×

නේපාලයේ නවරාත්‍රී සැණකෙළියට මස් පිණිස එළුවන් 3000 ක්

බුදුන් උපන් දේශයේ ගවයා තරම් එළුවා වාසනාවන්ත නැත.


නේපාලයේ රාජ්‍ය සමාගමක් ඉදිරියේදී පැවැත්වෙන දශායින් සැණකෙළිය සඳහා මස් පිණිස එළුවන් 3000 ක් කත්මණ්ඩු වෙත ලබාදීමට සැරසෙයි.

රාජ්‍ය හිමිකාරිත්වය දරන Nepal Food Corporation මේ තීරණයට හේතුව පැහැදිලි කරන්නේ මෙසේ ය. ‘‘කඳුකර එළුවන් 1500 ක් පමණ මුස්ටැන්ග් වලිනුත් වෙනත් කඳුකර සහ තරායි දිස්ත්‍රික්කවලිනුත් දශායින් වෙත ගෙන එනු ලබනවා. දැනටමත් අපි අපේ නිලධාරීන්ට මේ එළුවන් සපයා ගැනීම ගැන උපදෙස් ලබා දී තිබෙනවා.“ එමගින් එළුමස් සඳහා පවතින අධික ඉල්ලුම සමනය කර ගත හැකි වේ යැයි ඔවුහු කල්පනා කරති.

දූසෙරා යනුවෙන් ද හැඳින්වෙන මෙම සැණකෙළිය හින්දු ආගමික උත්සවයකි. එය නවරාත්‍රීයේ අවසන් දිනය සැමරීම සනිටුහන් කරයි. මේ වසරේ මේ සැණකෙළිය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ ඔක්තෝබර් 8 වැනිදා ට ය.

වසරකට එළුවන් මිලියන 4 ක්!

නේපාලයේ පශු සම්පත් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව නේපාල වැසියෝ වසරකට එළුවන් මිලියන 4 ක් පමණ ආහාරයට ගනිති. මේ වසරේ දශායින් සැණකෙළියේදී එළුවන් 50000 ක් පමණ මසට විකිණෙනු ඇතැයි ද ඔවුහු පවසති.

නේපාල ඉන්දියානු දේශසීමාව හරහා රට තුළට ගෙන එනු ලබන එළුවන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නේපාල බලධාරීන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්නට සිදු ව තිබේ. නිරෝධායන නීති සම්බන්ධයෙන් ද ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුව ඇත. නිරෝධායන ප්‍රමිතිය සමත් බවට සහතිකයක් නොමැති එළුවන්ව නේපාලය තුළට රැගෙන ඒම තහනම් කරමින් දැඩි නීති ද නේපාලය විසින් පනවා තිබේ.

තවද මේ වන විට ඉන්දියාවේ සිට මස් පිණිස ගෙන එනු ලබන එළුවන්ගේ ප්‍රමාණය 60%කින් පමණ අඩු වී ඇති හෙයින්, රට තුළම පශු සම්පත් නිෂ්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත.

ඒ නිසාම, නේපාලය තුළ පශු සම්පත ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට ව්‍යාපෘති ගණනාවක් ද ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික්ක 28 ක් තුළ එළුවන් ඇති කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමට ද නියමිත ය.

අතීතයේ ‘බුදුන් උපන් දේශය‘ ලෙස බෞද්ධ සන්නාමයක් දැරුවද නේපාලය පසු කලෙක හින්දු සංස්කෘතිය දැඩි සේ වැළඳගත් රටක් බවට පත්විය. හින්දු බැතිමතුන් ගව මස් ආහාරයට ගැනීම පිළිකෙව් කරන්නේ ගවයා ඔවුන්ගේ පූජනීය සත්වයෙකු ලෙස සලකන නිසා ය. නමුත් එළුවා සම්බන්ධයෙන් ඔවුන්ට එවැනි ව්‍යාතිරේඛයක් නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි