×

‘ජෙබී‘ ජපානය පිසදා හමයි.

මේ වන විට ජපානය, එරට ඉතිහාසයේ විසි පස් වරකට පසු ඇතිවූ දරුණුතම සුළි කුණාටු තත්වයට මුහුණ දී සිටියි. මේ වන විට එහි වේගය පැයට කිලෝමීටර 216 කි.


මෙයට පැය කිහිපයකට පෙර ඇතිවූ මෙම සුළිකුණාටුව හේතුවෙන් එක් ජීවිත හානියක් පමණක් දැනට වාර්තා වී ඇති අතර විශාල දේපළ හානියක් ද වාර්තා වේ.

ජපන් දූපත් අතරින් ප්‍රධානතම දූපත ලෙස සැලකෙන හොන්ෂු දූපත, ෂිකෝකු දූපත සමග සම්බන්ධ කරන පාලම මතින් ගමන් ගත් බස් රථයක් සුළඟට ගසාගෙන යන ආකාරය දැකගත හැකි විය.

කියොතෝ නුවර දුම්රිය ස්ථානයේ වීදුරු වහලයක් කඩා වැටී ඇති අතර එහිදී කිහිප දෙනෙක් තුවාළ ලැබූහ. මේ අතර, ටොන් 2591 ක් බරැති නෞකාවක් ඔසාකා මුහුදු බොක්ක අසල පාලමක ගැටී තිබේ. ඔසාකා ගුවන් තොටුපොළේ ගුවන් පථය මෙන්ම බිම් මාලය ද මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යට වී තිබේ.

සුළි සුළඟෙන් වැඩිම හානිය වාර්තා වන්නේ රටේ බටහිර ප්‍රදේශයෙනි. මෙම සුළි සුළඟ තෝකියෝ අගනුවර වෙත ළඟා නොවන බව එහි ගමන් මාර්ගය නිරීක්ෂණය කරන විශේෂඥයෝ පවසති. වැඩිම අවදානමක් සහිත නගර දෙක වශයෙන් හඳුනාගෙන ඇත්තේ කියතෝ සහ ඔසාකා ය.

මිලියන 1.9 ක ජනතාවකට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසට මේ වන විට දැනුම් දී තිබේ. කෝබේ නුවර වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි දැඩි අවවාද නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී දැඩි වර්ෂාව සහ නාය යාම් මාලාවක් බලාපොරොත්තු විය යුතු බවයි. උදම් රළ මට්ටම ඉහළයාම, විදුලි කෙටීම් සහ ටොනේඩෝ අවදානම ද දැඩි සේ ඉහළ ගොස් තිබේ.

Daily Express

Daily Express

1993 වසරේදී ජපානය මෙවැනිම දරුණු සුළි සුළඟකට මුහුණ දුන් අතර එහිදී පුද්ගලයන් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම හෝ අතුරුදහන් වීම සිදුවිය.

පසුගිය ජූලි මාසයේදී ද ජපානය දරුණු ස්වභාවික විපතකට මුහුණ දුන්නේය. උග්‍ර ගං වතුර තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 200කට අධික විය.

අද රාත්‍රියේ ජපන් මුහුද දෙසට ගමන් ගනිමින් සිටින ජෙබී, ඉන්පසු සන්සුන් සුළං තත්වයක් දක්වා මර්දනය වනු ඇතැයි පැවසේ.

ඒ අනුව ජපානය මේ වන විට ගත කරමින් සිටින්නේ තීරණාත්මක පැය කිහිපයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි