×

ලොව වෙසෙන සුවහසක් පියවරුන්ට ආදරයෙන්

ඊයේ (ජූනි 17) ට යෙදී තිබුණු පියවරුන්ගේ දිනය වෙනුවෙනි.


ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ කැල්වින් කූලිජ් 1924 වර්ෂයේදී “පියවරුන්ගේ දිනය” ජාතික නිවාඩු දිනයක් විය යුතු බවට නිර්දේශ කළේය.

එහෙත් එම නිර්දේශයට වටිනාකමක් එකතුවූයේ 1966 වර්ෂයේදී ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිවරයාගේ නියමය පරිදි සෑම වර්ෂයකම ජූනි මාසයේ තුන්වැනි සතියෙහි එන ඉරිදා දිනයෙහි පියවරුන්ගේ දිනය සැමරිය යුතු බවට තීරණය කිරීමෙනි. මව්වරුන් හෝ පියවරුන් සැමරීමට දිනයක් අවශ්‍ය නොමැති බව පෙරදිග සමාජයන්හි ජීවත්වන අපගේ අදහස වුවද සැබවින්ම පියවරුන් සමග ජීවත්වනු විනා ඔවුන්ගේ ආදරය, ඔවුන් අප වෙනුවෙන් කළ කැපකිරීමට ගරුකරනවාද, ඔවුන්ට ස්තූතිවන්ත වෙනවාද යන්න සැකසහිතය. අඩුම තරමේ වසරකට එක් දිනයක් හෝ ආදරණීය පියවරුන්ට තම ආදරය ප්‍රකාශ කිරීමට, ඔවුන් තුළ පවතින අපගේ ගෞරවය ප්‍රකාශ කිරීමට වෙන්කරගැනීම අපට මෙන්ම පියවරුන්ටද වෙනස් අත්දැකීමක් වනු නිසැකය. පිරිමියෙකුව ඉපදීම නිසා ජීවිත කාලය පුරාම හැඟීම් ප්‍රකාශ කිරීම, හඞාවැටීම, රොමෑන්ටික් වීම යනාදිය සඟවාගෙන ජීවත්වීමේදී පියෙකු වීම සුවිශේෂ අත්දැකීමක් ලබාදෙන්නකි. එය ජාතකත්වය සමග පමණක් සම්බන්ධවන්නක් නොවේ. වගකීම් දැරීම, පරම්පරාව ගොඩනැගීම, පවුලක් නඩත්තු කිරීම, රැකවරණය සැපයීම යනාදිය සියල්ල සමග සම්බන්ධවන අතිශය අභියෝගාත්මක තනතුරකි. ඉතා සුළුතරයක් පියවරුන් තම වගකීම අමතක කළද ලෝකවාසී බහුතරයක් පියවරු තම හැඟීම්, දැනීම් සියල්ල වගකීම නැමැති කබායෙන් වසාගෙන ජීවත් වෙති. ලොව තනති, ලස්සන කරති. අවසානයේ උපේක්ෂාවෙන් යුතුව දරුවන්ගෙන් ලබන සතුට මෙන්ම දුක් ගැහැටද ඉවසති. ශ්‍රී ලංකාවේදී පියවරුන්ගේ දිනය සැමරීම ඒතරම්ම ප්‍රචලිත නොවූවද අපරදිග රටවල්වල පියවරුන්ගේ දිනය උත්කර්ෂවත් ආකාරයෙන් සමරති. වර්තමානයේදී පියවරුන්ගේ දිනය යම්තාක් දුරට වාණිජ්‍යකරණය වී තිබුණද එහි ඇති හැඟීම් පාර්ශ්වය බිඳක් හෝ අඩුවී නැත.

පියවරුන්ගේ දිනය සමරන අද වැනි දිනක 1965 දී රෝයි පොප්කින් විසින් රීඩර්ස් ඩයිජස්ටි සඟරාවට ලියූ “නයිට් වොච්” නැතහොත් රාත්‍රී සාත්තු සේවය නැමති කතාන්දරය ඔබ සමග බෙදාගැනීමට සිතුවෙමි. මෙය සත්‍ය සිදුවීමක් පදනම්කරගෙන ලියැවුණු කතාවක් වන අතර දෛවය විසින් අපට නොහිතන මොහොතක, නොහිතන විලාසයෙන් පාඩම් කියා දෙන ආකාරය කියාපාන්නකි. මරණාසන්න වියපත් මිනිසෙකු සමග රාත්‍රියක තනිවූ ආදරණීය පුතෙකු පිළිබඳ කතාන්දරයක් වන එය අතිශය සංවේදී මිනිස් හැඟීම්වල ඇති තත්පරයක පවා වටිනාකම කියාපාන්නකි. තත්පරයෙන් තත්පරයට ගිලිහී යන ජීවිතය, තමන් කෙරෙන් කෙමෙන් කෙමෙන් තුරන්වන සුසුම්, මතකන් සියල්ල අවසන් මොහොතේදී හෝ දෝතට රැගෙන තම ආදරණීය පුතා සමග බෙදාහදාගත් තාත්තා කෙනෙකුගේ කතාන්දරයකි. මැරින් නම් තරුණ පුතෙකු ආදරනීය පියෙකු වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගයක් ගැන කියවෙන කතාන්දරයකි.

“Night Watch” – by Roy Popkin – රාත්‍රී සාත්තු සේවය

කෙමෙන් කෙමෙන් තමන් අතින් ගිලිහෙන සුසුම් සමග සටන් කරන වියපත් මිනිසෙකු ළඟ සිටි හෙදියක් දුටුවේ කාමරයේ දොර ඇරගෙන පැමිණි තරුණ හමුදා නිලධාරියෙකි. හමුදා නිල ඇඳුම පිටින් පැමිණ සිටි ඔහුගෙන් ඉතා වෙහෙසකර ස්වභාවයක් දිස්විය. “ඔබේ පුතා ඇවිත්”. හෙද නිලධාරිනිය මහළු මිනිසාට පැවසුවාය. මහළු මිනිසා ඇස් විවර කරන තුරුම එම වදන ඇයට කිහිප වතාවක්ම පුනරුච්චාරණය කරන්නට සිදුවූවාය. ඉතා තදබල වේදනාවක් ඇතිකළ හර්දයාබාධයෙන් පසුව මරුවා සමග සටන් කර හෙම්බත්ව සිටි මිනිසා සෙමින් සෙමින් දෑස් විවර කර බැලුවේය. අඳුරු ඡායාවෙන් යුතුව ඔහු දුටුවේ තම ආදරණීය පුතා හමුදා නිල ඇඳුමෙන් යුතුව ඔහු දෙස බලා සිටින ආකාරයයි. ඔක්ෂිජන් ටෙන්ට් එක අසලින් ඉතා අපහසුවෙන් අත එළියට දැමූ මහළු මිනිසා මැරීන්ගේ අත ඇල්ලුවේය. වියපත් දෑත්වල ශීතල, වියලි හා දරදඞුභාවය මැරීන්ට දැනෙන්නට ඇත. එහෙත් ශීතල ඇගිලි තුඩු මත පවා ආදරයේ හා ස්නේහයේ උණුසුම් ලේ දහරාවන් දුව යන අයුරුද ඔහුට දැනෙන්නට ඇත. මැරින් වහාම ආදරණීය මිනිසාගේ වෙව්ලන අතැඟිලි තම ශක්තිමත් උණූසුම් දෑතින් තද කරගත්තේය. කාලය සෙමින් සෙමින් තප්පරවලින් මිනිත්තු වලින්, පැය වලින් ගෙවීයන්නට විය. හෙදිය විසින් ගෙනැත් දුන් පුටුවට බරවූ මැරීන් අඳුරු විදුලි පහනින් ආලෝකය කරන ලද රෝහල් කාමරයට වී මහළු මිනිසාට ආදරයේ හා ජීවිතයේ වැදගත්කම ගැන පාඩම කියා දෙන්නට පටන්ගත්තේය, ඔහු පැවසූ සෑම වදනකම දරු සෙනෙහස අපූරුවට ගැබ්ව තිබුණි. රිඳුම් දෙන හදවත, තමන්ගෙන් කෙමෙන් කෙමෙන් ගිලිහී යන ජීවිතය, අහිමි වූ බලාපොරොත්තු වචන කිරීමට තරම් මහළු මිනිසා ශක්තිවන්තයෙකු නොවූ නමුත් තම ආදරණීය පුතා පවසන සෑම වදනමකම ඇති ආදරය, ගෞරවය ඔහු වින්දේය. රෝහල් ඇඳක් මත ජීවිතයේ අවසන් පැය කිහිපය ගෙවන ආදරණීය පියෙකු හා ඔහුට ආදරය හා ගෞරවයේ පාඩම කියාදෙන ආදරණීය පුතෙකු අතර වන හෘදයාංගම සංස්පර්ශය, සංවාදය තවත් කෙනෙකු අසා සිටියේය. ඒ මාරයාය. ආදරය හා ස්නේහයේ අතිශය සංවේදිභාවය පරයා මාරයාගේ කුරිරු ආමන්ත්‍රණය රෝහල සිසාරා ඇසෙමින් තිබුණි.

“ටිකක් විවේක ගන්න”. හෙදිය මැරීන්ගෙන් අසා සිටියාය. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ආදරණීය මිනිසා වෙතින් ඔහු මඳක් හෝ ඉවත් වූයේ නැත. වේදනාවෙන් ලතෝනිදෙන, බලාපොරොත්තුවෙන් උණුසුම් වෙන රෝහල් පරිශ්‍රයට තවත් දවසක් උදාවන්නට තවත් තිබුණේ හෝරා තුනක් පමණි. නැවත වතාවක් හෙද නිලධාරිනිය පැමිණියාය. මහළු මිනිසාට සවිකර තිබූ ඔක්ෂිජන් යන්ත්‍රය නිහඞ වී තිබුණි. මූසල පාළුවක් සමග ශීතල සුළං පොදක් රෝහල සිසාරා හමා ගියේය. ආදරණීය තාත්තා සදහටම නෙත් පියාගෙන තිබුණි. එහෙත් ජීවිතයේ අන්තිම තත්පරයේදී පවා තම පුතාගේ මතකය සමග ජීවත්වන්නට, තම පුතාගේ උනුසුම් දෑතේ පහස ලබන්නට ඔහු පින් කර තිබුණි. හෙද නිලධාරිනිය මරණය සම්බන්ධ වාර්තා සකස් කිරීමට යුහුසුළු විය. සෙමින් සෙමින් තම ඇඟිලි තුඩු මහළු මිනිසාගෙන් මුදවාගත් මැරීන් නම් තරුණ හමුදා නිලදාරියා හෙද නිලධාරිනිය අසළට පැමිණියේය.

“ මගේ සාතිශය කණගාටුව බාරගන්න…..” හෙදිය පැවසුවාය. ඇය තව යමක් පවසන්නට සූදානම් වත්ම හමුදා නිලධාරියා ඇය වැළැක්වුවේය.

“කවුද ඒ මනුස්සයා?”

“ඒ ඹයාගෙ තාත්තා නේද?”

“නෑ ඒ මගේ තාත්තා නෙවෙයි”!

“ එහෙනම් ඇයි නොකිවුවෙ?”

“කොහොමද කියන්නෙ? ඒ වෙලාවේ ඒ තාත්තට ඕන කරලා තිබුණේ එයාගෙ පුතාව. මම එයාගෙ පුතා කියන එකවත්, එයාගෙ පුතා නෙවෙයි කියල එකවත් ඒ මනුස්සයාට අදාළ නැහැ. ඔහුට ඕන ඔහුගේ අවසන් හුස්ම පොඳ තම පුතාගේ අත් අල්ලගෙන ඉන්නගමන් පිට කරන්න. මට ඒ අවශ්‍යතාවය දැනුනා. ඒ වෙලාවේ මම ගියා නම් මට මගේ ජීවිතය කවදාවත් සමාව දෙන එකක් නැහැ. ඒ තාත්තා ආදරෙන්, බලාපොරොත්තුවෙන් මම දිහා බලන් හිටපු හැටි මට මුළු ජීවිතේම මතක් වේවි. වධ දේවි.”

“ඔබ බොහොම කාරුණික හොඳ කෙනෙක් මහත්මයා. ඒත් ඇයි ඔබ එහෙනම් මේ රෝහලට ආවෙ?”

“ මම ආවෙ රාජකාරි වැඩකට. මම හොයනවා විලියම් ග්‍රේ කියලා මනුස්සයෙක්ව. පණිවිඩයක් දෙන්න. විලියම් ග්‍රේ ගෙ පුතා ඊයේ ඉරාකයේදී මරාදාලා තිබුණා. මම ඒ පණිවිඩය ඔහුට දන්වන්නයි ආවෙ. දැනගන්න ලැබුණා ඔහු අසනීප වෙලා මේ රෝහලේ නැවැත්තුවා කියලා….. මොකද්ද අර මැරිච්ච මනුස්සයාගේ නම?”

“ විලියම් ග්‍රේ ” හෙද නිලධාරිණිය අපහසුවෙන් උච්චාරණය කළාය.

හිතවතුණි! ඔබගේ තාත්තා ඔබ එනතුරු මඟබලාගෙන සිටිනවා විය හැකිය. ඔබේ තාත්තා ඔබේම වදනින් “තාත්තේ” යැයි අමතනු ඇසීමට බලාසිටිනවා විය හැකිය. යන්න. ඔවුන් වැළඳගන්න. ඔවුන් දෙපා නැමද ඔබ ඔහුට කොතරම් ගරු කරනවාද, ආදරය කරනවාද යැයි පවසන්න. ලෝකයේ සුවහසක් පියවරුන්ට, ආදරණීය අප්පච්චීට ගෞරවයෙන්. සුබ පියවරුන්ගේ දිනයක් වේවා!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි