×

බිහිසුණු ආඥාදායකයාගේ දියණිය – සාරා ඩුටර්ටි

පිලිපීන දේශපාලනයේ ‘රජ ඇණය‘ ලෙස හඳුන්වන ආඥාදායකයාගේ දියණිය ඇයයි.


පිලිපීනයේ ඩාවාඕ නගරයේ නගරාධිපතිනිය ලෙස බලයේ සිටින සාරා ඩුටර්ටේ (Sara Duterte) – කාර්පියෝ පිලිපීන දේශපාලන පොරපිටියේ බලවත් තැනකට ළඟාවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිතුවක් කරන කියන දඩබ්බරයකු වන පිලිපීනයේ වත්මන් ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ දියණිය බැවින් සාරා ඩුටර්ටේට මේ විශේෂ වරප්‍රසාදය හිමිව තිබේ. ලබන වසරේ මැද භාගයේදී පැවැත් වෙන්නට නියමිත පිලිපීන මහා මැතිවරණයේදී ඈ “රජ ඇණයක්” ලෙස ක්‍රියා කරනු ඇති බව බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

This handout photo taken on June 30, 2016 and released by the Presidential Communication Operations Office (PCOO) shows Philippines President Rodrigo Duterte (C) walking with his children Sebastian (L), Veronica (2nd L), Sara (2nd R) and Paolo (R) after the oath-taking ceremony at the Malacanang Palace in Manila.| AFP PHOTO

තාත්තා පිලිපීන දේශපාලනයට පිවිසි ද්වාරයන් හරහාම දියණියත් පිලිපීන දේශපාලනයට පිවිසීම ආරම්භ කර ඇත. දේශපාලනයට පිවිසෙන්නට පළමුව රොද්‍රිගෝ ඩුටර්ටේ නීතිඥයෙකි. සාරාත් දැන් නීතිඥවරියක වන්නීය. රොද්‍රිගෝ ඩුටර්ටේ, ඩාවාඕ නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ නගරාධිපතිවරයා හැටියට කටයුතු කළේය. වාර්තාවන්හි දැක්වෙන අන්දමට හෙතෙම හත් වරක් එහි නගරාධිපතිකම කර ඇත. ඒ අනුව වසර 22කට ආසන්න කාලයක් ඔහු නගරාධිපති පුටුවේ අසුන්ගෙන සිට තිබේ. සාරා 2007 වසරේදී ඒ ඩාවාඕ නගරයේම නියෝජ්‍ය නගරාධිපතිනිය වූවාය. 2010 සිට 2013 දක්වා ඈ එහි නගරාධිපතිනිය ලෙස නිල වශයෙන් කටයුතු කළ බව දැක්වේ. ඉන්මතු අද දක්වාම ඈ ඩාවාඕහි පළමු කාන්තාව ලෙස බලයේ රැඳෙමින් කටයුතු කරන බව දැක්වේ.

Philippines-Sara-Duterte-Davao-City-Facebook

Philippines-Sara-Duterte-Davao-City-Facebook

නීතිඥයකු වුවත් රොද්‍රිගෝ ඩුටර්ටේ එදා සිටම අභියෝගාත්මක කෙනෙක් වූයේය. ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, පිලිපීනයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කළ මෙහෙයුම්වලදී දස දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් ඝාතනය වූ බව සඳහන් වේ. මේ මෙහෙයුම් සියල්ලක්ම සිදුවුණේ රොද්‍රිගෝ ඩුටර්ටේගේ පූර්ණ අනුදැනුම ඇතිවයි. එම මෙහෙයුම්වලින් මියගිය විශාල පිරිසක් දුප්පත් පුද්ගලයන්ය. ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පැවැත් වුණේ ද නැත. ඒ සියල්ල පසු පස සාරා දියණියත් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේ වුවත් රොද්‍රිගෝ ඩුටර්ටේ පිලිපීනයේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්නට අසමත් වූ බව බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉදිරි මහා මැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට ජයක් ලැබීමට එය බාධාවක් බැව් ඔවුන්ගේ මතයයි. ඒ සමඟම රොද්‍රිගෝ ඩුටර්ටේ දේශපාලන දිවිය දිය වී යන බව ඔවුහූ පෙන්වා දෙති. එසේ වුවත් සාරාගේ දේශපාලන දිවිය දීප්තිමත් වන්නට පටන් ගෙන තිබෙන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

සාරා ඩාවාඕ හි නගරාධිපතිනිය වන විට උප නගරාධිපති වන්නේ ඩුටර්ටිගේ පුතා වන පාඕලෝ ය. | Reuters/Erik De Castro

සාරා ඩාවාඕ හි නගරාධිපතිනිය වන විට උප නගරාධිපති වන්නේ ඩුටර්ටිගේ පුතා වන පාඕලෝ ය. | Reuters/Erik De Castro

මේ අන්දමට ඇයව වර්ණනා කරන බහුතරයක් කතා කරන්නේ මෙයට හත් වසරකදී පෙරදී ඈ ප්‍රාදේශීය මුලාදෑනි තැනකට මිටින් ඇන සිය බල පුළුවන්කාරකම්වල තරම ලෝකයට පෙන් වූ සිද්ධියයි. එවක ඈ ඩාවාඕහි නගරාධිපතිනිය ලෙස කටයුතු කළාය. සාරා පහරදීම සිදු කළේ නගරයේ පැල්පත් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් නිරාකරණය කිරීමට මැදිහත් වූ අවස්ථාවකදීය.

ගම් මුලාදෑනියාට පහර දුන් සිද්ධිය | Philippines-Sara-Duterte-Davao-City-Facebook

ගම් මුලාදෑනියාට පහර දුන් සිද්ධිය | Philippines-Sara-Duterte-Davao-City-Facebook

ඩාවාඕහි බරන්ගේ සොලිමාන් නමැති ප්‍රදේශයේ පවුල් 217කට අයත් පැල්පත් ඉවත් කිරීම සඳහා අධිකරණ තීරණයක් ලැබී තිබිණ. පැල්පත් ඉවත් කිරීම ආරම්භ කිරීමට ස්වල්ප මොහොතකට පළමුව පැල්පත් වාසී ජනයා ප්‍රබල විරෝධතාවයක් ආරම්භ කළෝය. ඔවුහූ අවි ආයුධත් රැගෙන විරෝධතා සටනට එක්ව සිටියහ. පොලිසිය මැදිහත් වුවත් පැල්පත් වාසීන්ගේ හඬ සහ ක්‍රියාකාරකම් නතර කරන්නට බැරි විණ. පැල්පත්වාසීන් ස්ථාපනය කර ගනු ලැබූ එක්සත් පදිංචිකරුවන්ගේ සංගමය නමැති ආයතනය නීතිඥයකු මාර්ගයෙන් අභියාචනා මෝසමක් ඉදිරිපත් කර තිබුණේය. එහෙත් එම ක්‍රියාවලිය සාර්ථක කරගන්නට නීතිඥයා අපොහොසත් වූ බැවින් අර්බුධය තව තවත් දික් ගැසෙන්නට පටන් ගත්තේය. මේ අතර තුර යුහුසුළු වූ නීතිඥයා මෝසම සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන තුරු පැල්පත් කඩා දැමීම නතර කරන මෙන් ඒ සඳහා පැමිණි පිරිසගෙන් ඉල්ලා සිටියේය. අධිකරණ තීන්දුව ප්‍රමාදවත්ම පැල්පත්වාසීහු නැවත උරණ වන්නට පටන් ගත්හ. දහස් ගණනක් සෙනඟ එක්ව ඊළඟට සිදු වන්නේ කුමක්දැයි කියා බලා සිටිද්දී නගරාධිපතිනී සාරා එහි පැමිණියාය.

ඈ එහි ළඟා වූයේ අර්බුධය උග්‍ර තත්ත්වයකට පත් වුවහොත් විශාල ලේ වැගිරීමක් වන්නට ඉඩ තිබෙන බව ඉවෙන් මෙන් වටහා ගනිමිනි. පැල්පත් කඩා දැමීම තවත් පැය දෙකකට කල් දමන්නැයි කියා ඇයත් අදාල පර්ශ්වවලින් ඉල්ලා සිටියාය. අබේ ඇන්ඩ්‍රෙස් නමැති ප්‍රාදේශීය මුලාදෑනි තැන එහි පැමිණ සාරාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය පළමුව දුන් තීන්දුව ප්‍රකාරව කටයුතු කරන බව තරයේ කියා සිටියේය. අබේගේ ක්‍රියාකලාපයෙන් දැඩි කෝපයට පත් සරා “… කෝ මේ මුලාදෑනි තැන ..?.. කියා කෑගසන්නට වූවාය. සාරා ඉදිරියේ බියෙන් මෙන් පෙනී සිටි මුලාදෑනි තැනගේ මුහුණ හරහා සාරාගේ මිට මෙලවුණු අත කඩාපාත් වුණේ කිසිවකු නොසිතූ මොහොතකදී ය. වරක් නොව සිව්වරක්ම සාරාගේ මිට මෙලවුණු අත මුලාදෑනි තැනගේ මුහුණ මතින් ඇදිණ.

“… මම කිව්වේ පැය දෙකක් ඉන්න කියලා. පැය දෙකක් … ඇයි අපට ඒ පැය දෙක දෙන්න බැරි ?. ඇයි නියෝගයක් නොතකා කටයුතු කරන්නේ?. ඔබ හිතනවද මේ පැල්පත්වාසීන් අරගලයක් නොකර ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමන්න ඉඩ දෙයි කියලා. …” කියා සාරා මුලාදෑනි තැන ඉදිරියේ කෝපයෙන් ගිගිරුවාය.
පහර කෑ මුලාදෑනි තැන රෝහලට රැගෙන ගිය බව සඳහන් වේ.

සාරාගේ මේ ක්‍රියා කලාපයෙන් සිහි ගැන්වෙන්නේ රොද්‍රිගෝ ඩුටර්ටේගේ “නාහෙට නාහන” කියුම් සහ කෙරුම් ය. පිලිපීනයේ මත්ද්‍රව්‍යය අර්බුධය මැඩීමේ අරමුණ ඇතිව ඉවක් බවක් නැතිව සාමාන්‍ය ජනයා ඝාතනයන්ට ලක් වනවිට රොද්‍රිගෝ ඩුටර්ටේ එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පවා දැඩි කනස්සල්ල එල්ල වූයේය. මාධ්‍ය හමුවකදී ඒ ගැන අදහස් පළකරමින් ජනාධිපතිවරයා අභියෝග කළේ අවශ්‍ය නම් පිලිපීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කරන්න යැයි කියමිනි. දුව ප්‍රදේශීය මුලාදෑනියකුට පහර දීම තාත්තාගේ යට කී ආකාරයේ චන්ඩිකම්වලම දිගුවක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන.

හතලිස් හැවිරිදි තෙරු මවක වන සාරා නීතිඥවරියක හැටියට කටයුතු කරන්නීය. එසේම ඈ හුග්පොන්ග් එන්ග් පග්බාබාගෝ (Hugpong ng Pagbabago) නව දේශපාලන ප්‍රවාහයක් ගොඩ නඟමින්ද සිටින්නීය. එය තවමත් ආරම්භක අවස්ථාවේ පවතී. මේ කටයුතුවලදී සාරාගේ චර්යාව දෙස බලා සිටින දේශපාලන විචාරකයන් කියන්නේ ඇගේ ඍජු කතා විලාසය ඇයට පියාගෙන් උරුම වූවක් බවයි. එහෙත් සාරාට පෙනුම නම් උරුම වී තිබෙන්නේ ඇගේ මවගෙන් බව බොහෝදෙනෙක් පවසති. ඇගේ මව එළිසබෙත් සිමර්මන් ගුවන් සේවිකාවක හැටියට කටයුතු කළ කාන්තාවකි. පසු කලෙකදී ඈ රොද්‍රිගෝ ඩුටර්ටේගෙන් දික්කසාදය ලබා ගත් බව සඳහන් වේ.

රොද්‍රිගෝ ඩුටර්ටේගේ ජනාධිපති ධුර කාලය 2022 වසරේදී අවසන් වීමට නියමිතය. ඒ වනවිට හෙතෙම හැත්තෑ තුන් හැවිරිදි වියෙහි පසු වනු ඇත. ඔහුට ජනාධිපති ධුරයට යළිත් තරග කිරීමට තරම් ශක්තියක් නොලැබෙනු ඇතැයි කියා විචාරකයෝ පවසති. සාරා ගොඩනඟන දේශපාලන ප්‍රවාහය වත්මන් පාලක පක්ෂයට විරුද්ධ පක්ෂයක් හැටියට හඳුන්වන්නට පිලිපීනයේ ඇතැම් දේශපාලනඥයෝ උත්සහ ගනිති. එහෙව් අයට ඉතා සැර උත්තරයක් දෙමින් සාරා පවසන්නේ තම දේශපාලන පක්ෂය වත්මන් පාලක පක්ෂය සමඟ එක්ව කටයුතු කරන දේශපාලන ප්‍රවාහයක් බවයි. සාරාගේ නව දේශපාලන ව්‍යාපාරය අනුමානයට විවේචනය කරන්නට ගිය එරට පාර්ලිමේන්තුවේ කතානායක පැන්ටලියෝන් ඇල්වාරෙස්ව එම ධුරයෙන් ඉවත් කෙරිණ. ඩුටර්ටේ පවුලේ දේශපාලනයට හිතවත් හිටපු ජනාධිපතිනී ග්ලෝරියා මැකපාගල් – ආර්යෝව එම තනතුරට පත් කරන ලදී. තමන්ව පත් කරගන්නට දර දිය ඇද සහය දුන් පිරිසට ආර්යෝ සහය පලකරනවාට සැකයක් නැත.

කොහොම වුණත් සාරාගේ දේශපාලන ගමන කිහිප විටක්ම දුර්වල තත්ත්වයට පත් වුණු අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේදී දක්නට ලැබිණ. එසේ වුවත් ඈ පිලිපීන දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන ලකුණු මේ වනවිටත් මතුව ඇත.

Philippine President Rodrigo Duterte (L) and his daughter Sara Duterte arrive for the opening of the Boao Forum for Asia (BFA) Annual Conference 2018 in Boao, south China’s Hainan province on April 10, 2018.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි