×

තායි ගුහා දරුවන් තාවකාලිකව සසුන්ගත කෙරේ

තායිලන්තයේ ගුහා දරුවන් දින 9 ක පැවිදි දිවියකට එළඹීමට නියමිත ය. එය, ඔවුන් අත්දුටු විපත්තිදායක සිදුවීම නිසා හටගත හැකි මානසික බලපෑම් අවම කරනු ඇත


පුරා සති දෙකකට අධික කාලයක් තායිලන්තයේ තාම් ලුවන්ග් ගුහා පද්ධතියේ අතරමං ව සිට බේරාගත් ‘වයිල්ඩ් බෝස්‘ යොවුන් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් හිස මුඩු කර ආරාමගත කිරීමට නියමිත ය.

මෙම කණ්ඩායමේ සිටි ක්‍රිස්තියානි ආගමික දරුවා වූ අදුල් සාම් හැර ඉතිරි සියලුම දෙනා මේ අන්දමින් තාවකාලිකව සසුන්ගත කෙරීමට නියමිත ය. ඔවුන් පුරා දින 9 ක් ආරාමයේ දිවි ගෙවනු ඇත. දින 9 ක් තාවකාලික පැවිදි බව ලබාගැනීම තායිලන්තයේ පිරිමි දරුවන් අනිවාර්යයෙන්ම සිදුකරන සම්ප්‍රදායයකි.

පසුගිය සතියේ රෝහලෙන් මුදා හරින ලද මෙම දරුවන් මේ වන විට පසුවන්නේ යහපත් සෞඛ්‍ය තත්වයෙනි.

මෙම තාවකාලික පැවිදි බව ලබාදීම මගින් අපේක්ෂා කරන්නේ ගුහාවේ සිරවීමේ අත්දැකීම නිසා මනසට සිදුවී තිබිය හැකි බලපෑම් සුවපත් කිරීමයි.

හෙට දිනයේ මෙම දරුවන්ගේ හිස මුඩු කිරීම ආදී චාරිත්‍ර සිදුකිරීමට නියමිත ය. අනතුරුව අගෝස්තු 4 වැනිදා දක්වා කාලය ඔවුන් ගත කළ යුතු වන්නේ භාවනා කිරීම, බුදුන් වැඳීම, ආරාමය පිරිසිදු කිරීම යනාදී වතාවත් සමගිනි. ඒ අනුව ඔවුන් ඇබිත්තයන් ලෙස ද කටයුතු කරනු ඇත.

මේ අතර පාපන්දු පිලේ පුහුණුකරු, 25 හැවිරිදි එකපෝල් චන්තවොන්ග් ඔවුන් සමග එක්වීමට නියමිත ව තිබෙන්නේ ඇබිත්තයෙකු වශයෙන් නොව සාමණේර තත්වයෙන් බව ද ඇතැම් විදෙස් වාර්තාවක දැක්වේ.

මෙම දරුවන්ගේ සිදුවීමෙන් පසු මේ වන විට තාම් ලුවන්ගේ ගුහා පද්ධතිය වසා දමා තිබේ. නමුත් එය සංචාරකයන් සඳහා ඉදිරියේදී විවෘත කිරීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි