×

ලෝකයේ දිගම ගුවන් ගමන නිමා වන්නට ළඟයි!

ලොව දීර්ඝතම අඛණ්ඩ ගුවන් ගමන යළි ආරම්භ කෙරේ. ගුවන් යානාව නිව්යෝක් නුවරට ළඟා වී ඇත


සිංගපූරු ගුවන් සමාගම ලොව දීර්ඝතම නොනවතින වාණිජ ගුවන් ගමන යළි ආරම්භ කරයි. පැය 17කුත් මිනිත්තු 25ක් තුළ සැතපුම් 9,537ක (නාවික සැතපුම් 9000) දුරක් ගමන් ගනිමින් SQ 22 ගුවන් යානය සිංගපූරුවේ චැන්ගිහි සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවරට පසුගිය දා ළඟා විණ. ගමනට මඟීන් 150දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 17දෙනෙකු සහභාගී වුණු බව සඳහන් වේ.

මේ ගුවන් ගමනේදී සාමන්‍යය පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකෙරිණ. ඒ නිසා මඟීන්ට ගමන් ගැනීමට සිදුවූයේ ව්‍යාපාරික පන්තියේ පමණි. ප්‍රධාන ආහාර වෙල් දෙකක්, කෙටි කෑම වර්ග, බීම වර්ග සහිත සංග්‍රහ සහ නින්දට ඇඳක් ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා මඟියකුට ලැබෙන පහසුකම් අතර තිබිණ. සාමාන්‍ය පන්තියේ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකර මේ ගුවන් ගමන් වාරය පවත්වාගෙන යෑම සමාගමේ ඉදිරි අරමුණයි. සිංගපූරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යනු ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා ප්‍රකට නගර දෙකකි. එනිසා මේ නගර දෙක අතර වැඩිපුරම ගමන් ගන්නේ ධනවත් ව්‍යාපාරිකයන් බව සමාගම පෙන්වා දෙයි. කාලය නාස්ති නොකර එක එල්ලේම නගර දෙක අතර ගමන් කිරීමට ඔවුන්ට මේ ගුවන් ගමන වැදගත් වනු ඇතැයි කියා විශ්වාස කෙරේ.

ගමන සඳහා යොදාගෙන තිබුණේ A 350 – 900 ULR වර්ගයේ එයාර් බස් රථයකි. 2004 – 2013 කාල වකවානුවේදීත් සිංගපූරු ගුවන් සමාගම මේ ගුවන් සේවාව මේ අන්දමටම පවත්වාගෙන ගියේය. එසේ වුවත් ඊට යොදාගෙන තිබුණේ A340 – 500 වර්ගයේ ගුවන් යානයකි. එම ගුවන් යානය සඳහා විශාල ඉන්ධන පිරිවැයක් දරන්නට සමාගමට සිදු විණ. මේ නිසා සිංගපූරුවේ චැන්ගිහි සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර දක්වා වූ එම ගුවන් ගමන නවතා දමන්නට සමාගමට සිදුවිය.

බෝයිං සහ එයාර් බස් වර්ගයේ යානාවන් යොදාගෙන අතරමඟ නොනවත්වමින් දීර්ඝ ගුවන් ගමන් වාර පවත්වාගෙන යන්නට බොහෝ ගුවන් සමාගම් දැන් දැන් නැඹුරු වෙමින් සිටී. බෝයිං 787 වර්ගයේ යානාවක් භාවිතයට ගනිමින් ක්වන්ටාස් (Qantas) ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ පර්ත් සිට ලන්ඩනයේ හිත්‍රෝ දක්වා ගුවන් ගමන් වාරයක් පසුගිය මාර්තු මාසයේදී ඇරඹීය. ලන්ඩනයේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා පැය 20ක අඛණ්ඩ ගුවන් ගමනක් 2022දී ආරම්භ කරන්නටත් ක්වන්ටාස් ගුවන් සමාගම සැලසුම් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි