×

දශකයක් ඇතුළත ලෝකයෙන් සිගරට් තුරන් කරන්න! – ලෝකයේ ප්‍රධාන පෙළේ දුම්වැටි සමාගමක ඉල්ලීම

ලෝ ප්‍රකට Marlboro දුම්වැටිය නිෂ්පාදනය කරන ලොව ප්‍රධාන පෙළේ දුම්වැටි නිෂ්පාදන සමාගමක් වන Philip Morris International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙසේ කියයි.


‘‘සිගරට්වලට සලකන්න ඕනෙ පෙට්‍රල් කාර්වලට සලකනව වගේ. 2030 වසර වන විට සිගරට් ලෝකයෙන් තුරන් කළ යුතුයි…!‘‘

එහි ප්‍රධාන විධායක නිලධාරී ජසෙක් ඔල්සැක් මෙසේ ද කියයි.

‘‘සිගරට්වලින් තොර ලෝකයක් දිහා බලන්න… ඇත්තටම ඒක ඉක්මනින් සිද්ධ වෙන තරමට හැම දෙනාටම හොඳයි…‘‘

Philip Morris International CEO

ඔහු මෙම ඉල්ලීම මූලික වශයෙන් කරන්නේ එක්සත් රාජධානියෙනි.

මෙය ස්විස්-ඇමරිකානු බහුජාතික දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන සමාගමක් වන අතර, ලෝකයේ රටවල් 180කට අධික සංඛ්‍යාවක දුම්වැටි වෙළඳාමේ යෙදී සිටියි. ඔවුන්ගේ වඩාත්ම පිළිගත් සහ වැඩිම අලෙවියක් සහිත නිෂ්පාදනය වන්නේ මාල්බරෝ (Marlboro) දුම්වැටියයි.

අවුරුදු 174 ක් ලෝකයට දුම්වැටි පුරුදු කළ, තවද සිගරට්ටුව විලාසිතාවක් බවට පත් කළ මෙම සමාගම අද මෙසේ කියන්නේ ඇයි? එය වටහාගැනීමට අප තවදුරටත් ජසෙක් ඔල්සැක්ගේ කතාවට ඇහුම්කන් දීම පමණක් නොව මෙම සමාගමේ ඉතිහාසය ද විමසා බැලිය යුතුය.

 

පිලිප් මොරිස් සමාගම පසුගියදා මාධ්‍යවල ශීර්ෂපාඨ මැව්වේ එක්සත් රාජධානියේ ඇදුම ඖෂධ සමාගමක් වන ‘වෙක්ටූරා‘ ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවා මිලදී ගැනීමත් සමග ය. ඇදුම රෝගීන් සහ දුම්පානය අතර ඇති සබඳතාවය අමුතුවෙන් කිව යුතු නැත.

සිය සමාගමේ ආදායමෙන් හරි අඩක්වත් ‘නිකොටින් රහිත නිෂ්පාදන‘වලින් පැමිණීම අගය කරන බව මෙම සමාගම මීට පෙර කියා තිබේ. vapes සහ e-cigarettes ඒ අතරින් ප්‍රධාන ය.

මේ අතර, දුම්වැටි විරෝධී ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ, මේ වන විට ලෝකයේ දුම්වැටි සහ දුම්කොළ සමාගම්, මෙම සෞඛ්‍ය උවදුරේ විසඳුම් ජාලය තුළ තමන් ව ස්ථානගත කරමින් සිටින බවයි. ඒ අනුව පිලිප් මොරිස් ඉන්ටනැෂනල් සමාගම කරන්නේ, කපටි ආරක්ෂකයයෙකුගේ භූමිකාවක් යැයි තර්කයක් ලෙස කිව හැක. නමුත් අප අගය කළ යුතු වන්නේ ඔවුන් විසින් තමන් සිදුකරමින් සිටින සෞඛ්‍ය උවදුරට පිළියම් සොයමින් සිටීමයි.

ඔබ දැන සිටියාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට දළ වශයෙන් මිලියන 8 ක් දෙනා දුම්වැටි ආශ්‍රිත රෝගාබාධවලින් මිය යති.

ඇමරිකාවේ පමණක්, මිලියන 8.6 ක් දෙනා දුම්වැටි ආශ්‍රිතව හටගන්නා බරපතළ රෝගාබාධ එකකින් හෝ පෙළෙති. වාර්ෂිකව ඇමරිකානු ජාතිකයන්ගේ සිදුවන මරණවලින් 1/5කට වග කියන්නේ ද දුම්වැටි වේ.

ලොව පුරා අක්‍රිය දුම්පානය කරන්නන්, එනම් සැබවින්ම දුම් නොබොන නමුත් ආශ්‍රිතයන් බවට පත් වීම නිසා දුම්පානය කිරීමට සිදුවන පුද්ගයන් 46,000 ක් හෘදයාබාධ හේතුවෙන් මරණයට පත් වෙති.

නියුමෝනියාව, එම්ෆිසියා රෝගය සහ නිදන්ගත බ්‍රොන්කයිටිස් රෝගය වැනි පෙණහළු රෝග සඳහා දුම්වැටිය අතවනයි.

ඔබ උරා දමන සෑම දුම්වැටියකින් ම ඔබේ ආයුකාලය විනාඩි 11 බැගින් අඩු වේ.

සිගරට් කොට රාත්තල් බිලියන 1.69 ක් වසරකට ‘ටොක්සික් ට්‍රෑෂ්‘ හෙවත් විෂ සහිත අපද්‍රව්‍ය ලෙස මිහිතලයට එකතු වේ. මෙම සිගරට් කොටවල බොහෝ ප්‍රමාණයක් ප්ලාස්ටික් අන්තර්ගත හෙයින් ඒවා ලෙහෙසියෙන් දිරා යන්නේ ද නැත. ඒ අනුව මේ වන විට මහාපොළොව මත වැඩි වශයෙන්ම ඉතිරි වන අපද්‍රව්‍යය බවට සිගරට් කොටය පත්වෙමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි