×

ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ – උද්ඝෝෂකයන් සීරුවෙන්

බ්‍රෙක්සිට් සැලසුම හෙළා දකියි.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානිය වෙත පැමිණ සිටියි.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ බ්‍රෙක්සිට් සැලසුම ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක් විය. එහිදී ඔහු පැවසුවේ තෙරේසා මේ ගේ සැලැස්ම නිසා  එක්සත් රාජධානි – ඇමරිකානු වෙළඳ ගනුදෙනු ‘‘විනාශ වීමට හැකි‘‘ බවයි.

ට්‍රම්ප්ගේ මෙම අදහස්, බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා පත් කර ඇති (Shadow foreign secretary) ලේබර් පක්ෂයේ මන්ත්‍රිනී එමිලි තෝන්බරි ( Emily Thornberry) ගේ දැඩි විවේචනයට ලක් ව තිබේ. ඇය සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් අසාමාන්‍ය පරිදි රළු ලෙස හැසිරෙන බවයි. ITV හි Good Morning Britain වැඩසටහනට සහභාගි වෙමින් ‘‘තෙරේසා මේ ඔහු සමග සිටීම මගින් අපේ රට හෑල්ලුවට ලක් කළා‘‘ යැයි පැවසුවාය.

BBC

බ්‍රිතාන්‍යයේ ‘ද සන්‘ පුවත්පතේ දේශපාලන සංස්කාරක ටොම් නිව්ටන්-ඩන් (Tom Newton-Dunn) වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති දේවල් ද මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.

බ්‍රිතාන්‍යය තුළ මෙන්ම අන්තර්ජාතික ලෙස ද මහත් කීර්තියට පත්ව සිටින ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් (Sadiq Khan) ත්‍රස්තවාදය සහ අපරාධ මැඬලීම සම්බන්ධයෙන් නරක අන්දමින් ක්‍රියා කර ඇති බව (“a bad job”) ට්‍රම්ප් පැවසුවේය.

බ්‍රෙක්සිට් අර්බුදය හේතුවෙන් ඉල්ලා අස් වූ හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් ව, ට්‍රම්ප් විසින් හඳුන්වා දුන්නේ ‘ශ්‍රේෂ්ඨ අනාගත අගමැතිවරයෙක්‘ වශයෙනි.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ‘බොහොම හොඳ කාන්තාවක්‘ (“a very good woman”) යැයි ද ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

European Photopress Agency

අග්‍රාමාත්‍ය නිල නිවසේදී ට්‍රම්ප් සහ තෙරේසා මේ ද්වී පාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

මේ අතර ට්‍රම්ප් එක්සත් රාජධානිය වෙත පැමිණීමට විරෝධය පළ කරන්නන් විසින් කලබලකාරී තත්වයක් ඇති කරතැයි බියෙන් අමතර ආරක්ෂක භටයන් යොදවා තිබේ. ග්ලාස්ගොව් හි ජෝර්ජ් චතුරස්‍රයට උද්ඝෝෂකයන් 3000 ක් පමණ දෙනා රැස්වෙතැයි අපේක්ෂා කෙරේ. #BringTheNoise යනුවෙන් සංවිධානය කර තිබෙන කාන්තා පා ගමන සෙන්ට්‍රල් ලන්ඩයේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බලා ගමන් කිරීමට නියමිත අතර, “Together against Trump” යනුවෙන් සංවිධානය වූ ට්‍රම්ප් විරෝධී රැළියක් ද අද දිනයේ සෙන්ට්‍රල් ලන්ඩන් හිදී පැවැත්වීමට නියමිත ය.

මේ අතර Bow Group නමැති කණ්ඩායමක් විසින් ට්‍රම්ප් ලන්ඩනයට පැමිණීම වෙනුවෙන් විවිධ උත්සවකාරී අංග සංවිධානය කර තිබෙන බව ද වාර්තා වේ.

මෙම සංචාරය සඳහා ට්‍රම්ප් සමග මෙලනියා ට්‍රම්ප් ද එක්ව සිටි අතර, මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින ඔවුන් දෙපළ වින්ඩ්සර් මාළිගයේ තේ පැන් සංග්‍රහයක් සඳහා ද ඇරයුම් කර තිබිණි.

සති අන්තය ගතකිරීම සඳහා ට්‍රම්ප් – මෙලනියා යුවළ ස්කොට්ලන්තය බලා යාමට නියමිත ය. ඔවුන් සති අන්තය ගත කිරීමට නියමිත ව ඇත්තේ ට්‍රම්ප්ගේ ටර්න්බෙරි ගොල්ෆ් නිකේතනයේ ය. ‘‘මම ලන්ඩනට නගරයක් විදිහට කැමත්තෙන් හිටියා. මම මෙහෙට ගොඩ කාලෙකින් ආවෙ නෑ. නමුත් ලන්ඩනය මාව සාදරයෙන් පිළිගන්නෙ නැතිනම් මම මෙහෙ නතර වෙන්නෙ මොකටද?“ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප්, ද සන් පුවත්පත සමග කියා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි