×

තවමත් කතා කෙරෙන – ලෝකයේ පැරණිම භාෂා 10

ලෝකයේ ඇති වූ - නැති වූ භාෂා අතරින්, වත්මන් ලෝකය තුළ ද භාවිතා වන ඉපැරණිම භාෂා 10 පිළිබඳ කෙටි විස්තරයකි, මේ.


මේ වන විටත් ලෝකයේ භාවිතා වන, ලෝකයේ පැරණිම භාෂාවන් 10 අතරට දමිල බස ද අයත් වේ. (The 10 Oldest Languages Still Spoken in the World Today)

භාෂාවක් පරිණාමය වීම සහ ජීව විද්‍යාත්මක පරිණාමය අතර වැඩි වෙනසක් නැත. එය පරම්පරාවෙන් පරම්පරාවට වසර දහස් ගණනක් තිස්සේ සිදු වන්නකි. එම නිසාම, එක් භාෂාවක් සහ තවත් භාෂාවක් අතර හැරුම් ලක්ෂය පැහැදිලි නැත. එනිසාම, එක් භාෂාවක් තවත් භාෂාවකට වඩා පැරණිය හෝ අලුත්ය යන්න නිගමනය කිරීම ද පහසු කාරණයක් නොවේ. නමුත් පහත දැක්වෙන භාෂා 10 ලෝකයේ අති සුවිශේෂී ය. එයට හේතුව මේවා පුරාණ භාෂා සහ නූතන භාෂා යන කාණ්ඩ 2කටම අයත් වීමයි.

හීබෘෘ භාෂාව

hebrewlanguages-02

© Michaela Pointon

‍ක්‍රිස්තු පූර්ව 400 යුගයේදී ලෝකයෙන් තුරන් වී ගිය හීබෘෘ භාෂාව ඉන්පසුව ලොව පුරා සිටින යුදෙව්වන් අතර දේව භාෂිතයක් මෙන් සුරැකී තිබී පසුව නැවතත් යුදෙව්වන්ගේ නිල භාෂාව වශයෙන් ලොව පුරා පැතිරුණේය. කෙසේ නමුත් 19 සහ 20 වන සියවස්වල ‘සියොනිසම්‘ හෙවත් ‘යුදෙව්වාදය‘ පැතිරීමෙන් පසුව එය ක්‍රම ක්‍රමයෙන් ඊශ්‍රායලයේ රාජ්‍ය භාෂාව බවට ද පත්විය. නූතන හීබෘෘ භාෂාව බයිබල් භාෂාවේ මූලාරම්භය සහිත ය. මේ නිසා ඊශ්‍රායලය හෙවත් තිබෙන එකම එක යුදෙව් රාජ්‍යයේ සිටින වයස්ගත වූවන් බොහොමයකට පැරණි තෙස්තමේන්තුව සහ එයට අනුබද්ධිත පාඨයන් මුල් අයුරින්ම කියවා ගැනීමට හැකියාව තිබේ. නූතන හීබ්‍රෑ භාෂාව කතා කරනවුන් සිය මුල් භාෂාව වශයෙන් කතා කර තිබෙන්නේ යිදිෂ් භාෂාවයි. යිදිෂ් ද යුදෙව්වන්ට ආවේණික වූ භාෂාවකි. මේ අනුව අද භාවිතා වන හීබෘෘ භාෂාව (Modern Hebrew) එහි ද සංකලනයකි.

බාස්(ක්)

බාස් භාෂාව සම්පූර්ණයෙන්ම ‘භාෂා අබිරහසක්‘ ලෙසට වාග් විද්‍යාඥයෝ හඳුන්වා දෙති. එය ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ සිටින බාස් ජනතාව අතරින් ඇතැමෙක් විසින් සිය මුල් බස ලෙස සලකා භාවිතා කරයි. නමුත් එය ප්‍රංශුවන් සහ ස්පාඤ්ඤ ජාතිකයන් භාවිතා කරන රෝමානු භාෂාව හෝ ලෝකයේ වෙනත් කිසිදු භාෂාවක් සමග සම්බන්ධතාවක් දක්වන බසක් නොවේ. එම බස ගොඩනැගුණේ කෙසේද යන්න ගැන වාග් විශේෂඥයන් දශක ගණනක් මුළුල්ලේ පර්යේෂණ කර ඇති නමුත් මේ දක්වා සැලකිය යුතු දෙයක් සොයාගන්නට ලැබී ද නැත. මේ සම්බන්ධයෙන් පැහැදිලි වී ඇති එකම එක කාරණය වන්නේ, රෝමානු භාෂාවට පෙර බාස් භාෂාව පරිහරණය වී ඇති බවයි.

දෙමළ 

© Michaela Pointon

© Michaela Pointon

ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ නිල භාෂාවක් ලෙස පිළිගන්නා, ලෝක ජනගහනයෙන් මිලියන 78 ක් කතා කරන භාෂාව වන්නේ දමිල බස ය. එය, නූතන ලෝකය දක්වා ආ ගමන් මග තුළ සුරැකී ඉතිරි වූ ලෝකයේ එකම එක සම්භාව්‍ය භාෂාව වශයෙන් ද සැලකේ. ද්‍රාවිඩියානු භාෂා පවුලෙන් පැවතගෙන එන භාෂාවක් වන දමිල බස, දකුණු සහ නැගෙනහිර ඉන්දියානු උප භාෂාවන්ගෙන් පෝෂණය ලබයි. එසේම එය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ද නිල භාෂාවයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට අයත් පුරාණ ලියවිලිවල දමිල බස අඩංගු බව භාෂා පර්යේෂකයෝ කියති. එසේම එය ලිඛිත සාක්ෂි අනුව අද දක්වාම පැවතගෙන ද එනු ලබයි. තවත් පුරාණ ඉන්දියානු භාෂාවක් වන සංස්කෘත භාෂාව, ක්‍රිස්තු පූර්ව 600 යුගයේදී අභාවයට ගොස් ආගමික පාඨ සඳහා පමණක් සීමා වූ බසක් බවට පත්වුවත් දමිල බසට මේ ඉරණය අත් වූයේ නැත. මේ වන විට එය ලෝකයේ වඩාත්ම බහුල වශයෙන් භාවිතා වන භාෂා 20 අතරට ද අයත් වෙමින් දිගින් දිගටම සිය පැවැත්ම තහවුරු කරගෙන තිබේ.

ලිතුවේනියානු භාෂාව

බොහෝ යුරෝපියානු භාෂාවන් අයත් වන භාෂා පවුල වන්නේ ඉන්දු-යුරෝපියානු භාෂා පවුලයි. නමුත් ක්‍රිස්තු පූර්ව 3500 දී පමණ එම භාෂා පවුලෙන් ඒවා ලෝකයේ නොයෙක් භූ විෂමතාවන් වෙතට කැඩී-පැතිරී යන්නට ඇතැයි සැලකේ. ජර්මානු, ඉතාලි සහ ඉංග්‍රීසි බස වැනි වෙනත් භාෂා ගණනාවක් මේ අනුව පසුකාලීනව බිහි විය. එහිදී මුල් භාෂා පවුලේ තිබූ ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් ඒවායින් ගිලිහී ආගන්තුක භාෂා බවට ඒවා කාලයත් සමග පත්විය. නමුත් ඒ භාෂා පවුලටම අයත් එකම එක භාෂාවක් බෝල්ටික් භාෂාවක් වශයෙන් ලෝකයේ නොනැසී ආරක්ෂා වුණේය. ඒ නම් ලිතුවේනියානු භාෂාවයි. මෙහි ඇති ලක්ෂණ අනුව මෙය ‘පෙට්‍රො ඉන්දු-යුරෝපියානු භාෂාවක් යනුවෙන් හඳුන්වයි. මෙය ක්‍රිස්තු පූර්ව 3500 යුගයේ පටන් අද දක්වාම ව්‍යවහාර වන භාෂාවකි. කිසියම් හේතුවක් නිසා මේ භාෂාවේ ව්‍යාකාරණ රීති අති බහුල ය. ලිතුවේනියානුවෝ එම උරුමය ද ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගනිති. මේ අනුව ලෝකයේ පැරණිතම භාෂාවන් අතර ලිතුවේනියානු බසට හිමිවන්නේ අද්විතීය තැනකි.

ෆාර්සි බස

නූතන ඉරානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ ටජිකිස්ථානයේ ජනතාව සහ ලෝකයේ තවත් ස්ථාන කිහිපයක ජනතාව කතා කරන භාෂාව ෆාර්සි භාෂාවයි. පර්සියානු භාෂාව යනුවෙන් හැඳින්වෙන්නේ ද මේ භාෂාව ම ය. එනම් නම් දෙකක් භාවිතා වුවද, භාෂාව එකම ය. ෆාර්සි භාෂාව, පුරාණ පර්සියානු භාෂාව ද වේ. එනම් එය පර්සියානු අධිරාජ්‍යය පැවතගෙන එන යුගයේදී පැවති භාෂාවයි. මෙම භාෂාවේ මූලය, ක්‍රි.පූ. 800 දක්වා ඈතට විහිදෙයි. වෙනත් බොහෝ නූතන භාෂාවලින් ෆාර්සි බස වෙනස් වන එක් ප්‍රධාන කරුණක් තිබේ. එය නම්, එය පරිණාමයට ලක් වූයේ හෙවත් විවිධ වෙනස්කම්වලට ලක්ව තිබෙන්නේ සාපේක්ෂව ඉතා අඩුවෙන් වීමයි. පර්සියානු බස කතා කරන නූතන ජනතාවට සිය භාෂාව ක්‍රි.පූ. 900 යුගයේ ලේඛනවල පවා වැඩි වෙනස්කමක් නැතිව ඒ අයුරින්ම පවතින අයුරු දැක ගැනීමට ලැබෙනු ඇත. වරක් මහා කවි ශේක්ස්පියර් මෙසේ කියා ඇත. ‘‘ඉංග්‍රීසි බස කතා කරන අයෙකුට ෆාර්සි බස ඉගැනීම එතරම් අපහසු නැත!“

අයිස්ලන්ත භාෂාව

අයිස්ලන්ත බස (Icelandic) තවත් එක් ඉන්දු-යුරෝපියානු භාෂාවකි. මෙය අයත් වන්නේ උතුරු ජර්මානු භාෂා ශාඛාවට ය. වැඩිමනත් දෙයක් පවසන්නේ නම්, ඉංග්‍රීසි භාෂාව ද ජර්මානු බසෙන් බිඳී ආවක් වන නමුත් එය අයත් වන්නේ දකුණු ජර්මානු ශාඛාවට වේ. බොහෝ ජර්මානු භාෂාවන් තමන්ගේම ආරකට පසුකාලීනව හැඩ ගැසෙමින් වෙනම ගමනක් ගොස් ඇති අතර, එහිදී සෙසු ඉන්දු-යුරෝපීය භාෂා ලක්ෂණ ඇතැමක් කාලයත් සමග අහිමි වී ගොස් තිබේ. නමුත් අයිස්ලන්ත භාෂාව දිගින් දිගටම සම්ප්‍රදායිකත්වය ආරක්ෂා කර ගත්තේය. එ් නිසාම මුල් ලක්ෂණ ගණනාවක් අද දක්වා රඳවා තබාගැනීමට ද සමත් විය. ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේ පටන් 20 වන සියවස දක්වා අයිස්ලන්තයේ පැවතියේ ඩෙන්මාර්ක් පාලනයකි. මේ කාලය තුළ පවා අයිස්ලන්ත භාෂාව වැඩිමනත් වෙනසකට ලක් වූයේ නැත. පුරාණ තෝර් දේව කතාවල ද නිර්මාතෘවරුන් වන අයිස්ලන්තයේ නෝර්ස් ජනතාව විසින් එය අයිස්ලන්තය වෙත ගෙන ආ බව සැලකේ. අද පවා, සියවස් ගණනකට පෙර ලියැවුණු වීර කාව්‍යයන් ඒ අන්දමින්ම කියවා ගැනීමේ හැකියාව බොහෝ අයිස්ලන්ත වැසියන්ට තිබෙන්නේ ඉහත කී කරුණු නිසා ය.

මැසිඩෝනියානු භාෂාව

mecedonian

©Michaela Pointon

ස්ලාවික් භාෂා පවුලට අයත් වන මැසිඩෝනියානු බස රුසියාව, පෝලන්තය, චෙක්, ක්‍රොයේෂියාව ඇතුළු රටවල් ගණනාවක බැවහර වේ. එය සාපේක්ෂව වයසින් අඩු භාෂාවක් යැයි ද කියන්නට පුළුවන. මෙම භාෂා පවුලේ පොදු පූර්වජයා, එනම් මුතුන්මිත්තා වශයෙන් සලකන්නේ පොදු ස්ලාවික් (Common Slavic හෝ Proto-Slavic) භාෂාවයි. ‘පුරාණ ස්ලෝවේනියානු පල්ලියේ භාෂාව‘ (Old Church Slavonic) යනුවෙන් මෙය එකල හැඳින්වුණු අතර වෙනම හෝඩියක් ද නිර්මාණය කෙරිණි. පසුව 9 වන සියවසේදී මෙම භාෂාව උතුරුකරය වෙත සංක්‍රමණය වීම සිදුවිය. අද වන විට පෙර කී පුරාණ ස්ලෝවේනියානු භාෂාව දැකගත හැක්කේ ග්‍රීසියට උතුරුකරයෙන් පිහිටා තිබෙන මැසිඩෝනියාව ආශ්‍රිත ප්‍රදේශයෙනි. එනිසා මෙය ‘මැසිඩෝනියානු භාෂාව‘ යනුවෙන් ද හඳුන්වයි.

පින්ලන්ත භාෂාව

16 වන සියවස දක්වාම ෆින්ලන්ඩ් භාෂාව හෙවත් පින්ලන්ත භාෂාව ලිඛිත භාෂාවක් බවට පත්වූයේ නැත. නමුත් ලෝකයේ ඕනෑම භාෂාවකට මෙන්ම එයට ද එයින් ඔබ්බට විහිදෙන ඉතිහාසයක් තිබේ. එය Finno-Ugric භාෂා පවුලේ සාමාජිකයෙකි. එස්තෝනියාව, හංගේරියාව සහ සයිබීරියාවේ ඇතැම් පෙදෙස්වල මෙම භාෂාව භාවිතා වේ. ඒ හැරුණු විට සියවස් ගණනක් මුළුල්ලේ වෙනත් භාෂාවන්ට ඇතුළත් වූ වචන ප්‍රමාණයක් ද මෙමගින් දායාද කර තිබේ. උදාහරණයක් වශයෙන් ‘අම්මා‘ යන්නට සමාන පදයක් වන ‘අයිති‘ ගොතික් බසට අයත් වූවකි. කෙසේ නමුත් මෙය අද වනවිට ව්‍යවහාරයෙන් ඈත් වූ වචනයකි. රජු හෙවත් king යන වචනයේ සම්භවය පුරාණ ජර්මානු වදනක් වන kuningaz යන්නෙන් බිඳී ආවක් වන අතර, එය මේ වන විට ජර්මානු බස තුළ දැකගන්නට නැත. නමුත් kuningas නමැති වචනය, අද පවා ෆින්ලන්ත භාෂාව තුළ ව්‍යවහාර වේ.

ජෝර්ජියානු බස

‍ලෝකයේ දුෂ්කරම භාෂාවන් රැසක්ම ඉපදුණේ කොකේසස් කඳුකරයෙනි. ආර්මේනියාව, අසර්බයිජානය සහ ජෝර්ජියාව එම අසීරු දායාදය සහිත රටවල් තුනකි. නමුත් මේ රටවල භාවිතා වන භාෂාවන් සම්පූර්ණයෙන්ම පැවතගෙන එන්නේ එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස් භාෂා පවුල්වලිනි. එනම් පිළිවෙළින් ඉන්දු-යුරෝපියානු, තුර්කි සහ කාට්වෙලියන් භාෂා පවුල්වලිනි. ජෝර්ජියානු භාෂාව, කාර්ට්වෙලියන් භාෂා පවුලේ විශාලතම සාමාජිකයා ය. එසේම පුරාණ සාහිත්‍යමය සම්ප්‍රදායක් සහිත එකම කොකේසියානු භාෂාව ද මෙය වේ. එය සුන්දර ය. එයටම ආවේණික අමුතු හෝඩියක් තිබේ. තවද එය අතිශය පැරණි ය. එය ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේදී ආර්මේනියානු බසින් බිඳී ආවක් ලෙස ද සැලකේ. කාට්වේලියන් භාෂාවන් තිබෙන්නේ 4 ක් පමණකි. එම භාෂා හතරම භාවිතා කරන්නේ ජෝර්ජියාව තුළ පමණි. එසේම ඒවා ලෝකයේ අද භාවිතා වන වෙනත් කිසිදු භාෂාවක් සමග කිසිදු සම්බන්ධතාවක් ද නොදක්වයි.

අයර්ලන්ත ගේයිලික් බස

‘කෙල්ටික්‘ බස යනුවෙන් හඳුන්වන්නේ ද මෙයයි. වර්තමානය වන විට අයර්ලන්තයේ කුඩා සුළුතරයක් විසින් පමණක් මෙම භාෂාව භාවිතා කෙරේ. මෙම භාෂාව පිටුපස දීර්ඝ ඉතිහාස කතාන්දරයක් ඇත. ඉන්දු-යුරෝපියානු භාෂා පවුලට අයත් වන කෙල්ටික බස, වර්තමානයේ මහා බ්‍රිතාන්‍යයට සහ අයර්ලන්තයට අයත් වන දූපත් හි දැකගත හැකි විය. නමුත් ඒ, ජර්මානුවන් ගේ ආක්‍රමණයන්ට පෙර මිස ඊට පසුව නොවේ. ස්කොට්ලන්ත කෙල්ටික් බස සහ මැන්ක්ස් භාෂාව (Manx) යන භාෂා ද්විත්වයම බිහි වූයේ අයිරිෂ් කෙල්ටික භාෂාවනි. මැන්ක්ස් භාෂාව කතා කරන්නේ Isle of Man නමැති කොදෙව්වේ මිනිසුන් පමණි. බටහිර යුරෝපයේ දැකගත හැකි වන පැරණිතම ස්වදේශීය සාහිත්‍යය ලියැවී තිබෙන්නේ අයිරිෂ් කෙල්ටික් භාෂාවෙනි. යුරෝපයේ සෙසු කොටස් තමන්ගේම භාෂා කතා කරන විට සහ, ලතින් භාෂාවෙන් ලියන විට අයිරිෂ්වරුන් (අයර්ලන්ත ජාතිකයන්) පමණක් ඒ වෙනුවට තමන්ගේ භාෂාවෙන් ලිවීම පටන් ගෙන තිබේ.

මූලාශ්‍රය : The 10 Oldest Languages Still Spoken in the World Today



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි