×

රසායනික ප්‍රහාරයට ලක් වූ ස්ක්‍රිපල්ලා ගේ සුරතලුන්

“... මේ සතුන්ට මොකක්ද සිද්ධවුණේ ..?.. ඇයි කිසිවෙක් ඒ ගැන කතා නොකරන්නේ ..?


බ්‍රිතාන්‍යයේදී අබිරහස් රසායනික ප්‍රහාරයකට ලක්වුණු පියාගේත් දියණියගේත් සුරතල් සත්තු මරුමුවට පත් බව අනාවරණය වේ. රුසියාවේ හිටපු රහස් ඔත්තු නිළධාරි සර්ජි ස්ක්‍රිපල් ඇතිකළ ගිනි හාවුන් දෙදෙනෙකු සහ ඔහුගේ දියණිය ඇතිකළ බළලකු මෙසේ මියගිය බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති. ගිනි හාවුන් දෙදෙනා මිය ගොස් තිබෙන්නේ විජලන තත්ත්වයක් හේතුවෙන් බව පැවසේ. පර්සියානු බළලා මරණයට පත්ව ඇත්තේ සිදු වූ විපතින් ඇතිවුණු පීඩාවන් දරාගත නොහැකිව බව වාර්තා වේ. ඔවුන් තිදෙනා ම මියගොස් තිබෙන්නේ ආරක්ෂක අංශ මුද්‍රා තැබූ ස්ක්‍රිපල් නිවෙසට කොටු වීමෙනි.

මේ අතර ලංඩන් නුවර රුසියා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ස්ක්‍රිපල් නිවෙසේ විසූ තවත් බිළාලයකු ආ ගිය අතක් නැති බවයි. ස්ක්‍රිපල්ලාට එල්ල කළ රසායනික ප්‍රහාරයට, එම සුරතල් සතුන් මැදි වීද යන්න ගැන නිශ්චිත අනාවරණයක් නැත.

නිවසේ සිටි සතුන් ගැන මුලින්ම ප්‍රශ්න කළේ රුසියා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවාය.

සතුන් රසායනික ප්‍රහාරයට ලක් වීද යන සැකය මතුවුණේ සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය යූලියා සිය නිවසේදී රසායනික ප්‍රහාරයට පළමුවෙන් ලක් වුණු බව බ්‍රිතාන්‍යය ප්‍රකාශ කිරීමත් සමඟයි. ස්ක්‍රිපල් නිවසේ ඉදිරි දොර අසල ඉහළ රසායනික සාන්ද්‍රණයක් පැවැති බව පරීක්ෂණ කණ්ඩායම් අනාවරණය කරගෙන තිබීම එම ප්‍රකාශය කිරීමට හේතු විණ. එසේ වුවත් නිවසේ සිටි සතුන් ගැන මුලින්ම ප්‍රශ්න කළේ රුසියා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවාය. “… කෝ ඒ සත්තු ..?.. ඔවුන් කුමන තත්ත්වයෙන්ද පසුවන්නේ ..?.. බ්‍රිතාන්‍යය නිළධාරීන් ඒ ගැන තොරතුරු සඳහන් නොකරන්නේ මන්ද ..?.. වසක් භාවිත කරලා තිබුණ නම් එහි ජීවත්වෙමින් සිටි ඒ ජීවීනුත් එමඟින් පීඩාවට පත්වෙන්න එපායැ …” කියා ඈ මාධ්‍යවේදීන් පිරිසකට පවසා තිබිණ.

රුසියාවේ ජගත් සංවිධාන තානාපති වසිලි නෙබෙන්සියාත් එදිනම මේ ප්‍රශ්නය නඟා තිබුණේය. “… මේ සතුන්ට මොකක්ද සිද්ධවුණේ ..?.. ඇයි කිසිවෙක් ඒ ගැන කතා නොකරන්නේ ..?.. ඔවුන්ගේ තත්ත්වය මෙහිදී ඉතා වැදගත් සාක්ෂියක්නෙ ..? ..” කියා හෙතෙම ප්‍රශ්න කර තිබිණ. සතුන් තිදෙනෙකු මියගිය බවත් අනෙකා ආ ගිය අතක් නැති බවත් බ්‍රිතාන්‍ය බලධාරීන් පසුදාම කියා සිටියේ මේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු හැටියටය. පිළිතුරු දෙන අවස්ථාව වනවිටත් සතුන්ගේ දේහ පුළුස්සා දමා තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බ්‍රිතාන්‍ය බලධාරීන් එම ජීවින් ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ප්‍රමුඛතාවක් නොදීම, බ්‍රිතාන්‍යය දෝෂදර්ශනයට ලක් වන්නට හේතුවක් වී තිබේ.

සර්ජි සහ යූලියා බ්‍රිතාන්‍යයේ සැලිස්බරිහි ආපන ශාලාවක් අසල දී හදිසියේ ඇද වැටුණේ මාර්තු හතරවැනිදා ය. රෝහල් ගත කරන ලදුව ඔවුන්ගේ හදිසි ඇද වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹිණ. එහිදී හෙළි වූයේ “නොවිචොක්” නමැති විෂ රසායනිකය ඔවුන්ගේ ශරීරවලට ඇතුළු වී ඇති බවකි. එය සිදුකළේ රුසියාව යැයි බ්‍රිතාන්‍යය චෝදනා එල්ල කිරීමත් සමඟම දෙරට අතර රාජාතාන්ත්‍රික සබඳතා පවා මතභේදාත්මක තැනකට තල්ලු වූයේය. සී.එන්.එන්. ඇසුරෙනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි