×

ෂින්සෝ අබේ ඝාතනය: හිටපු ජපාන අගමැතිවරයාගේ ආරක්ෂාවේ දුබලතා තිබූ බව පොලීසිය පිළිගනී!

ඝාතනයට ලක්වූ හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වෙත යොදා තිබූ ආරක්ෂාවේ දුබලතා පැවති බව එරට පොලීසිය පිළිගෙන තිබේ.


නාරා නගරයේ පොලිස් සථානයේ ප්‍රධානී ටොමොඅකි ඔනිසුකා පවසන්නේ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත යොදවා තිබූ ආරක්ෂාවේ අඩුපාඩු තිබීම බැහැර කළ නොහැකි සත්‍යයක් බවයි.

ඉකුත් සිකුරාදා දින ෂින්සෝ අබේ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයාට දේශපාලන රැළියක් අතරතුරදී වෙඩි පහරක් එල්ල කළ අතර, ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙන්නේ තනි වෙඩිකරුවකු විසින් වන අතර, මීට අදාළ සැකකරු 41 හැවිරිදි ටෙට්සුයා යමගාමි නම් තැනැත්තෙකි.

තමා විසින් නිවසේදී ම තනන ලද ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ටෙට්සුයා පිළිගත් බව පොලීසිය පවසයි.

සැකකරු පලායාමට තැත්කිරීමේදී අල්ලා ගැනීම | ඡායාරූපය: රොයිටර්

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට අදාළ සැකකරු, ජපානයේ හිටපු අග්‍රමාත්‍යවරයා සමඟ පෞද්ගලික වෛරයකින් පසුවී ඇති අතර, තමාගේ මව මූල්‍යමය වශයෙන් බංකොලොත් කිරීමට කටයුතු කළ ආගමික කණ්ඩායමකට ෂින්සෝ අබේ මහතාගේ සම්බන්ධයක් තිබීම නිසා මෙම වෙඩි ප්‍රහාරය දියත් කළ බව සැකකරු පවසා ඇත.

ෂින්සෝ අබේ ජපානයේ වැඩිම කළක් අග්‍රාමාත්‍යවරයා ලෙස සේවය කළ පුද්ගලයා වන අතර, ඔහුගේ ඝාතනය ජපානය අතිශයින් කම්පනයට පත්කිරීමට සමත් වූ බව ද වාර්තා වේ. මිය යන විට ෂින්සෝ අබේ මහතා 67 වන වියේ පසුවිය.

මේ අතර ජපානයේ එළඹි මැතිවරණයේ ඡන්ද කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ෂින්සෝ අබේ මහතා ගේ ඝාතනය එරට ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණයට තවත් තල්ලුවක් විය හැකි බවයි.

ඡායාරූප: ඊපීඒ/රොයිටර්/බීබීසී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි