුණා.

තමන් මොකක් හරි විප්ලවීය සොයාගැනීමක් කළ බව බෙනඩික්ටස් දැනගත්තා. ඒත් ඒ මොකක්ද කියල ඔහු දැනගෙන හිටියෙ නෑ. නමුත් ඔහු හොඳ විද්‍යාඥයෙක් විදිහට යම් දෙයක් සැක කළා. ඒ තමයි, වීදුරුව අසාමාන්‍ය විදිහට බිඳී යාම සහ, ප්ලාස්කුව තුළ තිබුණු රසායනික ද්‍රාවණය අතර යම් සම්බන්ධයක් තිබෙන බව.

ප්ලාස්කුවේ තිබුණු රසායනික ද්‍රාවණය වුණේ සෙලියුලෝස් නයිට්‍රේට්. මේ සෙලියුලෝස් නයිට්‍රේට් වලින් වීදුරු අංශු එකිනෙක බැඳ තබන බවට ඔහු සැක කළා. ඒවා කුඩු බවට පත් නොවෙන්නේ ඒ නිසා විය යුතුයි.

මුලින්ම ඔහු මේ සොයාගැනීම මෝටර් රථවල කණ්නාඩි නිෂ්පාදනය සඳහා යොදාගත්තා. 1929 අවුරුද්දෙදි ෆෝඩ් සමාගම විසින් නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථවලට බෙනඩික්ටස්ගේ වීදුරු යොදාගන්නට තීරණය වුණා. ඊළඟට ගොඩනැගිලි වීදුරුවලටත්. එදා මේ සොයාගැනීමට කිව්වෙ ආරක්ෂිත වීදුරු, එහෙමත් නැතිනම් සේෆ්ටි ග්ලාස් කියල නෙවෙයි, ‘ට්‍රිප්ලෙක්ස්‘ Triplex කියලයි. shatter proof glass කියලත් මේකට කිව්වා.

පළවෙනි ලෝක යුද්ධයෙදි ට්‍රිප්ලෙක්ස්වලට හොඳ ඉල්ලුමක් ඇති වුණා. ඒවා හමුදා භටයන්ගෙ මුහුණු ආවරණ හදන්න යොදාගත්තා. ඒක වාණිජ මට්ටමෙන් කළ සාර්ථක අත්හදා බැලීමක්.

ක්‍රම ක්‍රමයෙන් ට්‍රිප්ලෙක්ස්වලට ලෝක වෙළඳපොළක් හැදුණා. අද වන විටත් ඒ වෙළඳපොළ පුළුල් වෙමින් තිබෙනවා.

නිපැයුම් පුරාණය පෙර ලිපි

චුයින්ගම් පුරාණේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි