×

සමලිංගිකත්වය ‘එළුවන් සමඟ නිදිවැදීමට’ සමාන කළ පෝලන්ත මන්ත්‍රීවරයා ඇමතිධුරයකට!

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු සිම්කොව්ස්කි ට අනුව හුදෙක් මතවාදයක් පමණි. සිය අමාත්‍ය බලය යොදාගනිමින් අධ්‍යාපන විෂයය ධාරාවන් තුළ පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ආශ්‍රිත අධ්‍යයන කටයුතු ඉවත් කිරීමට පවා මොහු කටයුතු කරනු ඇති බවට පෝලන්ත මානව හිමිකම් ක්‍රියාකාරීහු බිය පළ කරති.


තෝමස් සිම්කොව්ස්කි යනු පෝලන්තයේ සමරිසි ප්‍රජාවට ප්‍රසිද්ධියේ අපහාස කළ මන්ත්‍රීවරයකි.

මොහු වරක සමරිසි විවාහය සතුන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම හා සන්සන්දනය කළ පුද්ගලයෙකි.

ඔහු එරට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධුරයට පත්ව ඇති බවට වාර්තා වේ.

සිම්කොව්ස්කි නම් මන්ත්‍රීවරයා පෝලන්තයේ දක්ෂිණාංශික පාලක පක්ෂය වන ලෝ ඇන්ඩ් ජස්ටිස් (Prawo i Sprawiedliwość) වෙත සම්බන්ධ වන්නේ 2019 දීයි. නමුත් ඔහු සිය අන්ත දක්ෂිණාංශික දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීම ආරම්භ කරන්නේ 2012 වර්ෂයේ සිටයි.

ඒ නැෂනල් මූව්මන්ට් (Ruch Narodowy) නම් අධිජාතිකවාදී දක්ෂිණාංශික පක්ෂය හා සම්බන්ධ වීමෙනි.

නැෂනල් මූව්මන්ට් පක්ෂය යනු සමලිංගිකත්වය කෞමරකාමය හා සම්බන්ධ කරමින් මානසික රෝගයක් යැයි අර්ත විග්‍රහ කරන පක්ෂයකි. එපමණක් නොව නැෂනල් මූව්මන්ට් පක්ෂය යුදෙව් විරෝධී, විජාතික විරෝධී හා ලිංගික සුළුතර විරොධී ප්‍රතිපත්ති දරන දේශපාලන ධාරාවකි.

සිම්කොව්ස්කි ගේ දේශපාලන ගමන ආරම්භ කිරීමට හා ඔහුගේ දේශපාලන විඥාණය ඔපමට්ටම් කිරීමට තුඩුදුන් නැෂනල් මූව්මන්ට් නම් පක්ෂයේ අන්තවාදී ඉතිහාසය මෙතනින් අවසාන වන්නේ නැත.

නැෂනල් මූව්මන්ට් නම් පක්ෂය ඉකුත් 2018 වර්ෂයේදී කෝලිෂන් ෆෝර් ද රිනිව්වල් ඔෆ් ද රිපබ්ලික් – ලිබර්ටි ඇන්ඩ් හෝප් (KORWiN) නම් දේශපාලන සන්ධානය හා සම්බන්ධ වන අතර, එම සන්ධානය විසින් වරක ප්‍රකාශ කර සිටියේ සිය රාජ්‍යයට යුදෙව්වන්, සමලිංගිකයන්, ගබ්සාව, බදු සහ යුරෝපා සංගමය අනවශ්‍ය බවයි.

සමරිසි විවාහය සතුන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම හා සන්සන්දනය කරමින් ඉකුත් ජූනි මස සිය ට්විටර් ගිණුම හරහා පළකළ කාටූනයක් හේතුවෙන් තෝමස් සිම්කොව්ස්කි නම් මන්ත්‍රීවරයා ජාත්‍යන්තරයේ මහත් අප්‍රසාදයට පාත්‍ර විය.

පෝලන්ත ජනාධිපතිවරණය අභියස සිම්කොව්ස්කි සිය කාටූනය පළකරමින් අසා සිටින්නේ විවාහය යනු කාන්තාවක හා පුරුෂයකු අතර සිදුවන සංයුග්මනයක් වන සන්දර්භයක, පුරුෂයින් දෙදෙනෙකු, හෝ පුරුෂයකු හා එළුවකු අතර සිදුවන සංයුග්මනයකට පෝලන්තය සූදානම් ද යනුවෙනි.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී ‘සිවිල් මිනිසුන්’ හට තීරණයක් ගැනීමට කාලය එළඹ ඇති බවද හෙතෙම සිය කාටූනය හරහා යෝජනා කර සිටී.

පෝලන්තයේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධුරයට පත්වීම තුළින් සිම්කොව්ස්කි එරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා දරුණු වෙනසක් සිදුකිරීමට ක්‍රියාකරනු ඇති බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

සමලිංගිකත්වය යනු සදාචාර හා සමාජ විරෝධී ක්‍රියාවක් බවට පෙන්වා දෙන සිම්කොව්ස්කි එය පාපයක් යනුවෙන් ද විග්‍රහ කරයි. සමලිංගිකත්වයට රාජ්‍ය අනුගහ්‍රය, මූල්‍ය අනුග්‍රහය හෝ කුමන අන්දමක සහායක් පළ නොකළ යුතු බවට ද ඔහු මත දරයි.

එපමණක් නොව, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු සිම්කොව්ස්කි ට අනුව හුදෙක් මතවාදයක් පමණි.

සිය අමාත්‍ය බලය යොදාගනිමින් අධ්‍යාපන විෂයය ධාරාවන් තුළ පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ආශ්‍රිත අධ්‍යයන කටයුතු ඉවත් කිරීමට පවා මොහු කටයුතු කරනු ඇති බවට පෝලන්ත මානව හිමිකම් ක්‍රියාකාරීහු බිය පළ කරති.

සිම්කොව්ස්කි ගේ අන්තවාදී ක්‍රියාකලාපය පෝලන්ත වාමාංශික දේශපාලන ධාරාවන්ගේ පිළිකුලට පාත්‍ර වී තිබෙන අතරම, ඔවුන් අවධාරණය කරන්නේ සිම්කොව්ස්කි නියෝජනය කරන දේශපාලන ධාරාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ලිංගික අධ්‍යාපනය පවා “ජාතියේ නාමයෙන්” අභියෝගයට ලක් කිරීමට පසුබට නොවන කල්ලියක් බවයි.

Bridge to Equality පිටුවෙනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි