×

හඳ වටේ යන කෝටිපති ජපනා

ඔහුගේ නම යුසාකු මාසේවා ( Yusaku Maezawa) ය. .අනාගත අභ්‍යවකාශ මෙහෙයුම්වල නියමුවා බවට පත්වෙමින් තිබෙන්නේ ස්පේස් එක්ස් සමාගමයි. දැන් යුසාකු හඳ වටා යාමට සූදානම් ය.


සාමාන්‍ය මිනිසුන්ව සඳට ගෙන යාමේ මහා ව්‍යාපෘතියක පුරෝගාමීන් ලෙස කටයුතු කරන SpaceX අභ්‍යවකාශ සමාගම, ඊයේ (17) නිවේදනය කළේ, සඳ වටා යන චාරිකාවට තෝරාගෙන තිබෙන පළමුවැනියා යුසාකු මාසේවා බව ය. ඒ අනුව ඔහු ලෝකයේ ප්‍රථම අභ්‍යවකාශ සංචාරකයා වනු ඇත.

SpaceX සමාගම ඔහුව සඳ වටේ ගෙන යාමට සැරසෙන්නේ බිග් ෆෝල්කන් (Big Falcon Rocket) නමැති රොකට් යානය මගිනි.

ඔහු සඳ වටේ යාමට සැරසෙන්නේ 2023 වර්ෂයේදී ය.

ජපන් ජාතික කෝටිපතියෙකු වන යුසාකු තමන් සමග කලාකරුවන් 6-8 දක්වා පිරිසක් ද ඒ ගමනට එක් කර ගැනීමට නියමිත ය. මේ ගමන සඳහා සම්පූර්ණ බර පැන දරන්නේ ඔහු විසින් වන අතර, අනෙක් අය නොමිලේ එම අවස්ථාව සඳහා වරම් ලද අය වෙති.

SpaceX ප්‍රධානී එලන් මස්ක් පැවසුවේ මේ ගමනට දින හතරක් හෝ පහක් ගත වනු ඇති බවයි.

මාසේවා මේ ගමනට කලාකරුවන් එක් කරගැනීම පිටුපස ද අපූරු කතාවක් තිබේ. ඔහු ද කලාකරුවෙකි. එනම්, රොක් සංගීතඥයෙක්, අන්තර්ජාල විලාසිතා කුවේරයෙක් මෙන්ම ඉහළ පෙළේ කලාකෘති එක්රැස් කරන්නෙකු ද වෙයි. වීඩියෝ ප්‍රකාශනයක් හරහා ඔහු පවසා තිබෙන්නේ, කලාව ලෝක සාමය ඇති කිරීමට හේතු වන බැවින් කලාව ‘විශ්වාස කරනවුන්ට‘ තමන් සමග එක්වන ලෙසයි. අවසාන කණ්ඩායම SpaceX සමග එක්වී තෝරාගැනීමට ද ඔහු සැලසුම් කරයි. එලන් මස්ක් හට ද තමන් සමග මේ ගමනට එක් වන ලෙස ඔහු විසින් ඇරයුම් කර ඇත.

සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව මාසේවාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 කි. ඔහු කෝටිපතියෙකු බවට පත්වුණේ Start Today නමැති අන්තර්ජාල සමාගම හරහා අන්තර්ජාල ගනුදෙනු හෙවත් ඊ කොමර්ස් සිදුකිරීමෙනි. Start Today අන්තර්ජාලය ඔස්සේ ඉහළම විලාසිතාවලින් යුත් රෙදිපිළි අලෙවි කරන වෙබ් අඩවියකි. පසුගිය වසරේ ඔහු ලෝකයේ අවධානය දිනා ගත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 110.5 ක් වටිනා Jean-Michel Basquiat ගේ කලාකෘතියක් මිලදී ගැනීමත් සමග ය.

මේ සම්බන්ධ අනාගත පියවර ඔහු විසින් “#dearMoon,” නමැති මේ වෙනුවෙන්ම දියත් කරන වෙබ් අඩවියක ගැබ් කිරීමට නියමිත ය සමාජ ජාල ප්‍රචාරණ ව්‍යාපෘතියද එම හෑෂ්ටැගය යොදාගෙන සිදුවනු ඇත.

මේ තරුණ ජපන් කෝටිපතියා සිය ගමන වෙනුවෙන් මේ වන විටත් ස්පේස් එක්ස් සමාගමට මූලික ගෙවීමක් (down payment) සිදුකර තිබේ. නමුත් ඒ පිළිබඳ වැඩිවිස්තර තවම හෙළිදරව් වී නැත.

Big Falcon Rocket හෙවත් BFR රොකට්ටුව SpaceX සමාගම විසින් මේ වනවිටත් ඉදි කරමින් පවතින රොකට්ටුවකි. එය යෝධ රොකට් බූස්ටරයකින් සමන්විත ය. එහි නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 5කි.

වසර 2023 පටන් SpaceX සමාගම, බිස්නස් ටුවරිසම් හෙවත් ‘ව්‍යාපාර සංචාරක කර්මාන්තය‘ කෙරෙහි සම්පූර්ණයෙන්ම යොමු වීමට නියමිත ය.

ස්පේස් එක්ස් සමාගම ගතවූ වසර 8 තුළ කාගෝ හෝ චන්ද්‍රිකා පෘථිවි කක්ෂය වෙත අවස්ථා 60කදී පමණ ගෙන ගොස් ඇත. නමුත් ඒ කිසිදු අවස්ථාවක මිනිසුන් ගෙන යාම සිදුනොකරන ලදී.

SpaceX සමාගමේ මෙම අලුත්ම මෙහෙයුම මේ අනුව එම සමාගමට ද අභියෝගාත්මක ය. කෙසේ නමුත් මේ වන විට පෘථිවි කක්ෂය හෝ චන්ද්‍රයා වෙත යාමට තරම් තාක්ෂණයකින් සහ හැකියාවකින් පොහොසත් එකම ආයතනය වශයෙන් මේ වන විට හඳුනා ගැනෙන්නේ SpaceX සමාගමයි. එයට විශේෂ හේතුවක්ද තිබේ. එය වන්නේ, 2011 වසරේ පටන් ඇමරිකා එක්සත් ජනපදය සිය ස්පේෂ් ෂටල යුගය නිමා කළේය. ඒ අනුව ඇමරිකාවට 2011 වසරෙන් පසු මිනිසුන් පෘථිවි කක්ෂය වෙත ගෙන යාමට හැකියාවක් නැත. ඒ නිසා නාසා ආයතනයට දැන් සිදුවී තිබෙන්නේ ගගනගාමීන්ව ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය වෙත යාම සඳහා රුසියාවේ උදව් පතන්නට ය. නමුත් මේ වන විට SpaceX සමාගම, 2019 මැද භාගය වන විට ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය වෙතට ගගනගාමීන් ගෙන යාමේ පරීක්ෂණ මෙහෙයුමක නිරත වීමට නියමිත ය.

මේ අනුව SpaceX සමාගම, අනාගත අජටාකාශ ලෝකයේ විශාලම බලවේගය බවට පත්වීම නියත වශයෙන්ම සිදුවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි