×

සැබවින්ම සිදුවූ අමුතු සිද්ධි – 1 කොටස

1952 වසරේදී ජෝන් ට්‍රේන්, ප්‍රංශ පුවත්පතකට අමුතු සත්‍ය කතා පුවත් කිහිපයක් ලියා යැව්වේය. පසුව ඒවා පොතක් වශයෙන් පළ කළේය.


අතීත සත්‍ය කතා එකතු කර ඉතිහාසයේ පළ වූ පළමු පොත එය විය. පහත දැක්වෙන්නේ එහි එන රසවත් කතා පුවත් කිහිපයකි.

ලෝක ප්‍රසිද්ධ අන්තිම වචන

සිය ජීවිතයේ අවසාන දිනයේදී නෝර්වීජියානු මහා ගත් කතුවර හෙන්රික් ඉබ්සන්ට තමන්ගේ පණ සිරුරෙන් ඉවත් වීමට ඉතාම ආසන්න බව ඉවෙන් මෙන් දැනුණේය. කෙසේ වෙතත් ඔහුගේ නිවසේ සිටි හෙදිය ඔහුට පවසා තිබුණේ ඔහුගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරෙන ලකුණු දක්නට ලැබෙන බවයි. එම දිනය 1906 මැයි 23 වැනිදා ය. හෙදියගේ ප්‍රතිචාරයට පිළිතුරු ලෙස,

‘‘ලොකු දෙයක්‘‘ යැයි කී ඉබ්සන්, ඊළඟ මොහොතේ මිය ගියේය.

උණුසුම් පිළිගැනීම

සැල්ස්බරි ආදිපාදවරයා ගේහැම්ෆීල්ඩ් නිවසේදී තමන් සමග සති අන්තයක් ගත කිරීමට එන ලෙසට ප්‍රකට ඇමරිකානු තීරු ලිපි රචක ස්ටුවර්ට් ඇල්සොප් හට ආරාධනා කළේය. මන්දිරයේ දොර අසලදී ගත් කතුවරයා ව පිළිගත්තේ අළු පැහැති කේශ කලාපයක් තිබූ සැලිස්බරි ආර්යාව විසිනි. ඇයට ආදි මුතුන් මිත්තන් සිහිගන්වන නියම මුහුණක් ද තිබිණි.

ඇල්සොප් තම ‘ස්ටේ ඔෆ් එක්ස්කෂන්‘‘ ග්‍රන්ථය ලියුවේ මේ තැනැත්තියගේ මිත්‍රශීලී ගති පැවතුම් සිහි තබා ගනිමිනි.

සැලිස්බරි ආර්යාව ඔහුව පිළිගැනීමට නිතරම භාවිතා කළේ කට පාඩම් කළ වාක්‍ය දෙකකි. ‘‘දුක් වෙන්න එපා..‘‘ ‘‘බොබෝ කවදාවත් මහත්මයෙක් ව හපා කන්නෙ නෑ..“ යැයි ඇය කීවාය.

කෙසේ නමුත්, ඒ වන විටත් තඩි දඩයම් බල්ලෙකු වූ බොබෝ සිටියේ ඇල්සොප්ගේ තට්ටමක රස බලමිනි.

කරදර වැල

ප්‍රංශ නාට්‍ය රචක වික්ටෝරියා සාදියු, සුපුරුදු පරිදිම සන්ධ්‍යා සාදයකට සහභාගි වෙමින් සිටියේය. ඔහුට යාබද අසුනේ සිටි කාන්තාව තම කෑම පිඟානට ලුණු ස්වල්පයක් ලුණු බඳුනකින් එක් කර ගනිමින් සිටියාය. අත් වැරදීමකින් එම ලුණු පහරක් කෙළින්ම ගියේ, ඔහුට රෝස් කළ කුකුළෙකු බෙදමින් සිටි වේටර්වරයාගේ ඇස් දෙකට ය. දැඩි වේදනාව ඉවසාගත නොහැකි වූ වේටර්වරයා, රෝස් කළ කුකුළා ද පොළොවේ ගසා දෑතින්ම දෑස් පිසදාන්නට පටන් ගත්තේය. මේ අතර විසි වී පොළොව ට පතිත වී සිටි රෝස් කුකුලා සුරතල් බල්ලාගේ නෙත ගැටිණි. ඌ වහාම එතැනට පැමිණ කුකුළාව ගිල දැමීම ඇරඹූ නමුත් අතරමගදී කටුවක් උගුරේ හිර කර ගත්තේය. තම සුරතලා ට වූ විපත්තිය දුටු නිවසේ පුත්‍රයා වහා එතැනට දිවගෙන විත් බල්ලාගේ කට තුළට අත දමා හිර වී තිබූ කුකුල් ගාතය පිටතට ගැනීමට වෑයම් කළේය. එම වෑයම කෙළවර වූයේ බල්ලා විසින් ළමයාගේ ඇඟිල්ලක් දරුණු ලෙස හපා කෑමෙනි. එම දරුණු තුවාළයට ප්‍රතිකාර කිරීම පිණිස ඔහුව ඒ වේලාවේම රෝහල්ගත කිරීමට සිදුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි