×

සර්පයන් අල්ලා දිවි රැක ගන්නා දකුණු ඉන්දියාවේ ඉරුලා ‘නාග මිනිස්සු‘

ඉරුලා ජනතාව හැඳින්වෙන්නේ ‘දකුණු ඉන්දියාවේ නාග මිනිසුන්‘ ලෙස ය. 


දකුණු ඉන්දියාවේ වියළි කටුක පරිසර පද්ධතියක් හරහා මම මගේ මෝටර් රථය පදවාගෙන යමින් සිටියෙමි. පෙණය ගසාගෙන සිටින නාගයකු සමඟ ඔට්ටු වන මිනිසකු, මා දුටුවේ අහම්බෙන් මෙනි. හෙතෙම ඒ “නාග රාජයා” දෙසට ඍජුවම නැඹුරු වී සිටියේය.

The Irula Snake Catchers Industrial Co-Operative Society was formed in 1978 to capture snakes and extract their venom (Credit: ARUN SANKAR/Getty Images)

The Irula Snake Catchers Industrial Co-Operative Society was formed in 1978 to capture snakes and extract their venom (Credit: ARUN SANKAR/Getty Images)

වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක මෝටර් රථය තුළ දොරගුළු ලාගෙන සිටියත් මේ දර්ශනයෙන් මගේ සිත ගල් ගැසුණේය. මගේ ගතට දහදියත් නැඟෙමින් තිබිණ. ඒ සැණෙකින් මම මෝටර් රථය මහ මඟ අයිනක් අල්ලා නතර කළෙමි. මෝටර් රථයෙන් බැස ගත් මම බිය සහ චකිතය හිත දරාගෙන හීන් සීරුවට නාගයා සහ මිනිසාගේ ජවනිකාව වෙත ඉව අල්ලන්ට වීමි. නාගයාට මීටර 3ක් පමණ ඉදිරියෙන්, එහෙත් ගඩොලින් කළ කෙටි බිත්තියක පිටුපසට වන්නට සිට ගන්නට මා වැඩිපුර කැමැති වුණේ බිය සහ චකිතය නිසා ය. නාගයා සමඟ ඔට්ටු වුණු මිනිසා හෙවත් රාජේන්ද්‍රන් සමඟ කතා කරන්නට මට ඉඩ ලැබුණේ එහි පෙනී සිටි පළමු ඇසිල්ලෙහිම වාගේ ය.

Credit: ARUN SANKAR/Getty Images

Credit: ARUN SANKAR/Getty Images

රාජේන්ද්‍රන්ට, නගයන්ව ආණ්ඩු මාට්ටු කර හොඳ පළපුරුද්දක් ඇත. ඔහු එය කළේ මනා ඉවසිල්ලකිනි. මෘදු තොණ්ඩුවක් සහිත ලෝහ දිගු මුගුරකින් නාගයාට හෙමිහිට තට්ටුවක් දමන්නට රාජේන්ද්‍රන් පටන් ගත්තේය. නාගයා ඉදිරියේ තිබෙන්නේ ලොකු කළ ගෙඩියකි. එහි කට විවෘතය. රාජේන්ද්‍රන් කළේ නාගයා මේ මුට්ටිය තුළට රිංගවා ගත හැකිදැයි කියා සොයා බලන්නට “මුට්ටිය දැමිල්ලකි”. ඒ උපාය හරියටම හරි ගියහොත් අන් දෙයක් නොකර පහසුවෙන්ම ඌව අල්ලා ගත හැකිය.

රාජේන්ද්‍රන් මුගුරෙන් යොදන තට්ටුවේ කම්පනයට සංවේදී වූවාක් මෙන් නාගයා බයාදු ලෙස මුට්ටියේ කට පැත්තට හැරුණේය.

රාජේන්ද්‍රන් ජීවත් වන වදනෙම්මෙලි ගම්මානය වෙත යන්නටත් මට ඉඩක් ලැබිණ. වදනෙම්මෙලි, දකුණු ඉන්දියාවේ චෙන්නායිහි වෙරළාසන්නයේ පිහිටි කුඩා ගම්මානයකි. ඒ ගම්මානය තුළ රාජේන්ද්‍රන්ගේ එකම එක ලෝකය නාගයන්ය. ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේත් නාගයන් ගැන කතාවකට මුල පුරන්නට මිස අනෙකකට නොවේ. එයට හේතුව රාජේන්ද්‍රන්, නාගයන් සමඟ ඔට්ටු වන ගෝත්‍රයක සාමාජිකයකු වීමය. ඔවුන් අයත් ගෝත්‍රය හැඳිවෙන්නේ “ඉරුලා” යනුවෙනි. මේ සමාජයේ ජීවත් වන වැඩිහිටියන් බහුතරයක් දවසෙන් පමණක් නොව ජීවිතයෙන් ද වැඩි හරියක් ගත කරන්නේ නයින්ට ඇඟෑලුම්කම් පාමිනි. නාගයන් සමඟ කටයුතු කරන්නට රාජෙන්ද්‍රන්ට දනුම සහ හැකියාව ලැබුණේ, එහි අනෙක් කාටත් දැනුම සහ හැකියාව ලැබෙන්නක් මෙන් පරම්පරාවෙනි. නාගයන් සමඟ හැපෙන්නේ කුමන කාරියක් සඳහා ද ?. උන් සමඟ කටයුතු කරන්නට පාරම්පරික තබා වෙන මොනයම් ආකාරයකවත් අමුතු දනුමක් සහ හැකියාවක් වුවමණාදැයි කියා කෙනෙකුට සිතෙන්නට පුළුවන.

Around 1.5 million vials of antivenom are produced each year from venom extracted by the Irulas (Credit: Nature Picture Library/Alamy)

Around 1.5 million vials of antivenom are produced each year from venom extracted by the Irulas (Credit: Nature Picture Library/Alamy)

“… හුඟක් අය නාගයන්ට බයයි. ඒ වුණත් අපි මතක තියාගන්න ඕන කාරණය, නයින් වුණත් ජීවත් වන්න කැමතී කියන එක. අපි උන් ඉදිරියේදී මහා කලබලයක් ඇති කළොත් උන් අපට තර්ජනයක් වෙනවා. උන් අපට දෂ්ඨ කරන්න පෙළඹෙනවා. අපි උන් ඉදිරියේ සිටගෙන සිටියහොත් උන් හෙමෙන් ලිස්සලා අහකට යන්න යනවා. ” කියා රාජේන්ද්‍රන් පවසයි.

“ඉරුලා නාගයන් ඇල්ලීමේ කාර්මික සහයෝගිතා සමාජය” පවත්වාගෙන යන කාර්යාලයට යන්නත් මට ඉඩක් ලැබිණ. පළමුව කී සමාජය වදනෙම්මෙලි ගම්මානයේ ස්ථාපනය කර තිබෙන්නේ 1978 දී පමණය. නාගයින් අල්ලා ගැනීම සහ උන්ගේ විෂ නිස්සරණය කෙරෙන්නේ එම කාර්යාලය තුළයි. නයින්ගේ විෂ අවශ්‍යය වන්නේ ඉන්දීය සෞඛ්‍යය බලධාරීන්ට මිස සාමාන්‍යය ජනයාට නොවේ.

නාගයන්ගේ දෂ්ඨ කිරීම්වලට ලක්ව 50,000කට පිරිසක් ඉන්දියාවේ මියයන බැව් වාර්තාවන්හි සඳහන් වේ. නාගයන්ගේ දෂ්ඨ කිරීම්වලට ගොදුරුවන පිරිසගේ ජීවිත බේරා ගත හැකි වන්නේ නයි විෂට එරෙහිව ක්‍රියා කරන රසායනික එම රෝගීන්ට ශරීරගත කිරීමෙන් පමණි. එවැනි රසායනික නිෂ්පාදනය කරන සාමාගම් හයක් ඉන්දියාවේ ඇත. එම සාමාගම් මඟින් ප්‍රතිවිෂ කුප්පි මිලියන 1.5කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව නිෂ්පාදනය කෙරේ. සමාගම් එම ප්‍රතිවිෂ නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ ඉරුලාවරුන් ගෙන එන නයි විෂ ආධාර කරගෙන බව ඇසුවහොත් සමහරවිට ඔබ පුදුම වනු ඇත.

The origin of the Irulas’ connection to snakes is shrouded in mystery (Credit: ARUN SANKAR/Getty Images)

The origin of the Irulas’ connection to snakes is shrouded in mystery (Credit: ARUN SANKAR/Getty Images)

ඉරුලා නාගයන් ඇල්ලීමේ කාර්මික සහයෝගිතා සමාජය පිහිටි කාර්යාලයේ එක සුවිශේෂ තැනකට රාජේන්ද්‍රන් මා රැගෙන ගියේය. එය ගඩොලින් කළ කෙටි බිත්තියකින් ආවරණය වුණු තැනෙකි. ඔහු ඒ කෙටි බිත්තියෙන් පැන එහි ඇතුළු පැත්තට ගියේ මට බැහැර රැඳෙන මෙන් සන්කරමිනි. එකී ස්ථානය පිදුරු ආදියෙන් සෙවිලි කළ ස්ථානයකි. ඒ නිසා හිරු එළිය එතැනට වැටෙන්නේ නැත. මේ සුවිශේෂ තැන සකසා තිබෙන්නේ නාගයන්ගේ විෂ නිස්සාරණය කිරීම සඳහාම ය.

ගඩොලින් කළ කෙටි බිත්තියෙන් ඇතුළට පැන්න රාජේන්ද්‍රන්ව යළිත් මා වෙත පැමිණියේ “කන්නාඩි විරියාන්” නමැති විශේෂයට අයත් නාගයකු දෑතින් ඔසවා ගෙනය. මේ නාගයාගේ සම මත වැටී තිබුණු මෝස්‌තර ඉතාමත් රමණීය ය. එසේ වුවත් මා තුළ ඇතිවුණේ දැඩි බියකි. ඒ, එකී විශේෂයේ නාගයන් ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස දෂ්ඨ කරන බැව් මා සිටි බැවිනි.

“… අපි දැන් නයින්ව අල්ලලා තියාගන්න ඒ තරම්ම යොමුවෙන්නේ නැහැ. …” කියා රාජේන්ද්‍රන් මා සමඟ පැවසුවේ හිස් කළගෙඩි ගොඩක් පෙන්වමිනි. ඒ හිස් කළ ගෙඩි සෑම එක්කම වාගේ අඩක් පමණ වැලිවලින් පුරවා තිබිණ. වැලි සහිත එවැනි කළ ගෙඩියකට වරකට නාගයන් දෙදෙනකු දැමිය හැකිය. ඉන්පසු එම කළ ගෙඩිවල කට සවිවර රෙදිකඩකින් මුද්‍රා තබනු ලැබේ. කළ ගෙඩියේ කට නාගයන් දෙදෙනාට පිටතට පැමිණෙන්නට ඉඩ නොතබමින් වසා දැමිය යුතුව ද ඇත. සවිවර රෙදිකඩකින් කළ ගෙඩියේ කට වසා දමන්නේ එතුළට වාතය ගලා යෑම අවශ්‍යම වන බැවිනි.

Irulas used to be viewed with suspicion by other communities in the region due in part to their work with snakes (Credit: ARUN SANKAR/Getty Images)

Irulas used to be viewed with suspicion by other communities in the region due in part to their work with snakes (Credit: ARUN SANKAR/Getty Images)

ඉරුලා නාගයන් ඇල්ලීමේ කාර්මික සහයෝගිතා සමාජයට නාගයන් 800 දෙනෙකු අල්ලා රඳවා තබා ගන්නට බලපත්‍ර හිමි ය. දැනට අල්ලා ගන්නා නාගයන්ව දින 21ක පමණ කාලයක් රඳවා ගනු ලැබේ. එහිදී එක් නාගයකුගෙන් දිනකට හතර වරක් විෂ නිස්සාරණය කරගන්නා බව රාජේන්ද්‍රන් කියා සිටියේය. ඉන්පසු එම නාගයන් වනයට මුදාහරිනු ලැබේ. එසේ මුදාහරින නාගයන්ගේ ගෙල ප්‍රදේශයේ සලකුණක් ඇති කරනු ලැබේ. එවිට ඔවුන්ව විෂ නිස්සරණය පිණිස නැවත අල්ලා ගැනීමකට ලක් වන්නේ නැත.

ඉරුලා ගෝත්‍රිකයන් නයින් මරා සම් අලෙවිකර ජීවත්වන තැනට පවා යොමු වී තිබේ. එපමණක් නොව ඔවුහු නයින්ගේ මාංශ අනුභවයටත් ගන්නාහ. නයි සම් අලෙවි කිරීමෙන් ඉරුලාවරුන්ට එතරම් විශාල ආදයමක් ලැබෙන්නේ නැත. එසේ වුවත් නයි සම්වලට යුරෝපයේ සහ ඇමෙරිකාවේ විලාසිතා කර්මාන්තයෙන් විශාල ඉල්ලුමක් ඇත. නයි සම් ව්‍යාපාරයෙන් වැඩිපුර ලාභ ලබන්නේ අතරමැදියන් ය. කොහොම වුණත් නයින් මරා දැමීම 1972 ඉන්දීය වන සත්ත්ව ආරක්ෂණ නීතිය මඟින් තහනම් කර තිබේ. නීති පැනවුවත් නයින් මැරීමට යොමුවන ඉරුලාවරුන් සංඛ්‍යාවේ අඩුවක් නැති බව සර්ප විද්‍යාඥ රොමුලස් විටාකර් පවසයි. ඉතා සුළු මුදලක් උපයාගන්නට ඉරුලාවරුන් නයින්ව මරා හම ගසන බව හෙතෙම බී.බී.සී.යට වරක් පෙන්වා දී තිබිණ.

නයින්ගේ මාංශය අනුභව කළ ද නයින්ව හම ගසා හම පිටරට පැටෙව්ව ද ඉරුලාවරුන්ගේ ජනශ්‍රැතියේ දැකිය හැකි වන්නේ නයින් ගැන කියවෙන කතා, කවි සහ මිත්‍යා කතා ආදියයි. ඔවුන් අදහන්නේ කන්නිඅම්මා නමැති දෙවඟනකි. කන්නිඅම්මාත් නයින්ට සම්බන්ධකමක් ඇති දෙවඟනක් බව සඳහන් වේ.

Today, the Irulas’ skills are celebrated, with two Irula men travelling to Florida to help curb the problem of Burmese pythons in the Everglades (Credit: Joe Wasilewski)

Today, the Irulas’ skills are celebrated, with two Irula men travelling to Florida to help curb the problem of Burmese pythons in the Everglades (Credit: Joe Wasilewski)

ඉරුලාවරුන්ගෙන් 1%කට වඩා වැඩි පිරිසක් නයින් සමඟ ඔට්ටුවීමේ සාම්ප්‍රදායික කර්මාන්තයේ නියැලෙන්නේ නැත. එසේ වුවත් ඉතිරි පිරිසට ගම්මානවලට ඇතුළු වී රැකියාවක් කරගන්නට සැටියක් ද නැත. එයට හේතුව ඔවුන් සතුව අන් කර්මාන්තයක් කිරීමේ හැකියාවක් නොතිබීමයි. අනෙක් අතට, සාමාන්‍යය ජනයා අතින් නොයෙක් ගැරහුම් සහ පරිභව විඳින්නට සිදුවීම විශාල කරදරයක් බව ඉරුලා කාන්තාවක වන සුසිලා පවසන්නීය. ගම්මානවලට ගොස් රැකියාවක් කළ ද ට ඊට සරිලන වැටුපක් ගෙවන්නට ගම්මු ඉදිරිපත් නොවෙති. මේ නිසා ඉරුලාවරු හැම අතින්ම පීඩාවකට, අසාධාරණයකට සහ වේදනාවකට පත් වන්නාහ.

“… අපිට ඉතාමත් වෙහෙස මහන්සි වී වැඩකරන්න පුළුවන්. ඒ වගේ වැඩ කරලා දවස අන්තිමට අපට ලැබෙන දෙයක් නැහැ. වී කොටලා දහය්යා හැරලා දුන්නට අපට හාල් ඇටයක්වත් නොලැබෙන අවස්ථා එමටයි. …” කියා සුසිලා පවසන්නීය.

දරුණු ගණයේ සර්පයන්ව ආණ්ඩු මේච්චල් කර ඉරුලාවරුන් පරම්පරා ගණනාවක් තිස්සේ ලබාගෙන ඇති අත්දැකීම්, දැනුම සහ හැකියාව ලොව සෙසු ජනයාට ප්‍රයෝජනවත් වුණු අවස්ථාත් ඇත. ඇමෙරිකාවේ ෆ්ලොරීඩා මත්ස්‍ය සහ වනජීවී සංරක්ෂණ කොමිසම, ඉරුලාවරුන් දෙදෙනෙකු ඇමෙරිකාවට වරක් ගෙන්වා ගත්තේය. ඒ, එරට එවාර්ග්ලෑඩ්ස් ජාතික උද්‍යානය තුළ පැන නැඟුණු බුරුම පිඹුරු ගැටළුවක් විසඳා ගැනීම සඳහාය. බුරුම පිඹුරන් දැවැන්තය. එවාර්ග්ලෑඩ්ස් ජාතික උද්‍යානය තුළ උන්ගේ ගහනය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබිණ. වඳ වෙමින් පවත්නා කුඩා ක්ෂීරපායි විශේෂවලට මේ පිඹුරන් දැඩි තර්ජනයක් වෙමින් සිටියේය. එනිසා බුරුම පිඹුරන් අල්ලා ගන්නට ෆ්ලොරීඩා මත්ස්‍ය සහ වනජීවී සංරක්ෂණ කොමිසම තීරණය කර තිබුණේය. මේ කාර්යය සඳහා අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ හැකියාව සහිත පුද්ගලයන් අමෙරිකාවෙන් සොයා ගන්නට එම කොමිසමේ බලධාරීහු අපොහොසත් වූහ. මේ නිසා එම කොමිසම ඍජුවම ආරාධනය කළේ ඉරුලාවරුන් වෙතය. ඉරුලා ප්‍රජාවේ මාසි සහ වඩිවේල් යන දෙදෙනා මේ කාර්යය සඳහා පිටත් කර හැරිණ. ඔවුහු දෙදෙනා බුරුම පිඹුරන් 34දෙදෙනකු අල්ලා ගැනීමටත්, පිඹුරන් ඇල්ලීමට හැකි දඩයම් බල්ලකු පුහුණු කිරීමටත් සමත් වූහ. එපමණක් නොව ඔවුන් දෙදෙනා ඇමෙරිකාවේ දඩයක්කරුවන් පුහුණු කිරීමෙහිත් නියැළුන බව සඳහන් වේ.

කොහොම වුණත් ඉරුලාවරුන්ට තවදුරටත් නයි ඇල්ලීමේ සාම්ප්‍රදායික කාර්යයෙහි නියැලෙන්නට ඉඩක් ලැබෙන්නේ නැත. එය බොහෝදුරට රාජේන්ද්‍රන්ලාගේ පරම්පරාවෙන් නවතිනු ඇත.චෙන්නායි නගරයේ ගම් දනව් සිසාරා සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වීම එයට එක හේතුවකි. මේ නිසා වන ජීවීහු පරිසරයෙන් අතුරුදහන් වෙමින් සිටිති. වදනෙම්මෙලි ගම්මානයත් නාගරීකරණයට සහ නවීකරණයට හසුවෙමින් තිබේ. ඒ නිසා නයින්ගේ ගහනයත් අඩුවෙමින් යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති අනුව ප්‍රති නයි විෂ සකසා ගන්නට භාවිතයට ගත හැකි වන්නේ දැනට ග්‍රහණයේ සිටින නාගයන්ගේ විෂවලින් පමණි. එවිට ඉරුලාවරුන්ගේ දැනුම, හැකියාව සහ අත්දැකීම් ලෝකයට තවදුරටත් අවශ්‍යම වන්නේ නැත. මෙවැනි කාරණා නිසා වැඩිහිටි ඉරුලාවරුන් නිතරම සිතන්නේ තම දරුවන් වර්තමාන ලෝකයට ගැලපෙන අන්දමට හැඩ ගැස්සවීම සඳහායි. ඉරුලා සමාජයේ නූතන දරුවන් පාසල් වෙත යෑම සහ අධ්‍යාපනය ලැබීම ආරම්භ කර තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් සමඟ වනාන්තරයට යන්නේ නැත. ඔවුන්ට ගහ කොළ ගැන තිබෙන අවබෝධයත් ඉතා අල්පය. නූතන පරපුරේ දරුවෝ බොහෝදෙනෙක් නයකු දැකීමට පවා බිය වෙති. රාජේන්ද්‍රන්ලාගේ පරපුරේ සාමාජිකයන් නයින් ආණ්ඩු මට්ටු කරන හැටි උගත්තේ ඔවුන්ට වයස අවුරුදු නවයක්, දහයක් තරම් කාලයේදී ය. ඒ පුහුණුව ඔවුන්ට ජීවිත කාලයටම ප්‍රයෝජනවත් විණ. වත්මන් පරම්පරාවට එවැනි පුහුණුවකින් ජීවිතය ගැට ගසා ගන්නට පුළුවන්කමක් නැත. එනිසා අධ්‍යාපනය අනිවාර්යය වී තිබේ.

එහෙත් තම ප්‍රජාවේ වැඩිහිටියන් සතු හැකියාවන් සහ දැනුම තම පරම්පරාවෙන් අවසන් වී යා යුතු නැතැයි කියා ඉරුලා වැඩිහිටියෝ පවසති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි