×

හයිරංකාරයෝ සිංගප්පූරුවේ

උතුරු කොරියානු-ඇමරිකානු හමුවට සියල්ල සූදානම්


උතුරු කොරියානු-ඇමරිකානු හමුවට සියල්ල සූදානම්

උතුරු කොරියානු නායකයා ඊයේ (ජූනි 10) සවස සිංගප්පූරුවට ගොඩබැස්සේය. ඔහු පැමිණි යානය කුමක්ද යන්න පවා ලොවට හෙළි කෙරුණේ නැත. තද කළු පැහැ මර්සිඩීස් බෙන්ස් රියකින් පැමිණි කිම් ජොන් උන්, අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ සිංගප්පූරු නායකයන් හමු වී අතට අත දෙන රූප රාමුවලින් පමණක් උතුරු කොරියානු නායකයා සැබෑ වශයෙන්ම මේ වන විට සිංගප්පූරුවට පැමිණ සිටින බව තහවුරු කර ගැනීමට හැකි වී යැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඔහු සුපුරුදු පරිදි, ඔහු පිටුපස වේගයෙන් දුව යන ශරීරාරක්ෂක හමුදාව ද කැටුව ගොස් තිබේ. ඔහුගේ රථ පෙරහැරේ සුපිරි මෝටර් රථ විසි ගණනක් විය.

ගත වූ මාස 18 ක කාලය තුළ කිම් ජොන් උන් සහ ඔහුගේ උතුරු කොරියාව සමග ගිනි පිඹිමින් සිටි ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ වන විට සිංගප්පූරුව බලා පැමිණ සිටියි. කිම් ජොන් උන් සිංගප්පූරුවට පය තබා, පැය කිහිපයකට පසුව, එනම් ඉරිදා රාත්‍රියේ එයා ෆෝස් වන් යානයක නැගී ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිංගප්පූරුව බලා ආවේය. ඔහු පැමිණියේ කැනඩාවේ පැවති ජී 7 සමුළුවට සහභාගි වී නිල නොවන වෙළඳ යුද්ධයක අසහනය ‘හතේ කණ්ඩායමේ සාමාජික රටවල්‘ අතර වැපිරීමෙන් පසුව බව අවිවාදිත ය. ගුවන් යානාවෙන් බිමට බසින ට්‍රම්ප් ව පිළිගන්නට විදේශ ඇමතිනී විවියන් බාලක්‍රිෂ්ණන් ගුවන්තොටුපොළ කරා ගොස් තිබිණි.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් සිංගප්පූරුවේ නැවතී සිටින්නේ හෝටල් දෙකක ය. නමුත් ඒ හෝටල්, එකිනෙකට එතරම් දුරින් පිහිටා නැති ඒවා බව ද බීබීසී පුවත්සේවය ප්‍රකාශ කරයි.

මෙම හමුව සඳහා මැදිහත් වීම වෙනුවෙන් කිම් ජොන් උන්, සිංගප්පූරු අග්‍රමාත්‍ය ලී හසීන් යුන් හට සිය කෘතඥතාවය පළ කළේය.

දෙරට නායකයන් ලොවම බලා සිටින ඓතිහාසික සමුළුවේදී මුණ ගැසීමට නියමිත ය. එය ආරම්භ වන්නේ හෙට (12) දිනයේදී ය. දුරබැහැර සිංගප්පූරු දූපක් වන සෙන්තෝසා දූපතේදී මේ හමුව සිදුවනු ඇත.

මෙම සමුළුවේ ප්‍රධාන මාතෘකා දෙක බවට පත්වනු ඇත්තේ කොරියානු අර්ධද්වීපයට සාමය සහ න්‍යෂ්ටික අවිහරණයයි.

ස්කයි පුවත්සේවය වාර්තා කරන්නේ ලෝකයේ හොඳම කිම් ජොන් උන් අනුකරණය කරන, තමන්ව ‘හොවාඩ් එක්ස්‘ යනුවෙන් හඳුන්වන ඔස්ට්‍රේලියානු ජාතික ප්‍රහසන ශිල්පියාත් මේ වන විට සිංගප්පූරුවට පැමිණ ඇති බවයි. ඔහු ව චැන්ගි ගුවන්තොටුපොළේදී වහාම රඳවා තබාගෙන පැය 3කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ. ඔහුට අවවාද කර තිබෙන්නේ, දකුණු කොරියාවේ පැවති ශීත ඔලිම්පික් උළෙලේදී මෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකර, සැබෑ කිම් ජොන් උන්ගෙන් ඈත් වී සිටින ලෙසට ය. කෙසේ නමුත් තමන් සෙන්තෝසා දූපතේදී සැබෑ කිම් ජොන් උන් ව හමුවීමට බලාපොරොත්තු වන බව ද මේ ‘කිම් ජොන් පුද්ගලාරූඪය‘ ප්‍රකාශ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි