×

වැස්ස, හුමාලය සහ වේගය එක්තැන් කළ සුන්දර යකඩ යකා

අතීතයේ දවසක, අඟුරු කකා වතුර බිබී පීලි දෙකක් උඩ දිවූ යකඩ යකුන් තුළ අපූරු සුන්දරත්වයක් ගැබ්ව තිබුණේ යැයි කියා ඔබ සමහරවිට විශ්වාස නොකරනු ඇත.


සොබා දහමේ මෘදු මොළොක් දයා ගුණය සමඟ එකට මුහුවුණු වුණු විට එවැනි යකඩ ගොඩක් වුව දෙනෙතට අංජනයක් බැව් පසක් කෙරෙන ඡායාරූප පෙළක් CNN පුවත් සේවය පසුගිය දා පළ කර තිබිණ. එම ඡායාරූප මඟින් පිළිබිඹු කෙරෙන්නේ බ්‍රිතාන්‍ය දුම්රිය කෙතෙරම් සොඳුරු පරිසරයක් ස්පර්ශ කළේ ද යන්නයි.

ඡායාරූප පෙළට අඩංගු කර තිබුණු බොහෝ ඡායාරූප මෙයට දශක කිහිපයකට ඉහත ගන්නා ලද ඒවා ය. එසේ වුවත් ඒ ඡායාරූප බොහෝදෙනෙකුගේ සිත් ආනන්දයෙන් පුරවා දමනවාට කිසිදු සැකයක් නැත.

Courtesy Robin Coombes and Taliesin Coombes/Amberley Books

Courtesy Robin Coombes and Taliesin Coombes/Amberley Books

හුමාල බලයෙන් ධාවනය වන දුම්රියක්, 1931 – ස්විෆ්ට් කෘසේඩර් වර්ගයේ මෝටර් රථයක් සමඟ ඔට්ටුවන අන්දම දැක්වෙන ඡායාරූපයක් මේ ඡායාරූප පෙළෙහි දක්නට ලැබිණ. සුන්දරත්වය වගේම අතීත වාහන තාක්ෂණයේ මහිමයත් එයින් මොනවට සන්නිවේදනය කෙරේ.

ස්කොට්ලන්තයේ “ෆෝර්ත් බ්‍රිජ්” නමැති පාලම මතින් ගමන් ගන්නා දුම්රියක්, තවත් ඡායාරූපයකින් දැක්වේ. “ෆෝර්ත් බ්‍රිජ්”, ස්කොට්ලන්තයේ සංකේතයක් ලෙස සැලකේ. පාලම ඉදි වී තිබෙන්නේ ෆෝර්ත් ගඟ සහ තවත් ගඟාවන් රාශියක් මුහුදට වැටෙන ගං මෝයක් හරහා ය. කිලෝමීටර දෙකකට වඩා දිගැති මේ පාලම, ජල මට්ටමට වඩා මීටර 110ක් පමණ ඉහළින් පිහිටා ඇත. පාලම මතින් වැටී ඇති දුම්රිය මඟ ඉතාමත් රමණිය ය. එහි ගමන් ගන්නා දුම්රිය, ජල තලයට ඉහළින් වැටී ඇති පාලමෙහි ආරුක්කු අතරින් ඈතට පෙනෙන්නේ කියන්න බැරි තරමේ සුන්දරත්වයක් කැටි කරගෙන ය.

Courtesy Robin Coombes and Taliesin Coombes/Amberley Books

Courtesy Robin Coombes and Taliesin Coombes/Amberley Books

එංගලන්තයේ ඩෙවෝන්හි දකුණු දිග මුහුදු තීරය ආසන්නයේ “සවුත් ඩෙවෝන් රේල්වේ සී වෝල්” නමැති බැම්ම දැකිය හැකි ය. මේ බැම්මට සමීපයෙන් ඇති දුම්රිය මඟේ ඇදෙන දුම්රිය දෙස ඇහිපිය නොහෙළා බලා සිටිය හැකි ලස්සනක් ගැබ්ව තිබිණ.

Courtesy Robin Coombes and Taliesin Coombes/Amberley Books

Courtesy Robin Coombes and Taliesin Coombes/Amberley Books

කම්බ්‍රියන් කඳුකර පෙදෙස් හරහා වැටී ඇති දුම්රිය මඟෙහි හුමාල දුම්රිය ඇදුණේ මෙයින් කලකට ඉහතදී ය. කඳුකරයේ සීතල කාලගුණය දෙබෑ මැදින්, දුම් කැරළි නඟාගෙන ගිය හුමාල දුම්රියවල චමත්කාරයන් කටු ගා දමන්නට පුළුවන්කමක් ද නැත.

බ්‍රිතාන්‍ය පුරා දිවගිය දුම්රියවල ලස්සන තෙවැනි ඇසට එදා සිටම හසුකරගෙන තිබෙන්නේ රොබින් කෝම්බස් සහ ටාලිසින් කෝම්බස් යන පිය – පුතු දෙපළයි. එසේ ලබාගත් ඡායාරූපවල එකතුවක් ” Railways in the British Landscape” යනුවෙන් කෘතියකට නඟා ඔවුහූ දෙදෙනා පසුගිය දා එළිදැක් වූහ. එම කෘතියේ අඩංගු ඡායාරූපවලින් වැඩි ප්‍රමාණයක් ගෙන තිබුණේ රෝබින් ය. මතකයේ රැඳෙන තරමේ සේයා රූ එකතුවක හිමිකරුවකුවන්නට රොබින් කෝම්බස්ට හැකි වුණේ ඔහු කළමනාකරුවකු හටියට බ්‍රිතාන්‍යය දුම්රිය සේවාවේ කටයුතු කළ නිසයි

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි