×

ඔස්ට්‍රේලියානු ස්ට්‍රෝබෙරිවලින් ඉඳිකටු හමුවීමේ රහස හෙළි වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ වාර්තා වුණු පරිදි ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ඇතුළු ප්‍රදේශ ගණනාවක සුපිරි වෙළඳසැලවල විකිණීමට තබා තිබෙන ස්ට්‍රෝබෙරි තුළින් ඉඳිකටු හමුවීමට සම්බන්ධව සැක පිට කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.


 Strawberry needle scare

මයි උත් ත්‍රිනා (My Ut Trinh) මෙම 50 හැවිරිදි කාන්තාව, තමන්ට සේවාස්ථානයේ සිදුවූ අසාධාරණයකට පළිගැනීමක් වශයෙන් එසේ කර තිබෙන බව වාර්තා වේ. ඇයට ඇය සමග එකට සේවය කරන අයගෙන් අවසැලකීම්වලට ලක් වීමට සිදුවී ඇති බව ද වාර්තා වේ.

ස්ට්‍රෝබෙරි කපා බලන විට ඒවා තුළ මැහුම්වලට පාවිච්චි කරන ඉඳිකටු හමුවීමේ සිද්ධි 100 ක් පමණ ගතවූ කාලය තුළ වාර්තා වී තිබිණි.

පසුව කෙසෙල් ගෙඩි, ඇපල් හා අඹ තුළින් ද ඉඳිකටු හමුවීමේ හුදකෙලා සිද්ධි කිහිපයක් වාර්තා වුවත් පොලිසිය පවසන්නේ ඒවා වෙනත් අය විසින් කරන්නට ඇතැයි සැක කරන බවයි.

මෙම කාන්තාව මේ වරද සිදුකර ඇති බව ඔප්පු වුවහොත් පළතුරු මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ වසර 10 දක්වා සිර දඬුවමකට ඇය යටත් වීමට නියමිත ය.

ඇයට ඇප ලබාදීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, නොවැම්බර් 22 වැනිදා ඇගේ නඩුව කැඳවීමට නියමිත ය.

මෙම සිදුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පළතුරු වෙළඳපොළට නොසිතූ විරූ පාඩුවකට ලක් වන්නට සිදුවිය.

‘ඉඳිකටු බිය‘ හේතුවෙන් ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් විශාල ප්‍රමාණයක් ස්ට්‍රෝබෙරි විකිණීම නතර කළ අතර, සැප්තැම්බර් 12 වැනිදා ක්වීන්ස්ලන්ත බලධාරීන්ට, සියලුම ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමට පෙර ඒවා කපා බලන ලෙසට උපදසේ ලබාදීමට පවා සිදුවිය.

ඔස්ට්‍රේලියාවේ සමස්ත පළතුරු වෙළඳපොළෙන් 3%කට වගකියන්නේ ස්ට්‍රෝබෙරි වේ. (Source: Australian Bureau of Statistics) නැවුම් පළතුරු අපනයනය මගින් ඔස්ට්‍රේලියාව 2017 වසරේදී ලබාගත් ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 954 ක් වේ. හොංකොං, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ ප්‍රධානතම වෙළඳපොළ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි