×

තනිකම මේ තරම් (අ)සුන්දර ද?

පාළුවක්, තනිකමක් හෝ හුදකලාවක් හෝ නොදැනුන කෙනෙකු මේ ලෝකයේ කොතැනකවත් සිටිය නොහැකිය. මිනිස් සිත ඒ තරමටම පිය විප්පයෝගයට සංවේදීය.


මිනිස් සිතේ මේ සංවේදීකම මහ පොළොවට මෙන්ම මානව සමාජයටත් මහ බරපතල ගැටළුවක් වූ අවස්ථාවල ද සීමාවක් නැත. ඒ අනෙකක් නිසා නොව පාළුව සහ තනිකම මිනිසාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය සමඟ තදින් බැඳී තිබීම නිසයි. වඩාත් සරලවම විග්‍රහ කළහොත්, මිනිස් සිත පෙළන පාළුව සහ හුදකලාව විෂාදය නැමැති මානසික රෝගය සමඟ ඍජුවම සම්බන්ධ වන බව කියන්නට පුළුවන. ඒ සුසංයෝගය කෙළවර වන්නේ පුද්ගල සියදිවි නසා ගැනීම්වලට පවා ඉඩ සලසමින් බව සමාජ විද්‍යාඥයෝ පවසති. ආඝාතය, හෘදයාබාධ, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය, සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑම වැනි ශාරීරික ආබාධ තත්ත්ව ඇතිවන්නටත් හුදකලාව හේතුවක් බව පර්යේෂණවලින් තහවුරුව ඇත.

හුදකලාව, පාළුව සහ තනිකම නිරන්තරයෙන්ම ඇසුරු කරන මිනිසුන්ගේ කායික, මානසික තත්ත්වයන් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමේ අරමුණෙන් විවිධ පරිමාණයේ පර්යේෂණ ලෝ පුරා සිදු වේ. ඒ මානව සංහතිය, මේ සංකීර්ණ සිතුවිල්ලෙන් මුදාගෙන යහපත් අනාගතයක් වෙත කැඳවාගෙන යෑමේ බලාපොරොත්තුවෙනි. සිතක පවත්නා සංකීර්ණ සිතුවිල්ලකින් ඇති කෙරෙන බලපෑම් ගැන තොරතුරු සැබවින්ම විවරණය කරගැනීම බෙහෙවින්ම අසීරුය. එසේ වුවත් ඒ කාරණය පදනම් කරගෙන එවැනි පර්යේෂණ සීමා කෙරෙන්නේ ද නැත. පුද්ගලයන් 55,000කට අධික පිරිසක් නියැදිය ලෙස යොදාගෙන පුද්ගල තනිකම පිළිබඳව සමීක්ෂණයක් බී.බී.සී. මාධ්‍ය ආයතනය සිදු කළේ මේ වාතාවරණය තුළය. එම සාම්පලය තෝරාගෙන තිබුණේ ලෝකයේ විවිධ ස්ථානවලිනි. ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනුණේ අන්තර්ජාලය හරහා බව සඳහන් වේ. තනිකම පිළිබඳ බී.බී.සී. පර්යේෂණය හෙවත් “බී.බී.සී. ලෝන්ලිනස් එක්ස්පෙරිමන්ට්” (BBC Loneliness Experiment) යනුවෙන් මේ පර්යේෂණය නම් කර තිබිණ. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල රැසක විද්වත්හු මේ පර්යේෂණයට හවුල් වී සිටියහ. තනිකම ගැන නවතම කරණු රාශියක් එමඟින් විවරණය කරගන්නට පර්යේෂකයෝ සමත් වූහ.

1. වැඩිමහලු අයට වඩා වැඩියෙන් තනිකමෙන් පීඩා විඳින්නේ තරුණ තරුණියන් ය.

සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති කරුණු අනුව වයස අවුරුදු 75ට වඩා වැඩි පිරිසෙන් 27%කට ආසන්න පිරිසක් පාලුවෙන්, හුදකලාවෙන් සහ තනිකමෙන් පීඩා විඳිති. වයස අවුරුදු 16ත් 24ත් අතර වයස් ඛණ්ඩයේ පසුවන යෞවන යෞවනියන්ගෙන් 40%ක් නිතරම තනිකමෙන් පීඩා විඳින බව පර්යේෂකයන්ගේ නිගමනයයි.

බොහෝ වැඩිහිටියන්ට වඩා තරුණ තරුණියන් තමන්ගේ තනිකම සහ පාළුව ගැන කතා කරන්නට කැමැත්තෙන් පසුවන බවත් අනාවරණය වී ඇත. සමීක්ෂණයට සහභාගී කර ගත්‍ වැඩිදෙනෙකුට තනිකම දැනී තිබෙන්නේ තරුණ අවධියට පත්වීමෙන් පසුව බව පර්යේෂකයෝ පවසති.

වත්මන් නූතන දිවි පැවැත්ම තරුණ තරුණියන්ට තනිකම දනවන තත්ත්වයක් උදාකර දී ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි. එහෙත් පර්යේෂකයන් පවසන්නේ තාරුණ්‍යය සමඟ ස්වභාවයෙන්ම බද්ධ වන කාරණා නිසා එකී වයස් ඛණ්ඩයේ පසුවන අයට තනිකම වැඩියෙන් දැනීම සත්‍ය තත්ත්වය බවයි. වයස අවුරුදු 16ත් 24ත් අතර වයස් ඛණ්ඩය යනු ජීවිතයට “නව නිදහසක්” එකතුවන කාල පරිච්ඡේදය වේ. පාසල් අධ්‍යාපනය නිම කිරීම, දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ පාලනය යටතේ සිටි කාලය නිමා කිරීමෙන් එකී “නව නිදහස” තරුණ තරුණියන් අතට ජීවිතයේ පළමුවරට ලැබේ. එහෙත් එය සංක්‍රාන්තික අවධියක් බව බොහෝදෙනෙකු තේරුම් ගන්නේ නැත. නිවෙසින් බැහැරට ගොස්, විශ්වවිද්‍යාල කොලීජිවලට ඇතුළත්ව ජීවිතයේ තවත් පරිච්ඡේදයකට ළඟාවීම එතුළ ප්‍රධානය. තවත් සමහරුන් රැකියාවන් කරා යොමුවන්නේ ද මේ කාලයේදීය. එතෙක් ජීවිතයේ තමන් ළඟින්ම ඇසුරු කළ මිතුරු මිතුරියන් අත්හැර දමන්නට සිදුවන්නේ ද මේ අවධියේදී බවත් අමතක කළයුතු නැත. තමන් අලුතින් ඇතුළු වන පරිසරයේ සිටින අය සමඟ පෑහී කටයුතු කරන්නට තරුණ කණ්ඩායම්වලට එනිසා සිදු වේ. එහෙමත් නැත්නම් ඔවුන්ට සිදුවන්නේ තමන් වටා අලුතින් නිර්මාණය වෙමින් පවත්නා “ලෝකයට” අනුගත වන්නටය. යෞවන යෞවනියන්ට එතුළ තනිකමක් දරා ගැනීමට සිදුවීම අරුමයක් නොවේ.

2. 41%කට ආසන්න පිරිසක් සිතන්නේ තනිකම ධනාත්මක දෙයකැයි කියාය.

මිනිසා යනු තනිකම දරා ගැනීමට හැකි අන්දමට පරිණාමය වී ඇති ජීවියකු යැයි බොහෝ විද්වත්තු පවසති. තනිකම මිනිසාට වාසියක් වන අවස්ථා එමටය. මිනිසා ස්වභාවයෙන්ම කණ්ඩායමක් සමඟ ජීවත්වන සත්ත්වයෙකි. කිසියම් කෙනෙකු තමන් ජීවත්වන කණ්ඩායමෙන් බැහැර වුවහොත් හෝ බැහැර කළහොත් හෝ ඔහුට හෝ ඇයට හෝ නිරන්තරයෙන්ම තනිකම සහ හුදකලාව දැනෙන්නට බොහෝ ඉඩ ඇත. එහෙත් ඒ තනිකම ඔවුන්ව නව මිතුරු හවුලකට ඇතුළත්වීමට හෝ පරණ සබඳතා යළිත් අලුත් කරගැනීමට හෝ ප්‍රේරකයක් වන බව වැඩිදෙනෙක් තේරුම් නොගනිති. පළමුව කී සමීක්ෂණයට සහභාගී කරගත් නියැදියෙන් 41%ක ප්‍රමාණයක් තනිකම ධනාත්මක යැයි කියා පිළිගන්නේ එකී පදනම මතය.

එසේ වුවත් නිදන්ගත තනිකම නිසා විෂාදය වැළඳීමේ අවදානම වැඩි වී ඇති බව තහවුරු වී තිබේ. එමඟින් කෙනෙකු රෝගී තත්ත්වයට ඇද වැටුණහොත් එය අවාසනාවකි.

3. තනිකමෙන් පීඩා විඳින අයගේ සමාජ සාමාර්ථයන් සාමාන්‍ය කෙනෙකුගේ සමාජ සාමාර්ථයන්ටම සමානය.

තනිකමෙන්, පාලුවෙන් පීඩා විඳින අයට මිතුරු මිතුරියන් ඇතිකර ගැනීම අපහසු බවට සමහරු උපකල්පනය කරති. කෙනෙකු සමාජය සමඟ අන්තර්ක්‍රියා කිරීමේදී සමාජයේ සෙසු සාමාජිකයන්ගේ හැඟීම් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වේ. ඒ අනුව සමාජයට ප්‍රතිචාර දැක්වීම හැඩගස්වා ගැනීමට කෙනෙකුට ඉඩ ලැබේ. හුදකලාවෙන් සිටින අයට සමාජයේ සිටින සෙසු සාමාජිකයන්ගේ හැඟීම් හඳුනාගැනීම දුෂ්කර නැති බව පර්යේෂකයෝ පවසති. ඔවුන් සතු ඒ හැකියාවත්, පාලුවෙන් සහ හුදකලාවෙන් නොසිටින අයගේ එම හැකියාවත් අතර වෙනසක් නැති බව අනාවරණය වී තිබේ.

4. හුදකලාව අඩුවෙන්ම දැනෙන්නේ වසරේ ශීතල කාලයේදී ය.

සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් වැඩිදෙනෙකු පවසා තිබෙන්නේ ශීත ඍතුවේදී හුදකලාව සහ පාළුව තමන්ට අඩුවෙන් දැනුන බවකි. නත්තල් සමය ශීත කාලයේදී යෙදී තිබීම එයට එක හේතුවකි. නත්තල් උත්සව සමයේදී ඥාතීහු ගම් බිම් බලා එති. සමාජ සත්කාරක වැඩපිළිවෙල ඇරඹේ. හිත මිතුරන් අතර මෙන්ම ඥාතීන් අතර ද තෑගී බෝග හුවමාරු කෙරේ. මේ පරිසරය තුළ කෙනෙකුට පාළුව තනිකම දැනෙන්නේ අඩුවෙනි. සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් තුනෙන් දෙකක්ම තමන්ට තනිකම අඩුවෙන්ම දැනුණේ ශීත ඍතුවේදී බව ප්‍රකාශ කර තිබුණේ මේ නිසයි.
ගිම්හාන කාලය එළඹෙත්ම මේ තත්ත්වය වෙනස් වේ. බොහෝ අය ගිම්හාන නිවාඩු කාලය ගත කරන්නට විවිධ පළාත්වලට පිටත්ව යති. හුදකලා තත්ත්වයෙන් සිටින අය කෙරෙහි, ඥාති මිත්‍රාදීන්ගේ අවධානය අඩුවෙන්ම යොමුවන්නේ ගිම්හාන කාලයේදී බව පැහැදිලිය.

5. හුදකලාව සිටින අයගේ සහකම්පනය ඉතා ඉහළ මට්ටමක පවතී.

කෙනෙකුට දැනෙන වේදනාවන් කිහිප ආකාර ය. ශාරීරික වේදනාවන් ඉන් එක අංශයකි. ශාරීරික වේදනාවන් ඇතිවන්නේ අතක පයක ඇතිවන පිළිස්සීමක්, සතකුගේ දෂ්ඨ කිරීමක් හෝ වෙනත් හදිසි අනතුරක් හෝ හේතුවෙනි. සමාජීය වේදනාවන් යනු පුද්ගලයාට දැනෙන තවත් ආකාරයක වේදනාවන් විශේෂයකි. කෙනෙකු සාදයකට ආරාධනා නොලැබීම, සහකරු හැරයෑම වැනි සිද්ධි නිසා කෙනෙකුට සමාජීය වශයෙන් වේදනාවක් ඇති වේ.

ශාරීරික වශයෙන් කෙනෙකු ලබන වේදනාව කෙරෙහි, හුදකලාව සිටින සහ නොසිටින සියලුදෙනා තුළ ඇතිවන සහවේදනය හෙවත් සහ කම්පනය අඩු වැඩි වශයෙන් සමාන බව පර්යේෂකයන්ගේ මතයයි. එසේ වුවත් සමාජීය වශයෙන් කෙනෙකු වේදනාවකට පත් වූ විට එය දකින හුදකලා කෙනෙකු තුළ ඇතිවන සහවේදනය, එය දකින හුදකලා නොවන කෙනෙකු තුළ ඇතිවන සහවේදනයට වඩා ඉතා ඉහළ බව පැවසේ. එයට හේතුව එවැනි වේදනාවන් හුදකලා පුද්ගලයන් පෞද්ගලිකව විඳිමින් සිටීමයි. එනිසා එහි ඇති බරපතලකම ඔවුන්ට වඩාත් තදින් දැනේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි