×

ෆිදෙල් කැස්ත්‍රෝ නම් සැහැසියා

පොදු ජනයාගේ මිනිසෙක් වශයෙන් තමන් මසකට පේසෝ 900 ක් පමණක් ලබමින් (ඇ.ඩො. 43) වෙරළේ ධීවර පැල්පතක ජීවත් වී යැයි ෆිදෙල් කැස්ත්‍රෝ වරක් කීවේය.


නමුත් කැස්ත්‍රෝගේ දීර්ඝකාලීන බොඩිගාඩ්වරයා වූ ජුලියන් රෙයිනාල්ඩෝ සැන්චැස් මෙසේ කියයි. ‘‘මිනිසුන් දුක් විඳින විට ෆිදෙල් කැස්ත්‍රෝ සැප පහසු ජීවිතයක් ගත කළා. හැම දෙයක්ම ඔහු වෙත තිබුණා. දරුවන් අට දෙනා, අනියම් බිරින්දෑවරුන් ගණනාවක් පමණක් නොව තමන්ගේ විවාහක බිරිඳ පවා රහසක් ලෙස තබා ගනිමින්..“

එසේ සඳහන් වන්නේ ජුවාන් සැන්චැස් විසින් ලියූ ‘ෆිදෙල් කැස්ත්‍රෝගේ දෙබිඩි ජීවිතය: පුද්ගලික ශරීරාරක්ෂකයා වශයෙන් මගේ 17 වසර‘ (“The Double Life of Fidel Castro: My 17 Years as Personal Bodyguard to El Líder Maximo,”) නමැති පොතේ ය.

ෆිදෙල් ගේ රහසිගත සැප පහසු ජීවිතය, ඔහුගේ අනියම් බිරින්දෑවරුන් ඇතුළු කරුණු ගණනාවක් මෙමගින් හෙළි කරයි. එයට අනුව ඔහු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආරක්ෂාව සැපයීම මගින් අති දැවැන්ත මුදල් සම්භාරයක් උපයාගත්තෙකි. එසේම කාන්තාවන් කණ්ඩායමකට දශක ගණනක් තිස්සේ සෙවණ ලබාදුන් බව ද සැන්චැස් පවසයි. තමන්ගේ සොහොයුරු, වත්මන් පාලක රාවුල් කැස්ත්‍රෝ හට ඔහු විසින් 90 දශකයේදී තර්ජනය කර තිබෙන්නේ මත්පැන් ඇබ්බැහියෙන් නොමිදෙන්නේ නම් තමන් විසින් ඔහුව මරා දමන බවට ය.

2016 නොවැම්බර් 16 වැනිදා මිය ගිය ෆිදෙල් කැස්ත්‍රෝ, කියුබානු විප්ලවයේ සදාකාලික විරුවා බවට තර්කයක් නැත. නමුත් ප්‍රශ්නකාරීව තිබෙන්නේ ඔහුගේ විප්ලවය සිදුව තිබියදීත් ඔහුගේ ජනතාව දුක් විඳිමින් සිටීමයි. ඒ අතරේ හොර රහසේ ඔහු සැප විඳිමින් සිටීමයි.

කැස්ත්‍රෝගේ සැබෑ ජීවිතය රහසිගතව ගත කළ එකක් වූ නිසාම බහුතර කියුබානුවන්ට ඒ පිළිබඳ කිසිදු සැකයක් නොතිබුණේ යැයි ද සැන්චැස් කියයි. මහජනයාට කැස්ත්‍රෝගේ පුද්ගලික ජීවිතය ගැන දැනන්නට ලැබුණේ ඉතා අඩුවෙනි. ඔහුගේ පළමු සහ දෙවන භාර්යාවන් පවා ප්‍රසිද්ධියේ දැකගත හැකි වුණේ කලාතුරකිනි. කැස්ත්‍රෝ පළමු වරට විවාහ වුණේ ඉහළ මධ්‍යම පාන්තික ගැහැනියක වූ මිර්තා ඩයස්-බලාත් සමග ය. ඇය සිටියදීම ඔහු නතාලියා රෙවුලෙටා නමැති කාන්තාව විවාහ කර ගත් බවට වාර්තා ඇත. මේ විවාහ දෙක හේතුවෙන් කැස්ත්‍රෝ දරුවන් 8 දෙනෙකුගේ පියෙකු බවට පත්ව සිටියේය.

නතාලියා ගැන සැන්චැස් මෙසේ ලියයි. ‘‘කොල පැහැති ඇස්, පරිපූර්ණ මුහුණ සහ ස්වභාවික ලස්සන සමග ඇය හවානාවේ සිටි ලස්සනම ගැහැණුන්ගෙන් අයෙක් වූවාය..“ ඒ වන විට කැස්ත්‍රෝ සිය ජීවිතයේ පස් වන දශකය ගෙවා දමමින් සිටියේය.

පසුකලෙක සිය දිවි නසාගත් ෆිදෙලිතෝ හැඳින්වෙන්නේ කැස්ත්‍රෝගේ පළමු ‘නිල පුත්‍රයා‘ වශයෙනි. එහි අරුත, කැස්ත්‍රෝ විසින් සිය දරුවන් වශයෙන් පිළිනොගත් පුතුන් ඊට පෙර සිටිය හැකි බවයි. ඒ හැරුණු විට කැස්ත්‍රෝගේ දියණිය ලෙස සැලකනේනේ නතාලියාගෙන් ඔහුට දාව උපන් දරුවා ය. Alina Fernandez Revuelta නමැති ඒ දියණිය කැස්ත්‍රෝගේ පුද්ගලික ජීවිතය ගැන බොහෝ දේ අනාවරණය කරමින් ඔහුව අපවාදයට ද ලක් කළාය.

ලොකු පුතා ෆිදෙලිතෝ සමග
සියදිවි නසාගත් ලොකු පුතා – ෆිදෙලිතෝ කැස්ත්‍රෝ in Havana February 8, 2007. REUTERS/Claudia Daut/File Photo

හවානාවේ සුන්දරම කාන්තාවක් බිරිඳ කර ගත්ත ද කැස්ත්‍රෝ ගැහැණුන් වෙත තවදුරටත් ඇදී යාම නතර වුණේ නැත. ‘කොම්රේඩ් සෙලියා සැන්චැස්‘ හෙවත් ‘සෙලියා සැන්චැස් සහෝදරී‘ යනු ඔහුගේ පුද්ගලික ලේකම්වරියයි. පුරා 30 වසරක් ඇය සමග විශ්වාසවන්තයෙකු ලෙස කල් ගත කිරීමට කැස්ත්‍රෝ සමත් වූයේ රාජකාරියෙන් එහා ගිය පුද්ගලික හිතවත්කමක් ද නඩත්තු කරමිනි.

කැස්ත්‍රෝ, සිය ඉංග්‍රීසි භාෂා පරිවර්තිකාව සමග ද යහන් ගත වී යැයි සැන්චැන් සිය පොතේ දී කියයි. මේ අතර කියුබානු ගුවන් සේවිකාවක් ද කැස්ත්‍රෝ සමග සෑම විදෙස් සංචාරයකදීම ඔහුගේ කැබින් කාමරයේ දැකගත හැකි විය.

‘‘ඔහු තවත් සබඳතා රැසක්ම පවත්වාගෙන ගියා.. සමහර සම්බන්ධතා ගැන මා පවා දැන සිටියේ නැහැ..“ යැයි කැස්ත්‍රෝගේ ශරීරාරක්ෂක සැන්චැස් ලියයි.

කියුබාව නමැති සුන්දර කැරිබියානු දූපත තුළ කැස්ත්‍රෝ සුවපහසු දේපළ 20 ක් පමණ නඩත්තු කළේය. ඔහු විසින්ම මිලදී ගත් කුඩා දූපතක්, අධි සුඛෝපභෝගී යොට් යාත්‍රාවක් ද ඔහුට විය. එම යොට් යාත්‍රාව අලංකාර කර තිබුණේ ඇංගෝලාවෙන් ගෙන්වා ගත් ලී වලිනි.

මේ අතර ප්‍රසිද්ධ රැස්වීමකදී හමුවූ වැන්දඹු සුන්දරියක් හවානාවට පිටතින් වූ මන්දිරයක පදිංචි කරවූ බවට ද කැස්ත්‍රෝට චෝදනා නැගේ. තවත් වාර්තාවක දැක්වෙන්නේ කැස්ත්‍රෝට දාව ඇයට දරුවන් පස් දෙනෙකු ද ලැබුණු බව ය. එම මන්දිරයේ ගෙවත්ත විස්තර කරමින් සැන්චැස් මෙසේ ලියයි. ‘‘දෙහි, දොඩම්, මැන්ඩරින්, ග්‍රේප්ෆෘට් සහ කෙසෙල් ගස් පිරී තිබුණු අති සුන්දර උද්‍යානය හරියට ආදම්ගේ උයන මෙන් දිස්වුණා. මෙය, සියලු කියුබානුවන් ආහාර සලාක මත යැපුණු යුගයක කැස්ත්‍රෝ ජීවත් වූ විදියයි..“

1959 වසරේ නව අවුරුදු සන්ධ්‍යාවේ කියුබාවේ පාලනය කැස්ත්‍රෝ අතට ගත්තේ සියවස් කාලක් පැවති ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ ඒකාධිපති පාලනය ගරිල්ලා බලයෙන් යටපත් කරමිනි.

ෆිදෙල් කැස්ත්‍රෝ ඇමරිකාවේ සදාකාලික හතුරෙකි. ජුවාන් සැන්චැස් විසින් මේ පොත ලියන්නේ ඇමරිකාවෙන් ඩොලර් කුට්ටි ලබාගැනීමෙන් පසුව යැයි යමෙකුට තර්ක කරන්නට පුළුවන. බැටිස්ටා නමැති හතුරා මෙන් නොව, සිය දේශයේ ජනතාව ධන සම්පතින් ආඩ්‍ය කරන බවට කැස්ත්‍රෝ එදා පිළිණ දුන්නේය. ඒ වන විට කියුබාවේ ජීවත් වෙමින් සිටියේ ලෝකයේ දුප්පත්ම ජනතාවකි.

කැස්ත්‍රෝ සිය ජනතාව වෙනුවෙන් කිසිවක් නොකළේ යැයි කීම මුසාවකි. ඔහු සියයට සියයක් නොමිලේ ප්‍රතිකාර ලබාදෙන සෞඛ්‍ය සේවයක් රට තුළ ස්ථාපිත කළේය. එක් වෛද්‍යවරයෙකුට දිනකට ප්‍රතිකාර කළ හැකි රෝගීන් ගණන 25කට සීමා වන සේ කදිම – සංවිධිත සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කළේය. සිය සෝවියට් සගයන් සමග එක්ව හොඳ පාසල් පද්ධතියක් ද ස්ථාපිත කළේය. ඒ අතරම වෛශ්‍යා වෘත්තිය, ආහාර සලාක වැනි ක්‍රම ද පවත්වාගෙන ගියේය.

කැස්ත්‍රෝ විසින් සිය විරුද්ධවාදීන් මර්දනය කළ ආකාරය ගැන ද කතා රාශියකි. වෙඩික්කාර කල්ලියක් ලවා ඔවුන්ට වෙඩි තැබවීම නොකඩවා සිදුකළ බවත්, ඇතැමුන් දශක ගණනක බර වැඩ සහිතව සිරගෙට නියම කළ බවටත් වාර්තා තිබේ.

ෆිදෙල්ගේ මොඩ්ලින් දියණිය

ෆිදලේ කැස්ත්‍රෝ විසින් සිය එකම ‘නිල දියණිය‘ වශයෙන් පිළිගත් ඇලීනා පසුකලෙක මෝස්තර නිරූපිකාවක බවට පත්වූවාය. ඒ 1980 දශකයේ ඇගේ රුවින් ‘කියුබා‘ නමැති සඟරාවේ ඇතුළු පිටු සැරසී තිබිණි. එහි දෙවැනි පිටුවේ වූයේ ඇලීනා බිකිනියකින් සැරසී රුවල් බෝට්ටුවක නැග සිටින අන්දම දැක්වෙන ඡායාරූපයකි. එය, හවානා ක්ලබ් රම් හි දැන්වීමක් විය. ‘‘මේ මොන මගුලක්ද?“ යැයි එය දැක කැස්ත්‍රෝ ගිගිරූ බව සැන්චැස් කියයි.

‘‘ඇලීනාට දැන්මම කතා කරපල්ලා!‘‘ එය කැස්ත්‍රෝගේ නියමය විය.

ඇලීනා පැමිණි විට ඇතිවූ කලබගෑනිය සැන්චැස් විස්තර කරන්නේ පැය දෙකක් තිස්සේ ජනාධිපති කාර්යාලයේ බිත්ති දෙදරා යන තරම් තර්ක විතර්ක ඇසුණා‘‘ යනුවෙනි.

‘‘හැම කෙනෙක්ම දන්නවා උඹ මගෙ දුව කියලා.. ඒක දන්නෙ නෑ වගේ බිකිනියක් ඇඳගෙන ඉන්නවා..“ යැයි කැස්ත්‍රෝ එහිදී ගුගුරමින් බැණ වැදී තිබේ.

එයින් වසර කිහිපයකට පසුව 1993 දී කැස්ත්‍රෝ සිය රහස් ඔත්තු සේවය හරහා දැනගත්තේ ඇලීනා ඇමරිකා එක්සත් ජනපදයට පළා යාමට සැලසුම් කරමින් සිටින බව ය. ‘‘මම නුඹට අනතුරු අඟවනවා.. ඇලීනා මගේ අනුදැනුමකින් තොරව කියුබාවෙන් යන්න බෑ..“ කැස්ත්‍රෝ සිය ප්‍රධාන ශරීරාරක්ෂකයා වූ කර්නල් ජොසේ හට කියා තිබේ.

නමුත් එයින් මාස 2 කට පසු ඇලීනා බොරු කොණ්ඩයක් දමාගෙන, ව්‍යාජ ස්පාඤ්ඤ පාස්පෝට් එකකින්, අන්තර්ජාතික උදව් පදව් ද ඇතිව කියුබාවෙන් පළායාමට සමත් වූවාය. ඇය අද ද ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබමින් ජීවත් වන අතර, මේ ලෝකයේ කැස්ත්‍රෝව වැඩිපුරම විවේචනය කරන පුද්ගලයා වශයෙන් ද තවමත් කටයුතු කරයි.

තරහ පෙන්වන්නේ අඩුවෙන්

කැස්ත්‍රොගේ චරිතයේ දැකිය හැකි වැදගත් ලක්ෂණයක් වූයේ ඔහු කෝපයට පත්වන්නේ ඉතා කලාතුරකින් වීමයි. ‘‘මම මගේ අවුරුදු 17 ක සේවා කාලය තුළ කොමාන්දෙතේ තරහෙන් පුපුරනවා දැක්කේ අවස්ථා දෙකකදී විතරයි‘‘ යැයි සැන්චැස් ලියයි. ‘‘නමුත් ඇලීනා පළා ගිය බවට පුවත ලැබුණු විට ඔහු කෝපයෙන් වියරු වැටුණා. නුඹලා මොන තරම් මෝඩයොද? මට මේ ගැන වාර්තාවක් ඕනෙ.. මේ හැම දෙයක්ම සිද්ද වුණේ කොහොමද කියල මට දැනගන්න ඕනෙ..“ යැයි කැස්ත්‍රෝ මහත් කෝපයෙන් කියා තිබේ.

The San Diego Union-Tribune
කැස්ත්‍රොෙගන් මිදී පළා ගිය දියණිය ඇලීනා| The San Diego Union-Tribune

‘‘කැස්ත්‍රෝ කියන්නෙ ඒකාධිපතියෙක් නෙවෙයි. ඒක නෙවෙයි සුදුසුම වචනය. ඔහු සැහැසි රජෙක්‘‘ යැයි ඇලීනා පසුව මියාමි හෙරල්ඩ් පුවත්පතට කියා තිබිණි.

විප්ලවීය වීරයෙක් මරා දැමූ හැටි

විප්ලවයේ වීරයෙකු වූ ජෙනරාල් ආනල්ඩෝ ඔකාවා සන්නද්ධ අරගලයේදී කැස්ත්‍රෝ සහ රාවුල් අසලින්ම සිටි අයෙකි. කැස්ත්‍රෝ පසුකලෙක කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සෙවණ සදන විට අවසානයේ ඒ සියලු පව් ගෙවුණේ ආනල්ඩෝ පිටින් යැයි සැන්චැස් ලියයි. ඇමරිකාව මේ පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් දියත් කළ විට කැස්ත්‍රෝ ඉතා පහසුවෙන්, සිත් පිත් නැති ලෙසින් සිය සගයා බිලි දුන්නේය. ‘නිල පරීක්ෂණයක්‘ ඒ පිළිබඳ සිදුකරන බවට සපථ කළේය.

අවසානයේ (kangaroo court) අධිකරණයක් ලවා ඔහුට මරණ දණ්ඩනය නියම කළා පමණක් නොව, ආර්නල්ඩෝට වෙඩි තබා මරා දමන ආකාරය නරඹන්නැයි සොයුරු රාවුල්ට අණ කළේය.

‘‘කැස්ත්‍රෝ ඔහුට වෙඩි තබා මරා දමන හැටි අප සියලුම දෙනාට නරඹන්නට අණ කළා..‘‘ යැයි සැන්චැස් ලියයි. ‘‘තමන්ට කැප වී වැඩ කළ මිනිසුන් නින්දාවට පත් කිරීම සහ අවසානයේ ඔවුන්ව නැත්තටම නැති කිරීම කැස්ත්‍රෝ ලෙහෙසියෙන්ම කළා..“ යැයි සැන්චැස් තවදුරටත් පවසයි.

Hacienda Publishing
රාවුල් සහ ෆිදෙල් | Hacienda Publishing

වාර්තා වන අන්දමට සොයුරු රාවුල් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වන්නේ මේ මරණය නිසා හටගත් කම්පාවෙනි. ඔහු සිය කණගාටුව සහ නින්දාසහගත හැඟීම් වොඩ්කාවල දිය කර හැරියේ යැයි සැන්චැස් ලියයි.

‘‘මේ අහපන්.. මම නුඹට කතා කරන්නේ සහෝදරයා විදිහට..“ යැයි කැස්ත්‍රෝ බැරිම තැන රාවුල් ට කියා තිබේ. ‘‘මේකෙන් මිදෙනවා කියල මට දිවුරපන්. එතකොට නුඹට මොකුත් වෙන්නෙ නෑ කියල මම පොරොන්දු වෙනවා.“

එහි සැඟවුණු අරුත රාවුල් වටහාගන්නට ඇත.

රාවුල් කැස්ත්‍රෝ විප්ලවය අතරතුර. චේ ගුවේරා සමග කරට අත දමාගෙන. (AP Photo/Andrew St. George)

ෆිදෙල් කැස්ත්‍රෝ අවසානයේ මිය යන්නේ ලෝකයේ දීර්ඝම කාලයක් (වසර 52 ක් සහ දින 101 ක්) රටක් පාලනය කිරීමට සමත් වූ රාජකීයයෙකු නොවූ පුද්ගලයා ලෙස ය.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි