×

#MeToo ස්වීඩනයේ පාසල් විෂය මාලාවට

ස්වීඩනයේ පාසලක් විසින් #MeToo ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාරය හෝ සමාජ රැල්ල පිළිබඳ උගැන්වීම සිය පාසල් විෂය මාලාවට ඇතුළත් කර තිබේ.


ඒ අනුව #MeToo පිළිබඳ පැය 2 ක කාලයක් වයස අවුරුදු 15 සිසු සිසුවියන්ට උගැන්වීමට නියමිත ය.

මෙය මුල් අදියරේදී එක් පාසලකට පමණක් සීමා කර තිබෙන්නේ අත්හදා බැලීමක් ලෙස බව ද වාර්තා වේ.

ෆ්රෑන්කන්බර්ග් හි සිසුන් මේ සතියේ ඒ පිළිබඳ පළමු පාඩම ඉගෙන ගැනීමට නියමිත ය.  බලධාරීන් පවසන්නේ #MeToo යනු හුදෙක් හොලිවුඩය තුළ පමණක් පවතින සමාජ රැල්ලක් නොවන බවත්, එසේ විය යුතු නැති බවත් සිසුන්ට පණිවුඩයක් වශයෙන් ලබාදීම සඳහා මෙය සිදුකළ බවයි.

පාසලේ ප්‍රජාචාරය විෂය යටතේ ගැබ් කර තිබෙන මෙම පාඩම ඉගැන්වීමේදී ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් එකිනෙකාගෙන් වෙන් කිරීමට නියමිත ය. එසේ කරන්නේ ගැහැණු ළමුන් නිසා පිරිමි ළමුන් හෝ, පිරිමි ළමුන් නිසා ගැහැණු ළමුන් හෝ අනවශ්‍ය පීඩාවකට පත් නොකිරීම සඳහා ය. ‘‘අප මේ සංවාදය නිර්මාණය කරන්නේ සමානාත්මතාවයෙන් යුතු සමාජයක් වෙනුවෙන්‘ යැයි ද පාසල් බලධාරීහු පවසති.

‘‘මේ තත්වය කී දෙනෙකුට බලපා තිබෙනවාද කියා අපට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ලෝකයෙන් ලැබෙන පුවත් නිසා අප පුදුමයට පත් වී සිටිනවා. ඒ නිසා මේ ගැන ඉගෙන ගැනීම ඉතාම වැදගත්‘ යැයි මේ අතර පාසලේ සිසුවෝ කියති.

‘‘ගැහැණු ළමුන්ට අනවශ්‍ය විදිහට විහිළු තහළු කිරීම මේ පාසලේ ඇති තරම් තිබෙනවා. පාසල් කොරිඩෝර දිගේ යනවිට අපට ඇති තරම් කුණුහරුප වචන ඇසෙනවා. මම නම් හිතන්නෙ, හැම කෙනෙක්ම මේ පාඩම ඉගෙන ගත යුතුයි. හැසිරිය යුත්තේ කොහොමද කියා දැනගත යුතුයි“ යැයි මේ අතර පාසල් ශිෂ්‍යාවක් පවසයි.

හොලිවුඩයේ හාවි වෙයින්ස්ටයින් (Harvey Weinstein) මූලික කරගෙන ඇරඹි ලිංගික අපචාර චෝදනා රැල්ලකින් සමන්විත මී ටූ ව්‍යාපාරය මේ වන විට ඉන්දියාව වැනි දුර බැහැර රටවල් දක්වා ද ව්‍යාප්ත වී තිබේ.

හාවි වෙයින්ස්ටයින්

හාවි වෙයින්ස්ටයින්

ස්වීඩනය තුළ මෙම සමාජ ව්‍යාපාරය දැකගත හැක්කේ අනන්‍ය මුහුණුවරකිනි. එහිදී විවිධ අංශ නියෝජනය කරන කාන්තාවෝ රැසක් ඉදිරියට පැමිණ තමන්ට හිංසා කළවුන් නම් කිරීමට පටන් ගත්හ. මේ රැල්ල රටේ සිල්වියා රැජින සහ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරියගේ ද නොමද ප්‍රශංසාවට හේතු වී තිබේ. ඔවුන් 2017 නොවැම්බරයේ මී ටූ ව්‍යාපාරය ගැන පැවසුවේ, ‘‘අතිශයින්ම වැදගත් සමාජ ව්‍යාපාරයක්‘ යනුවෙනි.

කෙසේ නමුත් මී ටූ සමාජ ව්‍යාපාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති විවේචන ද සුළුපටු නොවේ. ස්වීඩනයේ ස්ටොක්හෝම් හි ප්‍රධාන පෙළේ කලා අධ්‍යක්ෂවරයෙකු වූ බෙනී ෆ්‍රෙඩ්රික්සන් (Benny Fredriksson) 2018 වසරේ මුල, නිර්නාමික ස්ත්‍රීන් 40 දෙනෙකුගේ ලිංගික අපචාර චෝදනාවලට ලක්විය. එහිදී චරිත ලබාදීමට නම් නිරුවතින් නර්තනයේ යෙදෙන ලෙසට ඔහු විසින් එක් ස්ත්‍රියකට බලපෑම් කළ බවද සඳහන් විය. මාධ්‍ය විසින් එල්ල කළ දැඩි පීඩනය ඉවසා ගත නොහැකි තැන අවසානයේ ඔහු සිය දිවි නසාගත්තේය. නමුත් පසුව නාගරික විමර්ශකයන් පැවසුවේ, ඔහු විසින් ලිංගික අපහරණයන් සිදුකළ බවට එල්ල වූ චෝදනා ඔප්පු කළ නොහැකිබවයි.

සිය දිවි නසාගත් ස්වීඩන් කලා අධ්‍යක්ෂවරයා

සිය දිවි නසාගත් ස්වීඩන් කලා අධ්‍යක්ෂවරයා

මේ අතර ලෝකය පුරා සමස්ත #MeToo සමාජ ව්‍යාපාරය නොයෙක් විවේචනවලට ලක් වෙමින් තිබේ. වරක් ප්‍රංශ නිළි කැතරින් ඩෙනීව් පැවසුවේ, මෙමගින් පුරුෂයන්ට ‘සුළු වැරදි‘ සඳහා දඬුවම් දීමට ස්ත්‍රීන්ව පොළඹවන බවයි.

බ්‍රිතාන්‍ය තරුවක් වන Taron Egerton වරක් පැවසුවේ, තමන් දැන් නම් කාන්තාවක සමග තනිවම සිටීමට පවා බිය වන බව ය!

කෙසේ නමුත්, ලිංගික අල්ලස හෝ ලිංගික අපහරණය වරදක් සේ නොදකින බහුතර පිරිමි සමාජය #MeToo හේතුවෙන් තිගැස්මට ලක් වී සිටින අතර, ස්වීඩනය සිතන්නේ ළමා වියේදීම දරුවන්ට මෙවැනි සමාජ ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබාදීම වැදගත් බව ය.

ස්වීඩනය ලෝකයේ හොඳම අධ්‍යාපන පද්ධතියක් ඇති රටක් ලෙස ද සැලකේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි