මෙයට පණස් වසරකට පෙර නාසා ආයතනය විසින් Apollo 11 මෙහෙයුම මගින් සනිටුහන් කළ මානව ශිෂ්ටාචාරයේ සන්ධිස්ථානය සිහිගන්වමින් ලෝ ප්‍රකට පාවහන් සමාගම් රැසක් අලුත්ම තරගයකට අවතීර්ණ වුණා.
එදා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් පැළඳ සිටි සපත්තු වර්ගය ගැන එතරම් ප්‍රකට නැතත්, ඔවුන් සඳ මත තැබූ පියවර හැම එකකම සටහන් වී තිබුණේ ඒ සපත්තු අඩියයි.
එදා පටන්ම Adidas, Nike, New Balance සහ Vans වැනි ලෝකයේ ප්‍රකටම සපත්තු සමාගම් මේ නිමිත්තෙන් නවතම සපත්තු (ස්නීකර්ස්) මාලාවන් හඳුන්වා දෙනවා. ඒවා ඔවුන් නිපදවා තිබෙන්නේ සීමිත ප්‍රමාණයකින් බවත් වාර්තා වෙනවා. ‘මූන් බූට්ස්‘ ලෙසත් මේවා කෙටි නමෙන් හැඳින්වෙනවා.
මේ, ඒ අතරින් ලෝකයේ අවධානය දිනාගත් සන්නාම කිහිපයක නිර්මාණ කිහිපයක්.
2014 වසරේ පටන් Nike සමාගම මේ විලාසිතාව අලුත් කරන අතර, මේ වසරේ ඔවුන් නීල් ආම්ස්ට්‍රෝන්ගේ ගගන ඇඳුම සිහිගන්වමින් අලුත් වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
වෙළඳපොළේ මිල ඩොලර් 1000 ක් පමණ වනවා.
මේ, Nike සමාගම විසින්ම හඳුන්වා දෙන වර්ණවත් ස්නීකර්ස් මාලාවේ සාමාජිකයන්.
මේ Adidas NMD Hu Trail “CLOUDS MOON” සපත්තු ජෝඩුව එක් තැන් වූ විට ‘ක්ලවුඩ් මූන්‘ යන වචනය ඔබට පෙනෙනවා ඇති. මේ ස්නීකර්ස් නිර්මාණය කර තිබෙන්නේ, ඇමරිකාව සඳ ගමනේ 50 වැනි සංවත්සරය සමරන විට ඇමරිකාව පුරා පැවැත්වෙන සැමරුම් උත්සව වලත් ප්‍රධාන චරිතයක් වුණු ෆැරල් විලියම්ස් විසින්.
මේ “MOS NB 574” sneakers නිපදවන්නේ නිව් බැලන්ස් සමාගම විසින්. 2018 වසරේදී හඳුන්වා දුන් MOS NB 574 ස්නීකර්ස් විලාසිතාව ඔවුන් වෙළඳපොළට නිකුත් කළේ අසාමාන්‍ය ලෙස මුද්‍රා තැබූ අසුරණයක් තුළයි. එයින් බැලූ බැල්මට ගගනගාමීන්ගේ වියළි ආහාර වේල් සිහිගන්වනවා.
Vans සන්නාමය සහිතව වෙළඳපොළට නිකුත් කර තිබෙන මේ පාවහන් වර්ගය සීමිත සංඛ්‍යාවකින් පමණක් ලබාගත හැකියි. කළු පාට ලෙදරය මත එදා ඇපලෝ 11 යානයේ ගගනගාමීන් විසින්ම නිර්මාණය කළ ලෝගෝව දැක ගන්නට පුළුවන්. ‘ස්පේස් වොයෙජර්‘ තේමාව යටතේ ඔවුන් මෙම පාවහන් වෙළඳපොලට නිකුත් කර තිබුණා.
Adidas, Nike, New Balance හෝ Vans තරමට ලෝකයේ ප්‍රසිද්ධ නැති වුණත් Mercer Amsterdam සන්නාමය යටතේ නිපදවන අනර්ඝ ස්නීකර්ස් ගැන අමතක කරන්නට බැහැ. “W3RD NASA Apollo 11s” යන තේමාව යටතේ මේ පාවහන් නිපදවා තිබෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ අජටාකාශ නිල ඇඳුම් මතකයේ තබා ගනිමින්. ඒ අනුව සුදු, නිල් සහ රතු පැහැයන් පමණක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම නාසා ආයතනයේ ලෝගෝව ද මේ පාවහන් මත දැකගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි,
28.5729° N, 80.6490° W යනුවෙන් අක්ෂාංශ දේශාංශ මෙහි සටහන් වී ඇති අන්දමත් දැකගන්නට පුළුවන්. ඇත්තෙන්ම මේ පිහිටීම තමයි, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටීම.
Adidas Kobe Two මේ ස්නීකර්ස් යුගලය අඩිඩාස් සමාගම විසින් නිපදවූයෙ හිටපු ඇමරිකානු බේස් බෝල් ශූර කෝබ් බ්‍රයන්ට් Kobe Bryant වෙනුවෙන්මයි. මහත, අනාගතවාදී පෙනුමක් ඇති රිදී පාට මේ සපත්තු ‘ස්පේස් මූන් බූට්ස්‘ යනුවෙන් ජනප්‍රිය වුණා. අද වන විට වෙළඳපොළේ දක්නට නැති වුනත් අද පවා මෙය නැවත හඳුන්වා දුන්නොත් විශාල ඉල්ලුමක් ඇති වේවි කියා වෙළඳපොළ විශේෂඥයන් පවසනවා.
2014 අවුරුද්දේදී General Electric සමාගම ඇපලෝ 11 මෙහෙයුමට ගෞරවය පුද කරන්නට සිතුවේ “The Missions,” නමැති මේ ‘හයිටෙක්‘ සපත්තු විලාසිතාව මගින්. එහිදී සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොළට නිකුත් කෙරුණා. ඇපලෝ මෙහෙයුමේ 45 වැනි සැමරුම දා ඔවුන් ඒ අනුව සපත්තු යුගල 45 ක් වෙළඳපොළට නිකුත් කළා. ඒවා එකක වටිනාකම වුණේ ඩොලර් 200 ක්.
“Moon Shoes,” Nike සමාගම විසින් මේ සපත්තු නිර්මාණය කරන්නේ මිනිසා සඳට ගිය 1969 වසරේදීමයි. සමාගමේ සම නිර්මාතෘ බිල් බොවර්මන් විසින්ම එය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මෙහිදී ඔවුන් සිතාමතාම දූවිලි පැල්ලම් ලෙස සපත්තුවේ මතුපිට වර්ණ ගන්වන්නේ එදා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත ඇවිද ගිය මතකය අනුස්මරණය කරමින්. සමාගම විසින් බ්‍රෑන්ඩ් එකක් විදිහට, ඒ කියන්නෙ සන්නාමයක් විදිහට එළිදැක්වූ පළමු සපත්තු ජෝඩුව වුණෙත් මුන් ෂූස්.
අද වන විට ලෝකයේම මේ සපත්තු ඉතිරි වී තිබෙන්නේ ජෝඩු 12 ක් පමණක් බව කියැවෙනවා. සාමාන්‍යෙයන් සදබීස් වෙන්දේසිගාරයේ පවත්වන වෙන්දේසියකදී මේ වර්ගයේ සපත්තු ජෝඩුවක් අදටත් ඩොලර් ලක්ෂයකට පමණ වෙන්දේසි වන ආකාරය දැක ගන්න පුළුවන්.
Images: Nike (Air Max 90 Lunar, PG 3 NASA, Moon Shoes); Stadium Goods (Adidas NMD HU Trail “CLOUDS MOON”); Ministry of Supply (New Balance x Ministry of Supply “MOS NB 574”); Mercer Amsterdam (Mercer NASA Apollo 11); Kith (Vans x NASA SK8-Hi “Space Voyager Black”); General Electric (The Missions); Tumblr/Y2K Aesthetic Institute (Adidas Kobe Two)